ජීවිතයේදී අප විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන අතර කාලයත් සමඟ මෙම සිදුවීම් මතක ලෙසින් අපේ මොළයේ ගබඩා වෙනවා. ඒ නිසා මතකයක් යනු අතීතය සංරක්ෂණය කිරීමක් බැව් අප විශ්වාස කළත් ස්නායු විද්‍යාඥයන් මතකය දකින්නේ ඊට වෙනස් වූ ස්වරූපයකින්. අසම්පූර්ණ මතකය සහ වැරදි ආවර්ජන නම්‍යශීලි මනසකට අත්‍යවශ්‍ය අංගයක් බැව් ස්නායු විද්‍යාඥ චරන් රංගනාත් සඳහන් කරනවා. ඩේවිස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන රංගනාත් ඔහු විසින් රචිත උයහ Why We Remember කෘතියේ මතකය ගැන මෙවැනි අර්ථ කථනයක් දක්වා තිබෙනවා. රංගනාත් ස්නායු විද්‍යාඥයෙකු වන අතර විද්‍යා ලේඛක ඩේවිඩ් රොබින්සන් සමඟ එක් වී මතකය පිළිබඳව වසර 30 ක පර්යේෂණ මගින් මෙම කෘතිය රචනා කොට තිබෙනවා.
මතකය ඇති වෙන්නේ කොහොමද…?
මතකය ඇති වෙන්නේ නියුරෝන අතර ඇති වන සම්බන්ධතාවයන්හි වෙනස්වීම නිසයි. අප මුහුණ දෙන ඇතැම් සමාජ සම්බන්ධතාවයන් සහ සංසිද්ධීන් ඉතා ප්‍රබලයි. ඒ අතර අපේ ජීවිතයේ අප සමග ගැටෙන හැම සිදුවීමක්ම එතරම් ප්‍රබල නැහැ.ඔබ යමක් මතකයට නඟා ගැනීමට උත්සාහ කරන විට එය සැබෑ සම්බන්ධතාවයන් සමග ගැළපෙනවා. එවැනි අවස්ථාවන්හිදී ඔබේ මතකයට නඟා ගැනීමට අවශ්‍ය නොවන සිදුවීම් අමතක කොට අවශ්‍ය සිදුවීම් පමණක් මතකයට නැගීමක් සිදු වෙනවා.
අමතක වුණොත් අපි කලකිරෙනවා…
ඔබට යමක් අමතක වුණොත් ඒ ගැන නැවත නැවත සිතනවා. එතැනදීත් එය සිහියට නැගෙන්නේ නැත්නම් ඔබ ඒ ගැන කලකිරෙනවා. ඇතත්ටම මතකය තුළ මෙවැනි හිදැසක් ඇති වන්නේ ඇයි…?
මෙම ප්රශ්නය අප කාටත් පොදුයි. ඒ පිළිබඳව ස්නායු විද්‍යාඥ චරන් රංගනාත් අපූරු උදාහරණ සපයමින් විස්තර කරනවා.ඔබේ නිවස දෙස බලන්න. එහි තිබෙන භාණ්ඩ අතර ඔබට අවශ්‍ය වගේම අනවශ්‍ය දේ බොහෝ ඇති. ඔබ අවශ්‍ය දේ ගබඩා කර ගන්නා නමුත් අනවශ්‍ය දේ බැහැර කරනවා. ඒ වගේම තවත් නිදසුනක් ඔහු දක්වා තිබෙනවා.
ඔබ සුඛෝපබෝගී හෝටලයක දින කීපයක් නැවතී සිටි විට ඒ හෝටලයේ ගත කළ දිනකිහිපය රසවත් අත්දැකීමක් ලෙසින් මතකයේ ඉතිරි වෙනවා. එහෙත්… ඔබ නවාතැන් ගත් කාමරයේ අංකය ඔබට අමතක ඇති. මේ අන්දමට ඔබ මතනයේ තබා ගන්නේ ඔබට අවශ්‍ය දේ පමණයි. ඔබට අනවශ්‍ය දේ ඔබ විසින්ම බැහැර කිරීමක් සිදු වෙනවා.
වයසට යද්දී අමතක වෙනවා…
අපේ ජීව විද්‍යාත්මක වයසත් සමග අපට බොහෝ අත්දැකීම් ලැබෙනවා. ඒවා මිහිරි වගේම අමිහිරි අත්දැකීම් විය හැකියි. ඒ වගේම මේ සිදුවීම් වැදගත් සේම නොවැදගත් විය හැකියි. අපට යම් දෙයක් වැදගත් වනවිට නොවැදගත් දේ ඉබේටම බැහැර වෙනවා. කාලය සමග බොහෝ තොරතුරු අපේ මතකයේ තබා ගැනීමට අපහසුවීම නිසාම යම් යම් දේවල් බැහැර වීමත්, අවධානය යොමු කරන වැදගත් දේවල් මතකයේ තිබීමත් සිදු වෙනවා.
මතක තබා ගැනීමට මූලධර්ම…
අමතකවීම සාමාන්‍ය සිදුවීමක් වුණත් මතකය පවත්වා ගැනීමේ මූලධර්ම තුනක් ගැන රංගනාත් සඳහන් කරනවා.
සුවිශේෂී බව…
යම් සිදුවීමක් ඔබට සුවිශේෂී නම් එය පහසුවෙන් මතකයේ තිබෙනවා. උදාහරණයක් ලෙස ඇතැම් සංවේදී සිදුවීම් ඔබේ මතකයෙන් අමතක කිරීම පවා අපහසුයි. නමුත් තවත් කෙනෙකුට ඔබට සංවේදී සිදුවීම සුවිශේෂී නොවන්න පුළුවනි. ඔබේ පාසල් මිතුරෙකු සමග අතීතාවර්ජනයක යෙදෙන්න.
ඔබ සමඟ එකට කාලය ගත කළත් ඔබ විසින් මතකයට නඟන බොහෝ දේ මිතුරාට අමතක විය හැක. ආයාසයෙන් හෝ ඒවා මතකයට නඟා ගැනීමට ඔහු අපොහොසත්ය. ඊට හේතුව කුමක්ද…? ඒ සිදුවීම් ඔබට සුවිශේෂී වුණත්, මිතුරාට සුවිශේෂී නොවන නිසාය.
මතක යාවත්කාලීන කරන්න…
ඔබ නිතර ආශ්‍රය කරන පුද්ගලයෙකු සමග නිරන්තරව මතක ගොඩ නැගුනත්, ඒ පුද්ගලයා ඔබේ ආශ්රයෙන් දුරස් වූ විට ඔහු ක්‍රමයෙන් ඔබේ මතකයෙන් ගිලිහෙනු ඇත.
නමුත් කාලයකින් පසුව හෝ ඒ පුද්ගලයා මුණ ගැහුන විට ඔහු ගේ පෙනුම බොහෝ සේ වෙනස් වී තිබෙනු ඇති. දැන් ඔබේ මතකයේ සිටින්නේ අදින් වසර තිහකට එපිටදී ඔබ සමඟ සිටි මිතුරාගේ වෙනස් ස්වරූපයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.
එතැන් පටන් ඔබේ මනසේ මැවෙන්නේ මිතුරා අද දකින විටි සිටි ස්වරූපයයි. ඒ නිසා මතකයක් අමතක නොවන්නට නම් ඒවා යාවත්කාලීන විය යුතුය. කාලය සමග මතක අමතක වීම සාමාන්‍ය ස්වභාවයයි.මතකය සහයෝගී ක්‍රියාවලියක්
මතකය බෙදා ගන්න…
ඒ වෙනුවෙන් ඔබට කුඩා හෝ සමාජයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් ඔබේ අසල්වැසියන්, පවුල හෝ ඤාතීන් වැනි ඔබේම ඇසුරේ බැඳුන පිරිසක් සමග සම්බන්ධ වෙන්න. මෙහිදී ඔබට අමතක සිදුවීම් තවත් අයෙකු විසින් සිහිපත් කරනු ඇත. ඔවුන්ට අමතක සිදුවීම් ඔබ විසින් සිහිපත් කිරීමට හැකියාව තිබෙනවා. මේ අන්දමින් මතක බෙදා ගැනීම ජීවිතයේ ඉතා සුන්දර අවස්ථාවක් විය හැක.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා