හොඳම දේ දරුවන්ටයි. නමුත් හොඳම දේ දරුවන්ට ලබාදීමට අප සෑම විටම කටයුතු කරනවාද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණකි. ළමුන් යනු රටක ජාතියක අනාගතයයි. පොහොර දී ජලය දී සෙවණ දී කුඩා පැළයක් රැක බලාගත් පසු සෙවණ සදනා, ඵල ලබාදෙන මහා වෘක්ෂයක් බවට පත් වේ. එලෙසින් දරුවන්ද ඔවුන්ට ලබාදිය යුතු අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් රැක බලාගත් පසු රටක ජාතියක උන්නතිය උදෙසා කටයුතු කරනා දැවැන්තයන් බවට පත් වේ. ඉතින් අද අපි කතා කරන්නේ ළමුන් සතු අයිතිවාසිකම් හා එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පවතින යාන්ත්‍රණයන් හා සම්බන්ධ නීතිමය තත්ත්වයයි.
ළමා අයිතිවාසිකම් සම්බන්ධව ඇති ගෝලීය ඓතිහාසික තත්ත්වය කුමක්ද ?
ළමා අයිතිවාසිකම් පිළිබඳ මූලික පිඹුරුපත 1923 දී ජාත්‍යන්තර ළමාරක්ෂක සංගමය බිහිවීමත් සමගම ගොඩ නැඟුණි. ඔවුන් ජිනීවා ප්‍රකාශනය යනුවෙන් හඳුන්වන ලේඛනයක් තුළින් ළමා සුබසාධනය හා ළමා අයිතිවාසිකම් අවධාරණය කරන ලදි. පසුකාලීනව 1989 වර්ෂයේ නොවැම්බර් මස 20 වන දිනයේදී ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. මෙම සම්මුතිය මගින් සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ එය ඉටු කරදීමට පොරොන්දුවක් ලෙස එම නායකයින් අතර එකඟතාවයක් ඇති කරගන්නා ලදී.
තවදුරටත් ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම කෙසේ ව්‍යාප්ත වි තිබේද?
මූලිකවම මේ පිළිබඳ අවශ්‍යතාවය ළමා අයිතිවාසිකම් පිලිබඳ ජිනීවා ප්‍රකාශයට අමතරව, 1948 එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශය, 1976 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ගිවිසුම, 1976 ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ගිවිසුම යන ලියවිලි හරහා ද අවධාරණය කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම කුමක්ද ?
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් 1990 වසරේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාවට නැංවීමට සහ ඒ පිළිබඳව වගවීමට කැප වෙමින් එයට අත්සන් තබා 1991 දී අනුමත කරන ලදී. ඒ අනුව එම සම්මුතියේ සඳහන් මාර්ගෝපදේශ මූලධර්මයන් අනුගමනය කිරීමටත්, එහි සඳහන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන සැළැස්වීමටත් ශ්‍රී ලංකා රජය බැඳී සිටී.
මේ අනුව සංශෝධිත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් මඟින් ප්‍රධාන වශයෙන් ළමා අයිතිවාසිකම් පිළිගෙන ඇත. එසේම, 1998 අංක 50 දරණ පාර්ලිමේන්තු පණත මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියද පිහිටුවන ලදි. ඊට අමතරව 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත, 1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත, 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත, 2005 අංක 34 දරණ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත මගින් ද ලංකාව තුළ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන සළසා ඇත.
ළමයා යනු කවරෙකුද?
දේශීය පොදු නීතිය අනුවත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ජාත්‍යනතරවත් වයස අවුරුදු 18 ට අඩු සෑම පුද්ගලයෙකුම ළමයෙකු ලෙස සැලකේ. නමුත් ශ්‍රී ලංකාව තුළ බලපැවැත්වෙන වෙනත් නීති තත්වයන් යටතේ මෙම වයස් සීමාව වෙනස් ලෙස අර්ථ දක්වා ඇත.
ළමයාගේ භාරකාරත්වය කා සතුද?
මූලිකවම මෙය දෙමාපියන් සතු වන අතර ළමා භාරකාරත්වය තීරණය කිරීමේදී දරුවාගේ උපරිම යහපත සළකා බැලිය යුතු වේ. කෙසේ වුවද, දරුවාගේ අවසාන භාරකරු වන්නේ දිසා අධිකරණය වේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් ඉටු කිරීමට බැඳී සිටින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ ඇති ළමා අයිතිවාසිකම් මොනවාද?
මෙහි ප්‍රධාන වශයෙන්ම ළමයෙකුට හිමිවන අයිතිවාසිකම් ලෙස පහත අයිතීන් පිළිගෙන ඇත. වෙනස්කොට නොසැළකිම, දරුවාගේ උපරිම යහපත, පැවැත්ම හා සංවර්ධනය, නම හා ජාතිකත්වයට ඇති අයිතිය, අනන්‍යතාවය ආරක්ෂා කිරීම, මවුපියන්ගෙන් වෙන්කර තැබීම, පවුලක් ලෙස නැවත එක්වීම, ළමයින්ට සහභාගී වීමට ඇති අයිතීය, අපහරණය හා විකිණීමෙන් වැළකීම, ළමයාගේ මතයට ඇති අයිතිය, නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීම හා නිදහසේ සිතීම හා ආගමක් ඇදහීම, ළමා අයිතිවාසිකම් දරුවන්ට ජීවත් වීමට ඇති අයිතිය, පැවැත්ම හා සෞඛ්‍යසම්පන්න බව, පෞද්ගලිකත්වය රැක ගැනීම, සියළුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් ආරක්ෂා වීම, ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලැබීම, අධ්‍යාපනය ලැබීම, අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම, විනෝදාත්මක කටයුතු ක්‍රීඩා හා සංස්කෘතික කටයුතුවල නියැළීම, ළමා ශ්‍රමය ලබාගැනීමෙන් වැළකීම, ලිංගික සූරා කෑමෙන් වැළකීම, අපහරණය හා විකිණීමෙන් වැළකීම, වෙනත් ආකාරයේ සූරාකෑම්වලින් වැළකීම, රඳවා තබා ගැනීමෙන් හා දඬුවම් ලැබීමෙන් වැළකීම, ළමා වින්දිතයින් පුනරුත්ථාපනය කිරීම, බාල වයස්කාර යුක්තිය ලැබීම, ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම.
ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය කුමක්ද?
මෙම අධිකාරිය පිහිටවුයේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් වන අතර මූලිකවම මෙම අධිකාරිය විසින් ළමා අපචාර වැලැක්වීම, අපයෝජනයට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ප්‍රතිකාර කිරීම, ළමා අපයෝජනය පිටු දැකීම සඳහාප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග සැකසීම හා සම්බන්ධිකරනය සිදු කරයි.
ළමා අයිතිවාසිකම් කඩ වූ විට සහ කඩවීමට ආසන්න අවස්ථාවකදී පැමිණිලි කළ යුත්තේ කා හටද?
මේ සම්බන්ධයෙන් ආසන්නම පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි අතර මීට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට සහ ළමයින් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිසහටද පැමිණිලි කළ හැක. මේ අනුව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මූලික නීති ප්‍රතිපාදන සහ ආයතන මෙසේ දැක්විය හැකි අතර මේ පිළිබඳව වැඩිහියන් ලෙස දැනුවත්වීම මෙන්ම ළමයින්ද දැනුවත් කිරීම අපගේ වගකීම වේ. තවද සමාජයක් ලෙස රටේ ඉදිරි පරම්පරාව ආරක්ෂා කිරීමටද අප සැම සදාචාරාත්මකව බැඳෙනු ඇත.
නීතීඥ කාංචනා ෂෙහානි
kanchanashehaniaal@gmail.com