දහ දෙනෙක් හොඳයි කිව්වොත් දෙවියොත් හොඳයි කියනවා. අපි පුංචි කාලයේ අම්මලා අත්තම්මලා ඒ විදිහට අපට උපදෙස් ලබා දුන්නා. ඒ නිසාම පුංචිකාලයේ පටන්ම අපි ස්වයං විනයක් ඇතුව හැදුණා. නමුත් අද දරුවන් තුළ ගුණධර්ම ශික්ෂණයට වඩා දෙවියන්ගේ පිහිට යැදීමට ඔවුන් යොමු කිරීම මව්පියන්ගේ පූර්වාදර්ශය වෙලා තිබෙනවා.
දෙවියන් නැහැ කියන්න බැහැ…
බුදුදහම තුළ දෙවියන් ගැන නිතරම කතා වෙනවා. බුදුරජාණන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කිරීමට දිව්‍ය ලෝකයට වැඩම කළ බැව් සඳහන් වෙනවා. ත්‍රිපිටකයේ බොහෝ තැන්වල දෙවියන් ගැන සඳහන් වී තිබෙනවා.
ඒ අනුව දෙවියන් අතර ප්‍රධානියා වන්නේ සක් දෙවියන්ය. ඒ බැව් “ සක්කෝ දේවාන මින්දෝ ” යනුවෙන් දක්වා තිබෙනවා. ශක්‍රයා බුදුරජාණන්වහ්නසේ විසින් දේශනා කරන ලද “ සක්ක පඤ්හ ” සුත්‍රය අසා සෝතාපත්ති ඵලයට පත් වූ බැව් සඳහන් වෙනවා.
බෞද්ධයන්ට තෙරුවන් හැර වෙනත් සරණක් නැහැ…
බෞද්ධයන් විදිහට අපි තෙරුවන් වන්දනා කිරීමේදී මේ විදිහට සඳහන් කරනවා.
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං- බුද්ධ රත්නයේ සරණ හැර මට වෙනත් සරණක් නැත.
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං- ධර්ම රත්නයේ සරණ හැර මට වෙනත් සරණක් නැත.
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං- සංඝ රත්නයේ සරණ හැර මට වෙනත් සරණක් නැත.
නමුත් තෙරුවන් සරණ යන අපි දෙවියන්ගෙන් පිහිට ඉල්ලමින් කන්නලව් කරනවා. පන්සලට නොයන පිරිස් දේවාල වටා එක්රැස් වෙනවා.
සැබැවින්ම දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමක් සිදු වෙනවාද…?
අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි දෙවියන්ට අල්ලස් ලබා දෙනවා. මව්පියන්ට නොදෙන හොඳ රස මිහිරි පලතුරු වට්ටි බැගින් පූජා කරමින් පිහිට ඉල්ලා සිටිනවා. පූජා වට්ටියේ තබන මුදලේ වටිනාකමට අනුව දේවාලේ කපුමහත්තයා කන්නලව්ව දීර්ඝ කරනවා. තිර හතෙන් එහාට පූජා වට්ටිය ගෙනියනවා. දේවාලයේ පිං කැටය බෙදා ගැනීමේ විවිධ අරගල ඇති වෙනවා. මේ වගේ අවස්ථාවන්හිදී දෙවියන් සිටින්නේ කොහෙද යන ප්‍රශ්නයත් ඇති වෙනවා.
වැඩියෙන්ම දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටින්නේ කවුද…?
දේවාලයක වැඩියෙන්ම දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටින්නේ. ඒ වගේම දෙවියන් ගැන අධික භක්තියකින් කටයුතු කරන පුද්ගලයන්ගේ චර්යාවන් දෙස බලන්න. ඔවුන් අතර බොහෝ විට සමාජ විරොා්ධී කටයුතුවල නිරත පුද්ගලයන් ඇති.
ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මොනවාද..? තමන් කරන මේ නීති විරෝධී, සමාජ විරෝධී කටයුතුවලදී තමන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා. සමාජයක් යහ පැවැත්මෙන් පවත්වා ගැනීමට නම් වරදකරුවන් වෙනුවෙන් දඬුවම් ලබාදීම වගේම ඔවුන්ගේ චරිත සංවර්ධනය කරමින් නැවත සමාජගත කිරීම අවශ්‍යයි. නමුත් මේ සමාජ විරෝධී පුද්ගලයන් ආරක්ෂා කිරීමට දෙවියන් සූදානමින් සිටිනවා නම් සැබැවින්ම මෙතැන වැඩිම වරදකරු දෙවියන් නොවන්නේද…?
බුදුරජානණ්වහන්සේටවත් පිහිට නොවුණ දෙවියන්…
අපි අන්ධභක්තියෙන් යුක්තව දෙවියන් ඉදිරියේ වැඳවැටෙමින් පිහිට ඉල්ලා සිටියත් බුදුරජාණන්වහ්නසේටවත් පිහිට වීමට දෙවියන්ට නොහැකි වුණා. මුගලන් හාමුදුරුවන් සෘද්ධි බලයෙන් අගතැන් බව ඔබ දනන්වා.
වරක් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩිය මුගලන් මහ රහතන් වහන්සේ මහපටැඟිල්ලෙන් තව්තිසා දිව්‍ය ලෝකයම කම්පා කළා. එවැනි බලයක් උන්වහ්නසේට තිබුණා. දෙවියන් පවා මවිතයට පත් වුණා. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ සොරුන්ගෙන් පහර කෑමට ලක්ව පරිනිර්වාණයට පත්වුණා.
එහෙත් දෙවියන්ට උන්වහන්සේ ආරක්ෂා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම අපේ බුදුහාමුදුරුවන් විසින් පෙර ආත්මයන්හි සිදු කරන ලද අකුසල කර්මයන් උන්වහන්සේගේ අවසන් ආත්මභාවයන්හිදී විපාක දුන්නා.
කොන්දේ වේදනාවක්, හිසේ අමාරුවක් වගේම දෙව්දතුන් විසින් ගල් පෙරලීම නිසා බුදුසිරිපතුල තුවාල වීමට පත් වුණා.පිරිනිවන්පාන මොහොතේදී කකන්ථා නදියේ ජලය බොර වුණා. මෙවැනි අවස්ථාවක දෙවියන් අවුත් බුදුරජාණන්වහන්සේගේ පිහිටට ඉදිරිපත් වුණේ නැහැ. එහෙමනම් අප වැනි පුද්ගලයන්ගේ ප්රශ්නවල දෙවියන්ට පිහිටක් ලබා දිය හැකිද යන්නත් විමසිය යුතුම නොවේද…?
රාග, ද්වේශ, මෝහ අකුසල් දුරු කිරීම…
බෞද්ධයන් ලෙසින් අපේ ජීවිතයේ ශික්ෂණය ගොඩනඟා ගැනීමට නම් රාග, ද්වේශ, මෝහ අකුසල් දුරු කොට අලෝභ, අදෝෂ සහ අමෝහ යන කුසල මූල සංවර්ධනය කර ගත යුතුයි. එහෙත් අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මොනවාද…? එම ඉල්ලීම් පිටුපස ඇත්තේ තෘෂ්ණාව, මෝහය විය හැකියි. එසේත් නැත්නම් තමන්ගේ අසල්වැසියා වනසා දමන ලෙසින් වූ ද්වේශයක් විය හැකියි. අපි සැබෑ බෞද්ධයන් නම් දෙවියන් ඉදිරියේ වැඳ වැටෙමින් තව තවත් අකුසල මූල ගොඩ නගා ගැත යුතුද යන්නත් ගැටළුවක් නොවෙන්නේද…?
දෙවියන් පවා ධාර්මික පුද්ගලයාට නමස්කාර කිරීම…
දිනක් ශක්‍ර දෙවියන් මාතලී දිව්‍ය පුත්‍රයා සමග ගමන් කරද්දී මිනිස් ලොවට නමස්කාර කළා. සක්දෙවියන් විසින් නමස්කාර කරන මේ ශ්‍රේෂ්ඨ ලෝකය කුමක්දැයි මාතලී රියදුරු විමසා සිටියා.යෙ ගහට්ඨා පුඤ්ඤතරා-සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝ සෙන්ති- තං නමස්සාමි මාතලී… මිනිස් ලොව වාසය කරන සිල්වත් ගුණවත් පුද්ගලයන්ට මාගේ නමස්කාරය බැව් දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා විසින් මාතලී දිව්‍ය පුත්‍රයාට පිළිතුරු දුන්නා.
එසේනම් මවිපියන් නොසලකන, අධර්මයෙහි හැසිරෙන පුද්ගලයන් වෙනුවෙන් දෙවියන්ගේ පිහිට ලැබේවිද යන්න තවත් අතුරු ප්‍රශ්නයක් විය හැක. බුදුගුණාලංකාරය රචනා කළ වීදාගම මෛත්‍රිය හිමියන් දෙවියන්ට ඉතා නිර්දය ලෙසින් පහර දුන් යතිවරයාණන්නමක්. අප රක්නා තබා- තොප සතු ගොනා නොතබා කන තෙක් වෙන තබා- බලා සිටි කෙනෙකි අසුබා…යනුවෙන් දෙවියන් සදය උපහාසයට ලක් කර තිබේ. එසේනම් බෞද්ධයන් ලෙස අපි අන්ධ භක්තියෙන් යුක්තව දෙවියන් පසුපස ලුහුබැඳ කන්නලව් කරමින් පිහිට පැතීමේ මිථ්‍යාවෙන් දුරස් විය යුතු නොවේද…?
ධර්මදේශක පූජ්‍ය
අතුරුගිරියේ අනුරුද්ධ
ස්වාමින්වහන්ස
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල, බදුල්ල
පුන්‍යා චාන්දනී ද සිල්වා