බුද්ධ කාලීන භාරතයේ පැවැති දෙසැට මිථ්‍යා දෘෂ්ටින් අතර සතුන්ට පමණක් නොව ගහ කොළට පවා ප්‍රාණය ඇතැයි යන “මහාවීර ”ශාස්තෘවරයාගේ ඉගැන්වීම් ගැන සමාජයේ බොහෝ සේ ප්‍රසාදයක් ගොඩ නැගී තිබුණ යුගයකි. වැසි කාලයට බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයන් ඇවිද යමින් පොළවේ ජීවත් වෙන ප්‍රාණීන් මරණයට පත් වෙන බවට චෝදනා නැගෙන්නට විය. මේ නිසා භික්ෂුන්වහන්සේලා විසින් මේ බැව් බුදුන්වහන්සේට සැළකලහ. අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුන්හි” යනුවෙන් මහණෙනි, වස් සමයේ තොපට වස් වසන්නට අනුදනිමි. යනුවෙන් විනය නීති පැනවූහ. එතැන් පටන් වස් පිංකම් සමග කඨින චීවර පූජාව විශාල වූ පිංකමක් ලෙස සලකන ලදී. සෑම වසරකම ඇසළ මාසයේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය බෞද්ධයන්ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. සෑම පන්සලකම “අයං වස්සාන කාලො” යනුවෙන් මේ වස් කාලය යැයි දක්වා තිබේ.
වස් වැසීම කවදා කළ යුතුද?
පෙරවස් සමාදානය
ඇසළ පුර පසලොස්වක පොහොය දින පොහොය කොට අව පෑලවියට පෙර වස් සමාදානය පෙරවස් සමාදානය වේ. පෙරවස් සමාදම් වුණ භික්ෂුන්වහන්සේලාගේ වස් පවාරණය වප් පුර ( ඔක්තෝබර් ) පසළොස්වක පොහොය දිනයේ සිදු කෙරේ.
පසුවස් සමාදානය
ඇසළ පුර පසලොස්වක පොහොය දිනට පෙරාතුව වස් සමාදම් වීමට නොහැකි වුණ භික්ෂුන් වහන්සේලා එයින් මාසයකින් පසුව එළැඹෙන නිකිණි (අගෝස්තු මාසයේ ) නිකිණි පුර පසලොස්වක පොහොය දින පොහොය කොට එනම් අව පෑලවියට පෙර වස් සමාදානය වේ. පසුවස් සමාදම් වුණ භික්ෂුන්වහන්සේලාගේ වස් පවාරණය ඉල් පුර ( නොවැම්බර් ) පසළොස්වක පොහොය දිනයේ සිදු කෙරේ.
වස් ආරාධනය
වර්ෂාව සහිත මේ කාලයේ ආරාමයෙන් පිටත නොයා වැඩ සිටින ලෙසත් මේ තුන්මාසය පුරා චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලාන ප්‍රත්‍ය භික්ෂුන්වහන්සේලාට පිරි නැමීමට පොරොන්දු වෙන බවට දායක සභාවෙන් සිදු කරන ඉල්ලීම “වස් ආරාධනාව” යි. දායක සභාවෙන් ඉල්ලීමක් ලැබුණත් නොලැබුණත් භික්ෂුන්වහන්සේ වස් වැසිය යුතුය.
දායක පින්වතුන් විසින් වස් ආරාධනාව සිදු කෙරේ’මේ වෙනුවෙන් දැහැත් ගොටුවක් පිළියෙල කෙරේ. දැහැත් රවුමට තබා එකිනෙකට සම්බන්ධ වන සේ ඉරටුවක් ගසයි. ඒ ගොටුව තුළට පුවක්, එනසල්. හුණු ආදි සුවඳ ද්‍රව්‍ය තබා එක් එක් භික්ෂුන් වහන්සේට එක් එක් දැහැත් ගොටුව බැගින් පිරිනමයි.
වස් පවාරණය ( පැවරීම )
වස්සාන කාලය අවසානයේදී සංඝයා වහන්සේ මැදට විත් වැඩිහිටි තෙරුන් ඉදිරියේ උක්කුටියෙන් හිඳ දොහොත් මුදුනට ගෙන “ස්වාමිනී, මා විසින් කරන ලද වරදක් දැකීමෙන්, ඇසීමෙන්, සැකයක් හෝ ඇත්නම් මා කෙරෙහි අනුකම්පාවෙන් එය ප්‍රකාශ කරනු මැනවි. යැයි ඉල්ලීමක් කෙරේ. සංඝයා වහන්සේගෙන් ඇවැතක් වී නොමැති නම් සංඝයා වහන්සේ තූෂ්නිම්භුතව සිටිති.
පවාරණ කටයුතු වෙනුවෙන් උපසම්පදාව ලත් භික්ෂුන්වහනසේලා පස් නමත්වත් සිටිය යුතුය. සංඝ ස්ථවිරයන් වහන්සේ වෙනුවෙන් උස් ආසනයක් පනවා තිබේ මුලින්ම වස් පවාරණය සංඝ ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන අතර සෙසු භික්ෂුන්වහන්සේලා විසින් සංඝ ස්ථවිරයන් ඉදිරියේ උක්ත පාඨය ගායනා කරනු ලැබේ.
කඨින මහා පින්කම
වස් තුන්මාසයෙන් පසුව වප් පුර පසලොස්වක පොහොය දිනයේ පටන් කඨින මහ පින්කම ආරම්භ වේ. ඒ නිසාම වප් මාසයට චීවර මාසය යනුවෙන්ද ව්‍යවහාර වේ. පෙරවස් සමාදම් වූ භික්ෂුන් වහන්සේ කඨින චීවරය ලබා ගැනීමට අයිතිය ලබයි. පසුවස් සමාදම් වූ භික්ෂුන් වහන්සේගේ වස් පවාරණය වස්සාන සෘතුවේ අවසාන පොහොය දින සිදු වෙන බැවින් කඨින චීවරයක් වෙනුවෙන් අයිතිය නොලබයි.
කඨින පිංකම් දිනය
කඨින පිංකම් දිනයේ අළුයම් කාලයේදී ඒ වෙනුවෙන් ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරයට වැඩම කිරීම සම්ප්‍රදායික සිරිතයි. ඇතැම් අවස්ථාවන්හිදී මෙය අලංකාර පෙරහැරකින් සිදු වේ. මෙම පින්කම සංචාරයේ යෙදෙන්නේ භික්ෂුන් වහන්සේ වස් විසූ ආරාමයට අයත් ගොදුරු ගම් සහ සෙසු ගම් ආවරණය වන පරිද්දෙන්ය. ඇතැම් ප්‍රදේශවලදී කඨින වස්ත්‍රය මෝල් ගසක ඔතා දෙදෙනෙකුගේ කර මතින් ගමින් ගමට ගෙන යනු ලැබේ. එසේ සංචාරය කිරීමෙන් මග දෙපස රැස්වෙන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින්ම අත ගසා ගැනීමට අවසර ලැබේ.
මෙසේ සංචාරයෙන් පසුව අලුයම එනම් කොස් කොළ හෝ අඹ කොලයේ නැට්ට පෙනෙන තරමට අලුයම් වූ විට කඨින පෙරහැර විහාරස්ථානයට ඇතුළු වේ.උත්සවකාරයෙන් වැඩම කරවන ලද කඨින වස්ත්‍රය පිලිගන්නා භික්ෂුන්වහන්සේලා ගේ අනුමැතිය මත කඩ කපා චීවරය සකස් කරති. අතීතයේදී මෙම මැස්මට බොහෝ පිරිස් පන්සලට රැස්ව සිටියහ.
කඨිනය සකස් කිරීම, පූජා කිරීම සහ ඇතිරීම යන සියලු කටයුතු එක් දිනකදී සිදු විය යුතු නිසා බොහෝ දෙනාගේ සහභාගීත්වය අවශ්‍ය විය.මසා නිම කරන ලද චීවරය සුදු පැහැති නම් එය පඬු පෙවීම සිදු වේ. මේ වෙනුවෙන් සිවුරු රෙද්දක් භාවිත කළේ නම් සංකේතයක් ලෙසින් සිවුරු කොනක් සෝදනු ලැබේ’මෙම අවස්ථාව හේවිසි, හොරණෑ ශබ්ද පූජාවන් ඔස්සේ සිදු වේ.
පඬු වර්ග
බුදුරජාණණ්වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂුහු ගොම හා රතු මැටි දියකර සිවුරුවලට පෙවූහ. එයින් සිවුරු දුර්වර්ණ විය. මේ බව තථාගතයන්වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවේ ඡ රජානානි මූලරජනං බන්ධරජනං තවරජනං පුප්ඵ රජනං ඊල රජනං… යැයි මුල්, කඳ, පොතු, කොළ, ගෙඩි යන මේ සය පඬු පෙවීමට අනුදැන වදාල සේක.
ඒස මග විනය අටුවාවෙහි දක්වා ඇති අන්දමට මුල් ආදියෙහි යෝග්‍ය වර්ණයක් නොමැති නම් ඒවා නොගත යුතු යැයිද, ටිගොල් ශංඛ වර්ග නුසුදුසු බවත් “ ලොද්දංච කණ්ඩුලං ටපෙත්වා සබ්බ බන්ධරජනං වට්ටති ” ලොත් හා කඩොල් හැර සියළු පොතු සුදුසු බවත්, නුසුදුසුය. “ අල්ලි පතඤ්ච නිල්ලිපත්තඤ්ච ඨපෙත්වා සිහින් කසාපත් හා බෙරපත් හැර සෙසු පත්‍ර සුදුසු බවත් වණුක් මල් හා කැලෑ මල් හැර සියලු මල් සුදුසු බවත් දක්වා තිබේ. සුවඳ ද්‍රව්‍ය කැඳ සමග මිශ්‍ර කළ යුතු නැත.
කඨින සිවුර පූජා කිරීම
සකස් කරගත් කඨින චීවරය පූජා මණ්ඩපයෙහි උස් ආසනයක තැන්පත් කෙරේ. රැස්ව සිටින භික්ෂුන්වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කෙරේ. එය පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට පූජා කිරීම විනය ප්රඥප්තියයි.
කඨිනය ඇතිරීම
මෙහිදී කඨින සිවුර ලබන භික්ෂුන්වහන්සේ විසින් කඨින වස්ත්‍රය අතට ගෙන “ඉමිනා උත්තර සංඝන කටිනං අන්තරාමි…” යනුවෙන් තුන්වරක් කියා පිරිමැදීම සිදු වේ. මෙය “කටිනාස්ථරණ විනය කර්මය හෙවත් කඨිනය ඇතිරීම”යනුවෙන් හැඳින්වේ.
කඨින පූජාවේ ආනිශංස
රන්වන් සිරුරු ලැබීම, ජනාදරයට පත්වීම, වස්ත්‍ර ආදියෙන් හිඟයක් ඇති නොවීම කිසිවෙකු සිය ජීවිත කාලයේදී පංචානාන්තරිය කර්මයක් සිදු කර නොමැත්තේ නම් මියයන මොහොතේ එම අයගේ ඊළඟ ප්රතිසන්ධිය සඳහා ඉදිරියට පැමිනෙන අටමහ කුසල් අතරින් ඉදිරියෙන්ම ඇත්තේ කඨින පූජාවයි.
පඨරිච නජාතු කම්පනේ
න චලති මේරුරිවාතී වායුනා
වජිරමිච න භිජ්ජතෙ ෂතං
නමිදමතො කටිනන්ති වුච්චති
යමෙකුට මහා පෘථිවය කම්පා කළ නොහැක්කා සේම, මහාමේරු පර්වතය සුළඟකින් සසල විය නොහැක්කා මෙන්ද, මහ ඝන වක්‍ර පර්වතය බිඳ විනාශ කළ නොහැක්කා මෙන්ද, කඨින පූජාවේ ආනිහංස නොසෙල්වන, ස්ථිර වූවක් බැවින් එම ස්ථිරසාර බව ලෙසින් මෙයට කඨිනය යැයි කියනු ලැබේ.
නමුත් අද වනවිට කඨින පිංකම්වලත් යම් යම් වෙනස්කම් ඇති වී තිබෙනවා. අතීතයේදී කඨින චීවරය වස් වැසීමට පෙරාතුව පූජා කිරීමක් සිදු වුණේ නැහැ. ඒ වගේම මේ චීවරය වස් අවසානයෙන් පසුව මසා, පඬු පොවා ගත්තා. අද මේ චවරය වස් තුන් මාසය පුරා ගමේ නිවෙස්වල තැන්පත් කරමින් පුද පූජා පවත්වනවා. මේ විදිහට වෙනස්කම් තිබුනත් වස් තුන්මාසය පුරා අපේ චිත්ත ප්‍රිතියෙන් යුක්තව සිදු කරන කුසල කර්ම අපට අත්පත් වෙනවා.
කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රි ධර්ම මහා
සංඝ සභාවේ අනුනායක ධුරන්ධර රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති මකුරුප්පේ
සෝමාලංකාර ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️