ප්‍රමිලා කුමාරි
ඇහැලියගොඩ කී විට අපේ හිතේ ඇති වෙන්නේ මැණික් කර්මාන්තය ගැන වූ අනන්‍යතාවයක්. මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කිව්වත් ඇස් පෙනෙන පුද්ගලයෙකුගෙන් වුණත් මැණික් ගලකට සාධාරණ වටිනාකමක් නොලැබෙන අවස්ථාවක් තිබෙන්න පුළුවනි. මැණික් ගලක වටිනාකම වැඩි කිරීමත් එක්තරා ආකාරයක කලාවක්. මැණික් ගලක් ඔප දැමීම සමග ඒ මැණිකට තවත් අලංකාරයක් ලැබෙනවා. ඒ වගේම වටිනා මැණික් ගලක් ඔප දමන විට යම් යම් කොටස් අපතේ යනවා. මේ අපතේ යන මැණික් ගල් යොදා ගෙන විසිතුරු නිර්මාණ කරන කාන්තාවක් ගැන තොරතුරු දැනගත්තා. කාන්තාවක් කියන්නේ පිරිමැස්මේ සංකේතයක්. නිවසේ ඉතුරු බත් ඇටය පවා ඉවත නොදමා ප්‍රයෝජන ගැනීම කාන්තාවකගේ ලක්ෂණයක්. ඇහැලියගොඩ පදිංචි ටී.ඩී ප්‍රමිලා කුමාරි දේවසිංහ මැණික් ගලක් ඔප දමන විට ඉවත දමන කොටස් ප්‍රයෝජනයට ගැනීමට හිතුවා.
ඇත්තටම ඔබට මෙහෙම අදහසක් ඇති වුණේ කොහොමද…?
මගේ සැමියා මැණික් ව්‍යාපාරිකයෙක්. ඔහු “ වසන්ත ලැපිඩරි ඇන්ඩ් බර්නින් ” නමින් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. මම විවාහයෙන් පසුව සැමියාගේ කර්මාන්තයට සම්බන්ධ වුණා. මම ඒ වෙනුවෙන් මැණික් කැපීමේ පාඨමාලාවක් හැදෑරුවා. ඒ වගේම මැණික් ආභරණ කලාව ගැනත් මම ඉගෙන ගත්තා.
ඔබට අලුත් අදහසක් ආවා…
ඔව්. මැණික් ගලකින් කැපෙන කොටස් ඉවත දමනවා. සමහර විට මාළු ටැංකි වගේ දේවල්වලට ඒවා යොදා ගන්නවා. මට හිතුනා මේ ඉවත දමන ගල් අරගෙන විසිතුරු සැරසිලි කරන්න. ඒ නිසා මම ඒ කලාව ගැනත් හිතුවා.ඒ වගේම මැණික් කියන්නේ රත්නපුරයට තියෙන සම්පතක්. ඉතින් ඒ සම්පත් අපිට උපරිමයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉවත දමන මැණික් කැබැලිවලට වටිනාකමක් ලැබුණේ ඔය විදිහටයි.
ඔබේ නිර්මාණ ගැන කිව්වොත්…
ඉවතලන මැණික් ගල් යොදා ගෙන කරන නිර්මාණ අතර බිත්ති සැරසිලි, මානව රූප වගේ විවිධ විසිතුරු නිර්මාණ තිබෙනවා. මෙය ඉතා සියුම් කලාවක්. මේ ක්‍රියාවලියේ පියවර කිහිපයක් තිබෙනවා. චිත්‍ර අඳින අය, ගල් කුඩු කරන, ගල් අලවන සහ රාමු කරන විදිහට බොහෝ දෙනෙක් සම්බන්ධයි. මැණික් ගල් ඇලවීමත් බොහොම ඉවසීමෙන් සීරුවට කරන්න ඕන.
මැණික් ගල් පාට කිරීමක්…
නැහැ. නිර්මාණය මැණික් ගලේ ස්වභාවික වර්ණයෙන්ම ගළපනවා. එතැනින් විශාල වටිනාකමක් නිර්මාණයට ලැබෙනවා. මගේ මේ නිර්මාණ කලාව “ වසන්ත ලැපිඩරි ඇන්ඩ් බර්නින් ” යනුවෙන් නම් කරලා තිබෙනවා. ඒ වගේම ගමේ කිහිප දෙනෙකුටම රැකියා අවස්ථා ලැබී තිබෙනවා.
මේ නිර්මාණ මැණික් වගේම ඉහළ මිළකට අලෙවි වෙනවද…?
හැම නිර්මාණයක්ම එකම මිළකට අලෙවි වෙන්නේ නැහැ. ඒ නිර්මාණයේ ප්‍රමාණය, ගත වුණ කාලය අනුව මිළ වෙනස් වෙනවා. සාමාන්‍ය බිත්ති සැරසිල්ලකට වඩා මානව රූපයක් වෙනුවෙන් ගල් යොදා ගැනීමේදී ඉතා සියුම් විදිහට කරන්න වෙනවා.
අදාල පුද්ගලයාගේ රූපය ස්වභාවික විදිහට ඉස්මතු කරන්න වෙනවා. ඒ වගේ නිර්මාණයක් කරන විට ඉවසීම වගේම නිර්මාණශීලීත්වය ඉතාම වැදගත් වෙනවා.
දේශීය වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් ලැබෙනවාද…?
ඔව්… අපි මැණික් වගේම මැණික් පිලිස්සීම, ස්වර්ණාභරණ නිෂ්පාදනය වගේ විවිධ කර්මාන්ත කරනවා. “ වසන්ත ලැපිඩරි ඇන්ඩ් බර්නින් ” කිව්වාම ඇහැලියගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධයි.
ඒ අතරේ ඉවතලන මැණික් ගල්වලින් නිර්මාණ කරන තැනක් විදිහටත් දැන් හැම දෙනෙක්ම අපේ ව්‍යාපාරික ස්ථානය ගැන දන්නවා. ඒ නිසා විශේෂ සමරු තිළිණ, උපන්දින තෑගි වගේම සිහිවටන විදිහට මේ නිර්මාණ තවත් කෙනෙකුට තෑගි කරන්න අපෙන් මිළට ගන්නවා.
අපි අන්තර්ජාලය ඔස්සේ විශාල වෙළඳපොළක් ගොඩ නගා ගෙන තිබෙනවා. නවීන තාක්ෂණය සමග අත්වැල් බැඳගෙන අපේ ව්‍යාපාරයත් හොඳ ගමනකට දැන් අවතීරණය වෙලා. විදේශ රටවලටත් අපි මේවා අපනයනය කරනවා.
ඉතාලියට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම අනාගතයේදී ඔස්ට්‍රේලියාවට මේවා අපනයනය කරන්නත් අදහස් කරනවා.
මේ වගේ සකසුරුවමින් නිර්මාණශීලී උත්සාහයක යෙදීම ගැන ඔබට සමාජයෙන් ලැබුණ ඇගයීම…
මට මේ නිර්මාණ වෙනුවෙන් විවිධ අවස්ථාවල ඇගයීම් ලැබී තිබෙනවා. 2021, 2022 වසරේ සබරගමු පළාතේ විශිෂ්ටතම කාන්තාව විදිහට සම්මාන ලබා ගත්තා. 2022 වසරේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ජාතික මට්ටමේ 3 වන ස්ථානය ලබා ගත්තා.
2023 වසරේ සබරගමු පළාතේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් මට රිදී සම්මානයත් 2023 වසරේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් මැනික් හා මැනික් ආශ්රිත නිර්මාණ වෙනුවෙන් ඇගයීම් සම්මාන ලැබුණා.
බිරිඳක, මවක සහ ගෘහනියක ලෙසින් සකසුරුවම සහ ඉවතේ යන දෙයින් ප්‍රයෝජන ගනිමින්, තමන් ජීවත්වෙන ප්‍රදේශයේ කීප දෙනෙකුට විශේෂයෙන් කාන්තාවන් වැඩි දෙනෙකුට අර්ධකාලීනව රැකියා අවස්ථා උපයමින්, රටට ඩොලර් ලබා දෙමින් ඔබ යන මේ ගමන්මග වෙනුවෙන් “නවලිය ” අපි ඔබට සුබාශිංශනය කරමු.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️