පොත් ප්රදර්ශනයට ගිහින් මම ගෙදර යන්න පාරට ආව. ඇත්තටම මාර ට්රැෆික් එකක්. වාහන ඔක්කොම වගේ හිරවෙලා. වාහනවලට වඩා මිනිස්සු පාරෙ හිරවෙලා. ඇත්තටම මිනිස්සු පොත් කියෙව්වත් නැතත් පොත් ප්රදර්ශනයක් වෙනුවෙන් මිනිස්සු එකතුවෙන එක අගයකරන්න ඕන වැඩක්. කොහොමත් අපේ මිනිස්සු ආසයි ඉවෙන්ට්ස්වලට සහභාගි වෙන්න. අවුරුදු නැකතට ගෙදර මුකුත්ම නොකලත් මිනිස්සු ආසයි අවුරුදු උත්සවවලට යන්න. වෙසක් එකට ගෙදර බුදුපහන නොතිබ්බත් මිනිස්සු ආසයි තොරන් බලන්න යන්න.
ජීවිතේට තමන්ගෙ කෙල්ලට කොල්ලට මලක් නොදෙන එවුන් ආසයි වැලන්ටයින් එකට රෝස මලක් ගිහින් දෙන්න. හිගන්නෙක්ට කෑම වේලක් නොදුන්නත් මිනිස්සු ආසයි දන්සල් දෙන්න. අපේ මිනිස්සු ආසයි ඉවෙන්ට්ස්වලට ගිහින් තමන් සහභාගි වුණා කියල ලෝකෙට කියන්න. පොත් ප්රදර්ශනය කියන්නෙ ලොකු ඉවෙන්ට් එකක්. ඒ නිසා පොත් ගත්තත් නැතත්, කියෙව්වත් නැතත් මිනිස්සු ඒකට සහභාගි වෙනව. සහභාගි වෙලා පින්තූර දානවා. ෆෙස්බුක් ලයිව් එනව. කොහොමහරි මම අමාරුවෙන් ටුක් එකක් නතර කරගෙන ඒකට ගොඩවුණා. පුරුදු විදිහට මම ටුක් එකේ රියදුරා එක්ක කතාවට වැටුණා.
“ මාර ට්රැෆික් නේද ? ” මම ඇහුවා.
“ ඔව් සර් වැඩක් නෑ කියල ”
“ අද පොඩ්ඩක් වැඩියි නේද ? ”
“ එහෙමත් නෑ සර් මේ දවස් ටිකේම මෙහෙම තමයි ”
අපේ රටේ මිනිස්සු ළඟ උපතින්ම තියෙන ජානමය ලක්ෂණයක් තමයි ඉරිසියාව වගේම සමාජ වෛරය. තමන් ළඟාවෙන්න බැරි සීමාවක වෙන එකෙක් ඉන්නව කියල දැනෙන හැම වෙලාවකම අපේ මිනිස්සු අර මිනිහට ඉරිසියා කරන්න පටන්ගන්නවා. සමහර වෙලාවට පට්ට බොරු චෝදනා එල්ල කරනවා. ගමක වුණත් එහා ගෙදර මිනිහ ගේ ටිකක් හදාගන්නව නම් මෙහා ගෙදර එකාට පේන්න බෑ. එල්ල කරන්න පුළුවන් හැම චෝදනාවම එල්ල කරනවා. බනිනව දෙස් තියනවා.
“ ඕකුන්ට කොහෙන්ද සල්ලි ? එක්කො හොරකමක් කරල ඇති, ඕකා කුඩු විකුණනව, ඕකා කප්පම් ගන්නව ” වගේ කතා අපේ ගම්වල සුලබව ඇහෙන්නෙ අපේ මිනිස්සුන්ට උපතින්ම උරුම සමාජ වෛරය වගේම ඉරිසියාව නිසා.
“ මාර සෙනඟක් නේද ඇත්තටම ? ” මම ආයෙත් කතාවට වැටුණා.
“ වැඩක් නෑ කියල සර්, මුන්ට පිස්සු මොකද මේ ඔක්කොම එවුන් පොත් කියවනවද ?
“ කමක් නෑ ඉතිං අඩුගානෙ පොතක් ගන්න හරි හිතෙනව නෙ ආවම ”
ට්රැෆික් එකේ හිරවෙලා එන අතරෙ ටුක් රියදුරා ගෙත් ආත්මය එළියට ආවා.
“ මේ බුක් ෆෙයාර් එකෙන් මුන් කෝටි ගානක් හොයනව සර් ”
“ කවුද ? ”
“ ඔය පොත් ලියන එවුන් ”
“ නැ එහෙම සල්ලි හොයන්න බෑනේ ”
“ සර් දන්නෙ නෑ, පොත් ලියන සෙට් එක හවසට පෝර බෑග්වල සල්ලි අරගෙන යන්නෙ, කෝටිපති, අහිංසක මිනිස්සු ඉතිං පොත් ගන්නවනෙ. දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි තමයි ඔය බුක් ෆෙයාර් තියල හූරගෙන කන්නෙ. ඔය පොත් ලියන එවුන්ගෙ වාහන බලන්න සර්. ඒව ඔක්කොම එහා පැත්තෙ ගහන්නෙ. ඔය කවුරුත් බස්වල අපේ වාහනවල යනවද ? ”
ටුක් රියදුරා පණ පිහිටලා කියාගෙන
කියාගෙන යනවා. අම්මප මට ගහන්න පුළුවන් නම් මම ඒ වෙලාවෙ ඒ මෑන් ගෙ කට බිම උලනවා.කොහොමත් ජයරත්න එක ළඟට වගේ එනකොට මගෙ මූඩ් එක අවුල් කියල මෑන්ට තේරුණා.
“ සර් අද විතරයි ද ආවෙ ”
“ නෑ මම ඊයෙත් ආව ”
“ සර්ල පොත් කියවන කෙනෙක් ද ?
“ ඔව්. මම පොතක් ලියලත් තියෙනව, ඒක විකුනන තැනට ආවෙ ”
ටුක් රියදුරා එතනින් එහාට මම එක්ක කිසි කතාවක් කළේ නෑ. කඩාගෙන ආවා.මම ඇත්තටම මගින් බැස්සා.මේ සටහන ලියන වෙලාවෙත් මම හොයන්නෙ මම පොත් ලියල බුක් ෆෙයාර් එකෙන් හම්බකරපු කෝටි ගාන කෝ කියල.