පිරිමි උපතින්ම ගැහැණුන්ට ආකර්ෂණීය වුණත්, ගැහැණුන්ට ප්රියවුණත්, ගැහැණුන්ට ලොල් වුණත් ගැහැණියක් හිට් වෙන්න පිරිමි කැමති නිසා නෙමෙයි. මේ රටේ ගැහැණියක් තරුවක් කරන්නේ ගැහැණු. සරළවම කියනව නම් ගැහැණියක් තරුවක් වෙන්නෙ ගැහැණු කැමති නම් විතරයි.
අනිත් කාරණාව තමයි ගැහැණියක් තරුවක් කරන්න පිරිමි හොයන්නෙ ඒ ගැහැණිගෙ හැඩය විතරක් වුණාට ගැහැණියක් තරුවක් කරන්න ගියාම ගැහැණු හොයන්නව හුරු පුරුදු සංස්කෘතික කෑල්ල. ඒ සංස්කෘතික සීමාව එහා මෙහා කරගන්න ගැහැණු දිහා ගැහැණු බලන්නෙත් වපර ඇහෙන්.
මේ රටේ ගැහැණිය කියල අපි ඔලුවෙන් හදාගත්ත අපට හුරු පෙනුමක් තියෙනවා. මේ රටේ ගැහැණිය මේ නිසාම හොයන්නෙ ඒ හුරු පෙනුමට ළඟ පෙනුමක් තියෙන ගෑනියෙක්.
වැදගත් කාරණාව තමයි ගැහැණු සාපේක්ෂව අඩුවෙන් කැමති ගැහැණියක් තරුවක් වෙන්නෙත් අඩුවෙන්. හොදම උදාහරණ කීපයක් තියෙනවා.
පළවෙනි හොදම උදාහරණය තමයි ස්වර්ණා. ස්වර්ණා කියන්නෙ අති දක්ෂ සුරූපි නිලියක්. හැබැයි ඇයට තිබුණෙ අපේ සංස්කෘතික ගෑනියට ළඟ පෙනුමකට වඩා බටහිර ගැහැණියකට ළඟ පෙනුමක්, ස්ලිම් ඇගක්. අපේ රටේ ගැහැණුන්ට සමීප කාන්තා පෙනුම ඒක නෙමෙයි ඒ නිසාම අපේ ගැහැණු ආස කලා මාලනීට.
මාලනීට තිබුණේ අපේ ගැහැණු බලාපොරොත්තු වෙන සංස්කෘතික පෙනුමක්. මාලනිය මහා තරුවක් වෙද්දී ස්වර්ණා මහා තරුවක් නොවුණේ, මේ රටේ ගැහැණු ගොඩක්ම ආස කලේ මාලනීට වීම නිසා.
ඔය වගේ උදාහරණ අනන්ත මේ රටෙන් හොයාගන්න පුළුවන්. යුරේනි වගේ නිළියක් අතිශය දක්ෂ වුණත් අතිශය රූමත් වුණත් ඒක නෙමෙයි මේ රටේ ගැහැණිය අපේක්ෂා කරන පෙනුම. ඒ නිසා යුරේනි වගේ නිළියකට යන්න පුළුවන්කම තියෙන දුර සාපේක්ෂව අඩුයි. හැබැයි තමන්ගෙ පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම චතුරිකා අතිශය ජනප්‍රිය නිළියක් වෙන්නෙ ඇයට තිබුණ මේ රටේ සංස්කෘතික ගැහැණියට ආසන්න පෙනුම. අපේ රටේ ගැහැණිය හැම විටම සංස්කෘතික ගැහැණිය ඉහලටම අරගෙන ගියා. ලොව ප්‍රථම අගමැතිනිය මේ රටෙන් බිහිවෙන්නෙත් මේ නිසා.
නුවන් ගම්මම්පිල ✍️