අද්‍යතන තාක්ෂණික ප්රවණතාවන් තුළ සෑම ක්ෂේත්රයකම බොහෝ දෙනෙක් කතාබහ කරන දෙයක් ලෙසින් AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය හඳුනාගත හැකි අතර එහි නවතම ප්‍රවණතාව වන Chatgpt ඔබ අප සෑම දෙනාටම ඉතාමත් හුරුපුරුදු දෙයක්. හරි අමාරුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් Chatgpt එකෙන් උත්තර හොයපු අපිට හරිම ලේසියෙන් සිංහලෙන්ම උත්තර හොයල දෙන්න SinhalaGpt නමින් ඇප් එකක් අද වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ලාංකීය අපි වෙනුවෙන් මෙවැනි කාලීන වැදගත්කමක් පවතින ඇප් එකක් නිර්මාණය කරපු ලාංකීය දක්ෂ තරුණයෙක් ගැනයි අද කතාව. තාක්ෂණයෙන් දස්කම්පාන ඔහු නමින් රවිඳු.
ඇත්තටම කවුද මේ රවිඳු?
මගේ නම රවිඳු ලසන්ත සේනාධීර. මගේ වයස අවුරුදු 25 යි. මම ඉන්නේ අනුරාධපුරේ. මම අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයෙන්. දැනට මම යාපනය විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය අවසන් කරල ඇප් ඩිවලොපින් ආයතනයක් පවත්වාගෙන යනවා.
මොකක්ද මේ SinhalaGpt කියන්නේ?
සරලවම කිව්වොත් SinhalaGpt කියන්නේ Chatgpt එකේම සිංහල වර්ෂන් එක කිව්වොත් හරි. අපි Chatgpt එකෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහල ඉංග්‍රීසියෙන්ම උත්තර ගන්නවා වගේ ලංකාවේ අයට AI තාක්ෂණය හරහා සිංහලෙන්ම ප්‍රශ්න අහල සිංහලෙන්ම උත්තර ගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ SinhalaGpt කියන්නේ. චැට් ටූල් එකට අමතරව මේකෙ තවත් ටූල්ස් කිහිපයක්ම තියෙනවා. මේකෙන් අපිට පින්තූරයක් දීලා ඊට අදාළව විස්තර සිංහලෙන්ම ලබාගන්නත් හැකියාව තියෙනවා.
ඇයි මේ වගේ ඇප් එකක් නිර්මාණය කරන්න හිතුවේ?
ඇත්තටම Chatgpt ආපු කාලෙම ඒකට ඇප් එකක් තිබුණෙ නැහැ. ඒ නිසා මම ඒකට ඇප් එකක් හදල ප්ලේස්ටෝ එකට දැම්මා. මාස කිහිපයක් ඇතුළත ඒක ගොඩක් දෙනෙක් ඩවුන්ලෝඩ් කරල තිබුණා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ලංකාවෙ අයට ගැළපෙන්න මේ ඇප් එක සිංහලෙන් හැදුවා නම් ලංකාවේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙම තමයි මේ SinhalaGpt ඇප් එක නිර්මාණය වෙන්නේ.
කොහොමද මේ ඇප් එකට ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන්ම පාසල් ළමයින්ගෙන් තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ නිසාම මේ ඇප් එකට මෑතකදී ප්ලේස්ටෝ එකේ හොඳම ඇප් පහ අතරට එන්නත් හැකියාව ලැබුණා.
මෑතකදී මේ ඇප් එක ලංකාව තුළ ඇගයීමට ලක්වුණා. ඒ ගැනත් මතක් කළොත්?
ඇප් එක ලෝන්ජ් කරල මාස කිහිපයකින් පැවතුණ SLT Mobitel CODE BLAST Hackathon of the year තරගාවලියෙන් දෙවන ස්ථානය හිමිකර ගන්න SinhalaGpt ඇප් එකට හැකියාව ලැබුණා.
මේ ඇප් එකට අමතරව තව මොනවගේ ඇප්ස්ද රවිඳු නිර්මාණය කරල තියෙන්නේ?
යූඑස්ඒ ටාගර්ට් කරල හදපු හොරස්කෝප් ඇප් එකක්, මිනි ගේම්ස් ඇප් කිහිපයක් මම නිර්මාණය කරල තියෙනවා. ඊට අමතරව පවර්කට් තිබුණ කාලේ ඒ තොරතුරු බලාගන්න පුළුවන් ඇප් එකකුත් මම හැදුවා.
ගෙදරින් මේ දේවල්වලට ලැබෙන සහයෝගය කොහොමද?
මගේ වැඩවලට අම්මාගෙන් තාත්තාගෙන් වගේම නංගිලා දෙන්නගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට ඉන්න ලොකුම ශක්තිය තමයි මගේ පවුලෙ අය.
මොනවද රවිඳුගෙ අනාගත බලාපොරොත්තු?
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඉදිරියට එන අප්ඩේට්ස් එක්ක මේ ඇප් එකට වන් මිලියන් වගේ ඕඩියන්ස් එකක් ගන්න එක. ඒ වගේම ඉස්සරහට ගෝලීය වෙළෙඳපොළට දාන්න පුළුවන් හොඳ ඇප්ස් හදලා මේ ක්ෂේත්රයෙන් ඉහළටම යන එක මගේ හීනයක්.
දුම්ෂා විජේසිංහ ✍️