අපි හම්බ කළොත් අපි කනවා කියා බොහෝ මිනිසුන් විසින් පවසනවා ඔබ අසා ඇති. ඇතැම් විට ඔබත් එසේ පවසා ඇති. නමුත් ඇත්තටම සමාජයක් තුළ ජීවත් වීමට එයම පමණක් ප්‍රමාණවත් වේද? කිසිසේත්ම නැත. අපගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයක් විසින් ලබා දිය යුතු සේවාවන් හා යටිතල පහසුකම් රාශියක් පවතී. එහිදී පොදුවේ පුරවැසි ජීවිත පහසු කරවමින් රටේ දියුණුව ඇති කිරීමට පොදු දේපළ නඩත්තු කිරීම මෙන්ම දියුණු කිරීමද අතිශය වැදගත් වේ. එම පොදු දේපළ ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් පමණක් වන බවට බොහෝ මිනිසුන් සිතා සිටියත් ඒ සඳහා ජනතාවටද සුවිසල් වගකීමක් පැවරේ. ඉතින් අද අපි කතා කරන්නේ පොදු දේපළ සම්බන්ධයෙන් අපේ රටේ පවතින නීතිමය තත්ත්වය පිලිබඳවයි.
ශ්‍රී ලංකාවේ පොදු දේපල සම්බන්ධයෙන් අදාළ වන නීති තත්ත්වය මොකද්ද?
මේ සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිලිබඳ පනත වේ.
මේ අනුව පොදු දේපලක් ලෙස සැලකෙනුයේ මොනවාද?
පොදු දේපලක් ලෙස ආණ්ඩුවේ දේපලක්ද, යම් දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමූපකාර සමිතියක හෝ සමූපකාර සංගමයක දේපල අයත් වන අතර පසුව පනතට එක් කරන ලද 1988 අංක 76 දරන සංශෝධන පනතේ උපලේඛනයේ දැක්වෙන පරිදි යම් අක්ෂරයක්, ලකුණක් හෝ සටහනක් ඇති දේපලද පොදු දේපල ලෙස සලකනු ලබයි.
පොදු දේපල සම්බන්ධයෙන් සිදු කළ හැකි වැරදි මොනවාද?
පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීම.පොදු දේපල සොරකම් කිරීම.පොදු දේපල කොල්ලකෑම.යම් චංචල පොදු දේපලක් වංක ලෙස ව්‍යවහරණය හෝ නම ප්‍රයෝජනයට යොදාගැනීම. යම් චංචල පොදු දේපලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකිරීම. පොදු දේපලවලට අදාළව වංචා කිරීම, ව්‍යාජ ලේඛන සෑදීම සහ ගිණුම් වරදවා පෙන්වීම.
මෙම වැරදි සඳහා අධිකරණය විසින් වැරදිකරු කරනු ලැබූ විට පුද්ගලයෙකුට ලැබෙන දඬුවම කුමක්ද?
මෙහිදී වැරදිකරුව අවුරුද්දකට අඩු නොවන හා අවුරුදු විස්සකට වැඩි නොවන දෙයාකාරයෙන් එක ආකාරයක බන්ධනාගාරගත කිරීමකට ලක්වන අතර දඩ මුදල වශයෙන් රුපියල් දහසක් මුදලක් හෝ වරද සිදුකරන ලද පොදු දේපලේ වටිනාකම මෙන් තුන් ගුණයක මුදල යන දෙකෙන් වඩා වැඩි මුදල ගෙවීමට සිදුවේ.
මෙම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් කුමක් සිදුවේද?
මෙවැනි විටකදී එම වැරදිකරු සතුව එම දඩ මුදලේ වටිනාකමට සමාන යැයි අධිකරණය විසින් නිශ්චය කරනු ලබන සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක විය යුතු බවට අධිකරණය විසින් ආඥාවක් කරනු ලැබිය හැක.
පසුව එම දේපල විකුණා එම මුදල අයකරගන්නා අතර දඩ මුදලට වඩා වැඩි මුදලක් එලෙස විකිණීමෙන් ලත් විට එම වැඩි මුදල නැවත වැරදිකරු හට ලබාදේ.කෙසේ වුවද, දේපල රාජසන්තක කිරීම මඟින්ද දඩ මුදල අයකර ගැනීමට නොහැකි වන අවස්ථාවකදී, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 18 වැනි වගන්තිය ප්‍රකාරව අධිකරණය විසින් ප්‍රජා සේවා ආඥාවක් නිකුත් කළ හැක.
මෙම වරද සම්බන්ධයෙන් අදාල වන ඇප ප්‍රතිපාදන කොහොමද?
ඒ අනුව පොදු දේපල සම්බන්ධව වරදක් සිදුකර ඇති බවට හෝ; වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වූ බවට හෝ;වරදක් සිදුකරන ලදැයි සැකකරන බවට හෝ ; වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වි යැයි සැකකරනු ලබන බවට හෝ යම් තැනැත්තෙක් අධිකරණයට භාරවන්නා වූ හෝ සිරභාරයට ගනු ලැබ යැයි අධිකරණයක් වෙත ඉදිරිපත් කරන්නා වූ අවස්ථාවකදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ දක්වා ඇති ඇප ප්‍රතිපාදන අදාළ වේ.
කෙසේ වුවද, වරද සිදුකරන ලද පොදු දේපලේ වටිනාකම රුපියල් විසිපන්දහසක් ඉක්මවන බවට සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ නිලයට පහත් නොවන නිලයකට අයත් රාජ්‍ය නිවේදත නිලධාරියෙකු විසින් සහතික කර ඇති විටකදී, සුවිශේෂී හේතු මත හැර අදාළ පුද්ගලයා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතුය.
අභියාචනයක් ඉදිරිපත් කර ඇති විටකදී ඇප ප්‍රතිපාදන කෙසේ අදාළ වේද?
මෙහිදී පොදු දේපල සම්බන්ධයෙන් වරදක් කර ඇති බවට වරදකරු කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් පනවන ලද දඬුවමකට විරුද්ධව අදාළ තැනැත්තා විසින අභියාචනයක් ගොනු කර ඇති අවස්ථාවකදී පවා සුවිශේෂී කරුණු ඉදිරිපත් වි නොමැති නම්, අභියාචනය නිශ්චය කරන තුරු ඔහුව රිමාන්ඩ් භාරයේ තැබිය යුතුය.
බොහෝ විට මෙම සුවිශේෂී කරුණු ලෙස පැමිණිල්ල විසින් ගොනුකර ඇති නඩුව දුර්වල වීම හෝ සැකකරු රෝගී තත්ත්වයකින් පසුවන බවට වෛද්‍ය වාර්තා මඟින් සනාථ වි තිබීම හෝ සැකකරුගේ රිමාන්ඩ් භාරයේ සිටීම ඔහුගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් වන බවට සාක්ෂි මඟින් සනාථ කර ඇති තිබීම වැනි කරුණු දැක්විය හැකි අතර මෙම කරුණු මත අප ලබාගැනීමටනම් අධිකරණය සෑහිමකට පත් වි තිබිය යුතුය.
මේ අනුව පොදු දේපල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් නීති තත්ත්වය මෙසේ පෙන්වා දිය හැක. එමෙන්ම තමන් විසින්ම ගෙවන බදු මුදල්වලින් ගොඩනැගෙන හා නඩත්තුවෙන චංචල හෝ නිශ්චල පොදු දේපල ආරක්ෂා කරගැනීම සහ සද්භාවී චේතනාවෙන් ඒ හා සම්බන්ධව කටයුතු කිරීම පුරවැසි අප සැමගේ වගකීමකි.
නීතීඥ කාංචනා ෂෙහානි
kanchanashehaniaal@gmail.com