ඔබ දන්නවද සිංහයෙක්ව කැලෑවක් ඇතුළෙදි දැක්කම අනිත් සත්තුන්ට හිතෙන්නේ මොකක්ද කියලා? අනිත් සියලුම සත්තු සිංහයව දැක්කම දුවනවා. ඒ මොකද සිංහයා සලකන්නේ කැලෑවේ රජා විදිහට. අපිව සිංහයාගේ කෑමක් වෙයි කියන බය අනෙක් හැම සතාටම තියෙනවා. මේ හැම දේකින්ම සොබාදහම මිනිසුන් වන අපිට අපූරු පාඩම් රාශියක් උගන්වනවා.
කැලෑවේ සිංහයාට වඩා විශාල සත්තු කොච්චර හිටියත් කැලෑවේ රජා විදිහට සිංහයාට නමක් පටබැඳුනේ ඇයි? අනෙක් හැම සතෙක්ම සිංහයා හමුවේ යටත් වෙන්නේ ඇයි? කවදාවත් සිංහයාගේ ජීවිතෙන් පාඩමක් ඉගෙන ගන්න ඔබට හැකියාවක් ලැබිලා නැත්නම් මේ ලිපිය ඔබ වෙනුවෙනුයි.
මුලින්ම අපි කතා කරමු සිංහයෙක්ට කැලේක නායකත්වය දරන්න තියෙන සුදුසුකම් ගැන. නායකයෙක් වෙන්න සුදුසු ලොකුම ආයුධය ඔහු ළඟ තියෙනවා. මේක තමයි වටිනම ආකල්පමය සාධකය. නිකමට හිතලා බලන්න කැලේ ඉන්න උසම සතා සිංහයා නෙවෙයි. විශාලම සතත් සිංහයා නෙවෙයි. නුවණක්කාරම සතත් සිංහයා නෙවෙයි. නමුත් මේ කිසිම සතෙක්ට නැති දෙයක් සිංහයා ගාව තියෙනවා. ඒ තමයි සිංහයා තමන් ගැන හිතන් ඉන්න විදිහ. නැපෝලියන් බොනපාට් කියන ශ්‍රේෂ්ඨ රණකාමියා වරක් කියනවා මෙවැනි කතාවක්.
“ඔබ සිංහයන් සිය දෙනකුගේ නායකත්වය සුනඛයකුට පැවරුවොත් සිංහයන් සිය දෙනාම යුද බිමේදි සුනඛයින් මෙන් මියැදෙනු ඇත. එමෙන්ම ඔබ සුනඛයන් සිය දෙනකුගේ බලකායක් තනා එහි නායකත්වය සිංහයකුට ලබා දුනහොත් සුනඛයින් සිය දෙනාම යුද බිමේදී සිංහයන් සේ සටන් වදිනු ඇත.”
සිංහයා නායකත්වය දරමින් සිය කණ්ඩායම මෙහෙයවද්දි ප්‍රතිඵලය කොයිතරම් දුරට වෙනස් වෙන්න පුළුවන්ද කියලා ඔබ මේ කතාවෙන් තේරුම් ගත යුතුයි. ඔබේ විශ්වාසයන් තමයි ඔබේ ආකල්ප බවට පත්වෙන්නේ.
ඔබ ටිකක් කල්පනා කරලා බලන්න ඔබ තුළ සිංහයකු සතු ස්පිරිට් එක, ආකල්ප කොච්චර දුරකට තියනවද කියලා. අභියෝගයක් දුටු තැන කොතරම් දුරකට එය යටපත් කරගත හැකිදැයි කල්පනා කරලා බලන්න. ජීවිතයට ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කය කොපමණ දුරකට ජය ගන්න පුළුවන්ද කියලා හිතන්න. එයින් ඔබට ජයග්‍රහණය කරා යා හැකිද නොහැකිද යන්න වග තීරණය වෙනවා.
මං මේ ගැන පැහැදිලි කරන්න තවත් කතාවක් කියන්නම්. කුඩා මේ පැටවෙක් හැමදාම ගස් බෙනයකින් එළියට ඇවිත් කෑම හොයන් යනවා. දවසක් පූසෙක් කෑ ගහන සද්දයක් ඇහිලා බය වෙලා මේ මී පැටියා නැවතත් ගස් බෙනයට දුවවිත් රිංගනවා.
මේ ගහේ ඉන්නවා වෘක්ෂ දේවතාවෙක්. මී පැටියා හැමදාම මේ විදිහට පූසගේ සද්දෙට බය වෙලා දුවගෙන එද්දි වෘක්ෂ දේවතාවට දුක හිතෙනවා. වෘක්ෂ දේවතාව අහනවා “ඇයි මේ පැටියෝ නුඹ දිව්වේ?” කියලා. එතකොට මේ පැටියා උත්තර දෙනවා “මම පූසට බයයි” කියලා. ඊටපස්සේ දේවතාවා අහනවා “ඇයි ඔබ පූසන්ට බය?”
“දේවතාවුන් වහන්ස පූසන්ට කොහොමත් මීයො බයය” මීයා කියනවා.
දේවතාවා මේකට විකල්පයක් විදිහට මී පැටියව පූසෙක් බවට පත් කරනවා. පහුවදා බෙනේ ඇතුළෙන් එළියට එන්නේ මීයෙක් නෙවේ පූසෙක්. නමුත් එදත් පූස් වෙස් ගත්තත් අනිත් පූසගේ සද්දෙට බය වෙලා මේ පූසා බියෙන් බෙනය අස්සට දුවන් ආවා. වෘක්ෂ දේවතාවට පුදුම හිතුණා පූසෙක් ඇයි තවත් පූසෙක්ගේ හඬට බිය වෙන්නේ කියලා. තුන්වෙනි දවසේ වෘක්ෂ දේවතාවා මීයව බල්ලෙක් බවට පත් කළා.
නමුත් එදත් පූසගේ සද්දෙට දුවගෙන ඇවිත් බෙනය ඇතුළේ හැංගුණා. මොන සත්ත්ව වේශයක් මැව්වත් තවමත් පූසගේ හඬට බයවෙන මීයව හතරවෙනි දවසේ වෘක්ෂ දේවතාවා සිංහයෙක් බවට පත් කළා. දැන් මීයා සිංහ වේශයෙන් ඉතාම ගාම්භීරව ඇවිදං කෑම හොයාගෙන යනවා. නමුත් අර පූසා එදත් කෑ ගහන්න පටන් ගත්තා.
සිංහයා නැවතත් බිම වැටි වැටී ලොකු බියකින් දුවගෙන ඇවිත් බෙනයට රිංගන්න උත්සාහ කළා. මේක දැකලා දේවතාවා කම්පාවට පත්වුණා. මේ මී පැටියව මෙච්චර විශාල සිංහයෙක් බවට පරිවර්තනය කරලත් පූසෙක්ගේ හඬට බිය වෙන්නේ ඇයි කියලා වෘක්ෂ දේවතාව කල්පනා කළා.
මීයව පරිබාහිරව කොච්චර සිංහයෙක් විදිහට පරිවර්තනය කළත් තාමත් සිංහයාගේ සිතුවිලි ඇතුළේ ඉන්නේ මීයෙක්. ඒ නිසයි සිංහයෙක්ගේ ස්වරූපයෙන් හිටියත් තවමත් මීයෙක් විදිහට එයා හිතන්නේ. තමන් තවමත් මීයෙක් කියන විශ්වාසය තියෙනකල් ඔබට කවදාවත් බියෙන් ජයගන්න වෙන්නේ නෑ.
ඔබ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලද්දි ඔබ ඉලක්ක ජයග්‍රහණය කළ හැකි පුද්ගලයකු බවට ඔබට නොපෙනෙනවා නම් ඔබ ඉලක්ක ජයගත හැකි පුද්ගලයකු බව ඔබගේ වටේ ඉන්න කිසිවකුත් දකින්නේ නෑ. ඒ නිසා හොඳින් මතක තියාගන්න සිංහයා කැලෑව ඇතුළේ රජ වෙන්නේ කිසිම දෙයක් නිසා නෙවෙයි එයා ගාව තියෙන ආකල්ප නිසා. ඒ ස්පිරිට් එක නිසා.
අභිප්‍රේරක,
පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
භාතිය අර්ථනායක
එරංදි කෞශල්‍යා ✍️