මේ ලෝකෙ හිත ශක්තිමත් කෙනෙක්ට ගත ශක්තිමත් නැතත් කරන්න බැරි දෙයක් නැති බවට හොඳම උදාහරණයක් තමයි ප්‍රියදර්ශනී කියන්නේ. පෝලියෝ රෝගය නිසා ඇගේ ජීවිතය රෝද දෙකකට සීමා වුණත් ඇය ඇගේ ජීවිතේ යන්න පුළුවන් උපරිම දුරකට මේ වෙද්දි ඇවිත් අවසානයි. ඇය රෝදපුටු ධාවන ශූරියක්. ඔරු පැදීමේ ශූරියක්. ඒ වගේම මෝස්තර නිරූපණ ශිල්පිණියක්. මේ අකුරු කෙරෙන්නෙ ඇගේ කතාවයි…
ආබාධිත තත්ත්වය
මම ආබාධිත වෙලා තියෙන්නේ අවුරුදු තුනේදී විතර පෝලියෝ රෝගය වැළඳීමෙන්. රෝද පුටුවක සිටියත්, මගේ එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය කෙනෙකුටත් වඩා හොඳට පිළිවෙලකට කරගැනීමේ හැකියාව මට තියෙනවා. ඒ හැකියාව මට ලැබුණේ මං ආබාධිතයි කියල මොනම හේතුවකටවත් මං පස්සට නොයෙන නිසයි.
පුංචි කාලෙ
පුංචි කාලෙම මවගේ රැකවරණය මට අහිමි වුණා. ආබාධිත ගැහැනු දරුවෙක්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය ආදී තවත් දේවල් එක්ක මගේ තාත්තා අසරණ වුණා. ඒ නිසාම මාව කුඩා කාලෙදිම ආබාධිත අය සඳහා වූ නිවාසයක නතර කළා. මං මූලික අධ්‍යාපනය ලැබුවෙ ගාල්ල සම්බෝධි විශේෂ පාසලෙන්.
පසුව සාමාන්‍ය පෙළ හොරණ මේධංකර විද්‍යාලයෙන් සහ උසස් පෙළ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවෙන් හැදෑරුවා. තාත්තා මැරෙනකම්ම මට මගේ ජීවිතේ හදාගන්න පුළුවන් හැමදේම කළා. අද මං යම් තැනක ඉන්නවා නම් එදා ඔහු මං වෙනුවෙන් කළ දේවල් නිසා බව මම විශ්වාස කරනවා.
රැකියා ආයතනයේ උදව් රැසක්…
කලින් මං මගේම කියල මැහුම් ව්‍යාපාරයක් කළා. දැන් කඩවත කේබල් සොලුයුෂන් ආයතනයේ රැකියාවක් කරනවා. එම ආයතන ප්‍රධානියා ඉන්දියන් ජාතිකයෙක්. නමින් පවන් තෙජ්වානි. ඇත්තටම ඔහු හරිම කරුණාවන්ත අයෙක්. මම රැකියාවට යන්න කලින් මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන් ඔහු මා ගැන, මගේ ක්‍රීඩා ජීවිතේ ගැන දැනගෙන ව්‍යායාම උපකරණ ලබාගන්න මුදල් දුන්නා.
පසුව මං නැෂනල් මීට් එකේ ජයග්‍රහණයන් ලබාගත්තට පස්සෙ මාව ආයතනයට ගෙන්වා තවදුරටත් උදව් අවශ්‍යද කියා ඇසූ විට, මං ඔහුගේ ආයතනයේ සේවය කරන්න කැමතියි කිව්වා. ඔහු ඊට කැමති වුණා. දැන් මං එම ආයතනයේ තත්ත්ව පාලිකාවක් විදිහට සේවය කරනවා. රෝද පුටුවක ඉඳලා මගේ වැඩ තනියම කරගන්න පුළුවන් ආකාරයට ඔහු ආයතනයේ සමහර තැන් වෙනස් කළා.
මට වෙනම කාමරයක් දීලා, කෑම බීම, ප්‍රවාහන අහසුකම් හැමදේමත් දුන්නා. මං මේ දේවල් විශේෂයෙන්ම සඳහන් කරන්න හේතුව, අපේ රටේ හුඟක් වෙලාවට ආබාධිත කෙනෙකුට රැකියාවක් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ එයාලට පහසුකම් දෙන්න අමාරු නිසා.නමුත් එයාලටත් රැකියා අවස්ථාවක් දුන්නොත් කාටවත් බරක් නොවී ජීවත් වෙන්න පුළුවන්.
ක්‍රීඩා ජීවිතය…
මම පාසල් කාලයේ ක්‍රීඩා කළා. ජයග්‍රහණත් ලැබුවා. නමුත් විවාහයෙන් පසු දරුවෙක් ගැන තිබුණ ආසාව නිසාම ක්‍රීඩාවෙන් ඈත් වුණා. මං නැවත ක්‍රීඩා කරන්න පටන්ගෙන අවුරුදු දෙකක් පමණ වෙනවා. මං මේ අවුරුදු 2ට මගේ උපරිමය පෙන්නලා තියෙනවා. දැනට ජාතික පැරා ඔරු පැදීමේ සංගමයේ ක්‍රීඩිකාවක් විදිහට පුහුණුවීම් කරනවා. මගේ පුහුණුකරුවන් වෙන්නෙ ලසන්ත වැලිකල සහ මංගල අලගියවන්න මහත්වරුන්.
ඒ වගේම මම රෝද පුටු ධාවන තරග සඳහාත් සහභාගි වෙනවා. 2024 ජාතික පැරා මලල ක්‍රීඩා උළෙලේදී මං 100ප සහ 200ප රෝද පුටු ධාවන තරගවලින් රන් පදක්කම් දිනාගත්තා. ඇත්තටම මට පෙර පුහුණු වීම සඳහා රේසින් රෝද පුටුවක් නෑ.
මං තරගෙට දවස් තුනක් තියෙද්දි දවසට පැයක් හමුදාවෙ කෙනෙක්ගෙන් රේසින් රෝද පුටුවක් ඉල්ලගෙන පුහුණු වෙලා, තරගෙ දවසෙත් ඒ රෝද පුටුවම ඉල්ලගෙන තමයි ජයග්‍රහණය කළේ. මෙය කියවන කෙනෙක් මට රේසින් වීල්චෙයාර් එකක් හදල දෙන්න ඉදිරිපත් වෙනවා නම් එක හුඟක් අගේකොට සලකනවා. ලංකාවේ එම රෝද පුටුවක් සාදවාගැනීමට ලක්ෂ 4 පමණ මුදලක් යනවා.
මෝස්තර නිරූපණයේත් නිරත වෙනවා
ඇත්තටම නිරූපණයට එන්න ලොකු ආසාවක් හිතේ තිබුණා. නමුත් ආබාධිත අයට ඒ සඳහා අවස්ථාව අහිමියි කියල මං හිතුවත් දසුන් විජේසිංහ මහතාගේ “සැවොම සමානාත්මකව සිතමු” යන සංකල්පය මත අපි වගේ අයටත් මෝස්තර නිරූපණයේ යෙදෙන්න අවස්ථාව උදාවුණා.
සැමියාගෙන් ලැබෙන සහයෝගය
ඔහු නමින් සරත්. විවාහ වුණු දා පටන් ඔහු මගේ දුක සැප දේකේදිම මගේ සෙවණැල්ල වගේ ඉන්නවා. ඔහු මට හුඟක් ආදරෙයි. ඒ වගේම මගේ සහෝදර සහෝදරියන්, නෑනල, මස්සිනාලා ඒ හැමෝම කවදාවත් කිසිම දෙයකින් මාව කොන් කළේ නෑ. හැමදේටම මාව ඉස්සරහට ගත්තා.
මුහුණ දුන් අභියෝග…
ලොකුම අභියෝග තමයි වචන. වචනවලට පුළුවන් කෙනෙක් මරන්නත් ජීවත් කරන්නත්. මට හුඟක් අය කිව්වෙ ඔයාට ඕක කරන්න බෑ කියලා. ඒ වගේ නෙගිටිව් දේවල් හැම වෙලේම අහගෙන මේ ගමන ආපු එකමයි ලොකුම අභියෝගය. බෑ බෑ කියපු හැම දේම මං කරල පෙන්නුවා. ඉගෙනගෙන වැඩක් නෑ, ජොබ් කරන්න බෑ, පුළුවන් අය වගේ ඕවට නහින්න ඔයාට බෑ වගේ දේවල්මයි කිව්වෙ.
සැබෑ කරගන්න බැරි වුණේ දරුවකුගෙ සිහිනය පමණයි…
මගේ ජීවිතේ මං හැමදාම සිහින දැක්කා. ඒත් ඒ කිසි දෙයක් සිහිනයක් වෙලා යන්න මං ඉඩ තිබ්බෙ නෑ. සිහින හැබෑ කරගන්න මං නොසෑහෙන්න උත්සාහ කළා. ඒ සඳහා දිවා රෑ නොබලා වෙහෙසුණා.
එහෙම හැම හීනයක්ම සැබෑ කරගත්තත් දරුවෙක් පිළිබඳ සිහිනෙ මගෙන් බොඳවෙලා ගියා. ඒත් මං ඒ ගැන දැන් දුක්වෙන්නෙ නෑ. මේ ලෝකෙ දරුවො නැති එකම ගැහැනියත් මං නෙවෙයිනේ. ජීවිතේ ආපස්සට හැරිල බැලුවොත් මගේ ජීවිතේ දුක් වෙන්න දෙයක් මට නෑ. මට මං ගැන සතුටුයි. මං කාටවත් බරක් වුණේ නෑ කියන සතුට මට තියෙනවා.
මං වගේ අයට මං දෙන පණිවිඩය
කෙනෙක් ජීවිතේ අඩුපාඩුවක් සහිතව ඉපදෙන්නෙ කාගෙවත් වරදින් නෙවෙයි. ඒක එක එක්කෙනාට ස්වභාවධර්මයෙන් ලබෙන දේ. ඒ නිසා සාප කර කර ඉන්න එක තේරුමක් නෑ. හැම කෙනෙක්ම කුමක් හෝ දක්ෂතාවක් ඇතිවයි ඉපදෙන්නේ.
ඒ දක්ෂතාව වටහගෙන ඉස්සරහට යන්න. ආබාධිත වුණා කියල මුළුගැන්විලා ඉන්න ඕනෙ නෑ. ඉස්සරට වඩා දැන් ලෝකෙ දියුණුයි. කිසිම දෙයකට උත්සාහ නොකර ඉන්න එපා. හැම දේටම උත්සාහ කරලා බලන්න. එක දොරක් හරි ඔයා වෙනුවෙන් ඇරෙයි.
ජාත්‍යන්තර තරග…
ඔරු පැදීමේ ජාත්‍යන්තර තරග සඳහා මේ දිනවල පුහුණුවීම් කරනවා. දින වකවානු ගැන නම් තවම අපව දැනුවත් කරල නෑ.
එරංදි කෞශල්‍යා ✍️