ප්‍රතිශක්තිකරණය යනු අපගේ ශරීර සෞඛ්‍යය යහපත් ලෙසින් පවත්වා ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධානතම සාධකයක්. ප්‍රතිශක්තිකරණය ශරීරයට පිටතින් පැමිණෙන රෝග වාහකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන අතර ඒ තුළින් අපගේ ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගැනීමට පියවර ගනු ලබනවා. නමුත් අපගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය ශරීරය තුළම පවතින පටකවලට එරෙහිව ක්‍රියාත්මකවීම අසාමාන්‍ය තත්ත්වයක්. ලූපස් යනු එවැනි රෝගී තත්ත්වයක්.
ලූපස් රෝගය යනු…
ලූපස් හෙවත් සිස්ටමික් ලූපස් එරිතමැටෝසස් (SLE) යනු අපගේ ශරීරය තුළ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපගේ ශරීරයේ තුළම පවතින පටකවලට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ඒ හරහා පටකවලට හානිවීමක් සිදුවන අතර පටකවල ක්‍රියාකාරීත්වය හීන කිරීමක් සිදුකරනු ලබයි. මේනිසා ශරීරයේ ඕනෑම පටකයකට හානි කිරීම ප්‍රවණතාවක් පවතිනවා.
රෝගය ඇති වීමට හේතු
මේ රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය කරගෙන නැහැ. තවමත් ඒ සඳහා ගෝලීය මට්ටමෙන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. නමුත් වෛද්‍යවරුන් විසින් රෝගය ඇතිවීමට බලපාන හේතු කිහිපයක්ම අනුමානය කරල තියෙනවා.
■ හිරු එළියේ බලපෑමක් නිසා.
■ ජානමය බලපෑමක් නිසා.
■ විෂබීජයක බලපෑමක් නිසා.
■ හෝමෝන බලපෑමක් නිසා.
ලූපස් රෝගය සෑදීමේ ප්‍රවණතාවක් තියෙන්නේ කාටද?
මෙම රෝගී තත්ත්වය ගැහැනු පිරිමි භේදයක් නොමැතිව දෙපාර්ශ්වයටම ඇතිවිය හැකි රෝගී තත්ත්වයක්. නමුත් පිරිමි පාර්ශ්වයේ රෝගීන් හමුවන්නේ කාන්තාවන්ගෙන් 1/8 ක් වැනි සුළු ප්‍රවණතාවයක් තුළ පමණයි. කාන්තාවන් තුළත් වැඩිවිය පැමිණීමෙන් පසු ගර්භනී අවධියත් සමඟ රෝගය ඉස්මතු වීමේ වැඩි ඉඩක් තිබෙනවා.
රෝග ලක්ෂණ මොනවාද?
ලූපස් රෝගය හරහා ශරීරයේ ඕනෑම පටකයකට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා’ ඒ නිසා විරුද්ධව ගොඩනැගෙන පටකවල ස්වභාවය අනුව රෝගියාගෙන් රෝගියාට ඇතිවන රෝග ලක්ෂණවල වෙනස් ස්වභාවයක් පවතී’
■ අසාමාන්‍ය ලෙස හිසකෙස් යාම
■ සමේ බිබිලි ඇතිවීම
■ හිරු එළියට නිරාවරණය වීමේ දී සමට අධිකව හානිවීම
■ සන්ධි සහ මාංශපේශි වල වේදනාව
■ රක්තහීනතාවය
■ රුධිර පට්ටිකා අඩුවීම
■ අධික තෙහෙට්ටුව
■ ඉදිමීම
ආදිය බහුලව හඳුනාගත හැකි රෝග ලක්ෂණ වේ.
රෝගය හඳුනාගන්නා ක්‍රමය
අනෙකුත් රෝගවලට වගේ ලූපස් රෝගය හඳුනාගැනීම සඳහා තවමත් නිශ්චිත රෝග විනිශ්චක ක්‍රමයක් නැහැ. නමුත් රෝග ලක්ෂණ, රෝග ලක්ෂණවල ඉතිහාසය සහ ඒ.එන්.ඒ. (ANA) වගේ පරීක්ෂණ හරහා පලපුරුදු වෛද්යවරෙක්ට මේ රෝගය හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.
මෙවැනි රෝගියෙකුට ලබාදෙන ප්‍රතිකාර මොනවාද?
ප්‍රධානම වශයෙන් ප්‍රෙඩ්නිසොලෝන් (Prednisolone) වගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. මෙම ප්‍රතිකාර අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය මත ඒ ඒ රෝග ලක්ෂණවලට ගැළපෙන ලෙස ලබාගැනීම අතිශය වැදගත්. නැතිනම් ඒ හරහා වෙනත් රෝගී තත්ත්වයන්ගේ වර්ධනයක් පවා ඇතීවීමේ බලපෑමක් පවතිනවා.
මෙම රෝගය සම්පූර්ණම සුවකිරීමට හැකියාවක් තිබේද?
සම්පූර්ණම සුවකිරීමේ හැකියාව අතිශය අවම මට්ටමක තමයි පවතින්නේ. නමුත් රෝගය හොඳින් පාලනය කර සාමාන්‍ය මට්ටමකින් පවත්වාගෙන සාමාන්‍ය ජීවන රටාවක් ගතකිරීමේ හැකියාව පවතිනවා.
ඒ සඳහා වෙනත් කිසිඳු රෝගයකට හේතු නොවුණ රෝග ලක්ෂණ දීර්ඝ කාලීනව තියෙනවා නම් හැකි ඉක්මනින් රූමැටෝලොජි විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුවෙන්න. ඒ වගේම රෝගය හඳුනාගැනීමෙන් පසුව නිවැරදි ආකාරයට ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.
මෙතෙක් කතාබහ කරනු ලැබූ සිස්ටමික් ලූපස් එරිතමැටෝසස් රෝගය පිළිබඳව ‘ලූපස් ශ්‍රී ලංකා‘ නම් සංවිධානය හරහා තවදුරටත් දැනුවත්වීමට හැකියාව පවතී. එම සංවිධානයේ නිර්මාතෘවරිය වන ශානි රාජපක්ෂ මහත්මිය මෙම රෝගය පිළිබඳ මෙසේ සඳහන් කරනු ලැබුවා.
දැනට වසර ගණනාවක ඉඳන් මම මේ ලූපස්
රෝගය නිසා පීඩාවිඳින කාන්තාවක් මට දැනෙන විදිහට මගේ ළමා කාලයේ ඉදන්ම මේ තත්ත්වය පැවතිලා තියෙනවා. නමුත් වෛද්‍යවරුන් වෙත යොමු වූ හැම අවස්ථාවකම වෙනත් හේතූන් සඳහා ප්‍රතිකාර ලබාගන්න මට සිදුවුණා.
විවාහයෙන් පස්සේ මට අවුරුදු 25 පමණ වනවිට මගේ ගර්භනීභාවයත් සමඟ මට තිබුණ රෝග ලක්ෂණ වැඩීවීමක් සිදුවුණා. ඒ වනවිට මම විදේශගතව තමයි හිටියේ. කාලගුණික තත්ත්වයත් එක්ක මාව ඉදිමෙන්න පටන් ගත්තා. අසාමාන්‍ය විදිහට කොණ්ඩෙ යන්න, අනපේක්ෂිත විදිහට ඔසප් ක්‍රියාවලිය සිදුවෙන්න වගේම අධික ලෙස කෙට්ටු වීමටත් පටන්ගත්තා.
මේ නිසා ලංකාවට නැවත එන්න සිදුවුණා. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුවුණා. ඊට පස්සේ තමයි මට තියෙන්නේ ලූපස් රෝගී තත්ත්වය කියලා නිශ්චිතවම හඳුනාගත්තේ. මුල් කාලයේදීම හඳුනා ගත්තොතින් පාලනය කිරීම ඉතාමත් පහසු නිසා මම හැමෝටම කියන්නේ මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවෙන්න කියලයි.
ඒ වගේම ඔයා දැනටමත් මේ රෝගී තත්ත්වය නිසා පීඩාවිඳින කෙනෙක් නම් ඒ පිළිබඳව තවදුරටත් දැනුවත්වීම් ලබාගන්න, උපදේශන වගේම ඔයාලගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නත් අපි ඔබට උපකාර කරන්න සූදානම්. ඒ සඳහා රජයේ පිළිගත් සංවිධානයක් වන ‘ලූපස් ශ්‍රී ලංකා සංවිධානය’ සමඟ සම්බන්ධවන්න කියලා මම ආරාධනා කරනවා.
ශානි රාජපක්ෂ- 071 8387093
ලූපස් ශ්‍රී ලංකා සංවිධානය
ෆෙස්බුක් පිටුව
https://facebook’com/groupslupussrilanka/
දුම්ෂා විජේසිංහ