ශ්‍රී ලංකාවේ සිට බොහෝ තරුණ පිරිස් වෙනත් රටකට යන්නේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේ අරමුණෙන්ය. එලෙස ජීවන වියදම අධික රටකට යන්නට සිදුවුවහොත් ඔවුන්ට නොවරදවාම කුමන හෝ අර්ධ කාලීන රැකියාවක නිරත වීමට සිදු වේ. තමන්ගේ අධික අධ්‍යාපන වියදම් පියවාගන්නට ඔවුන් දිවා රෑ නොබලා විශාල සටනක් කරති.එයිනුත් බොහෝ දෙනකුට ලැබෙන්නේ ඩිලිවරි රැකියායි. නැතහොත් පවිත්‍රතා රැකියායි. ලංකාවේ කෙදිනකවත් රැකියා අත්දැකීමක් නොලැබ හැදීවැඩුණු දරුවන් වෙනත් රටක තනිවෙන්නට සිදුවෙද්දී තමන් වෙනුවෙන් මුදලක් හම්බ කරගන්නට කුමානාකාරයේ හෝ රැකියාවක් කිරීමට පෙළඹෙන්නේ ලංකාවේ මෙන් නොව එම රටවල තරාතිරම නොබලා සේවකයකුට සාධාරණ, උපරිම මුදලක් මහන්සිය වෙනුවෙන් ගෙවන නිසායි.
පසුගිය දවසක එලෙසින් කුඩාවට රැකියාවල නිරතව සිට මිලියනපතියකු වූ වයස අවුරුදු 26 ක ශ්‍රී ලාංකික තරුණයකු පිළිබඳව පුවතක් සමාජ මාධ්‍ය පුරා ලැව් ගින්නක් සේ පැතිරුණි. එම පුවත එරට මාධ්‍ය හරහාද වඩාත් කතාබහට ලක්ව තිබුණි. පවිත්‍රතා සේවකයකු ලෙස සේවය කරමින් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මිලියනපතියකු බවට පත්ව ඇති ඔහු විනුල් කරුණාරත්න. මිලියනපතියන්ගේ වත්කම් ප්‍රසිද්ධ කිරීම ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය දෙයකි. අවුරුදු 26 ක් වැනි තරුණ වයසකදී මිලියනපතියකු වූ ශ්‍රී ලාංකිකයා පිළිබඳව එරට මාධ්‍ය දැනගත්තේ එලෙසය. ඔවුන්ට උවමනා වූයේ විනුල්ගේ කතාව හරහා තවත් තරුණ තරුණියන්ට උත්තේජනයක්, පෙළඹවීමක් ලබාදීමටයි.විනුල් ඕස්ට්‍රේලියාවට යන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහා අවුරුදු 17 දී ය. පසුකාලීනව ඔහුට එහි ස්ථිර පදිංචිය හිමි වී ඇති අතර ව්‍යාපාරයකට මුලපිරීමට ඔහුට සිතී ඇත්තේ ඉන් පසුවයි.
ව්‍යාපාරයේ ආරම්භය
විනුල්ගේ සිහිනය වී තිබුණේ තමන්ගේම සන්නාමයක් ගොඩනගා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔහු පළමු අඩි තාලම දැමුවේ ඊ කොමර්ස් ව්‍යාපාරයකට මුදල් හොයාගන්නට පිරිසිදු කිරීමේ සේවකයකු ලෙස කටයුතු කිරීමෙනි. එසේ ආරම්භ කෙරූ පිරිසිදු කිරීමේ රැකියාවෙන් අද ඔහු සිය සිතේ තිබුණු ව්‍යාපාරයට වඩා මුදලක් හම්බ කරයි. පවිත්‍රතා සේවකයකු ලෙස ආයතනයකට බැඳුණු විනුල් අද පවිත්‍රතා ව්‍යාපාරයක අයිතිකරුවෙකි. එමෙන්ම ඊ කොමර්ස් ව්‍යාපාරයේ සිහිනයද ඔහු තුළින් නික්ම නොගියේය.තමන්ගේම පවිත්‍රතා ව්‍යාපාරයක් ආරම්භ කළද ඔහු ඉන් හම්බකරගත් මුදලින් චීන ජාතිකයින් හා සම්බන්ධව එම ව්‍යාපාරයටද අත ගැසුවේය.
ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳව උපාධියක් හිමි විනුල් මේ වනවිට එම අධ්‍යාපන සුදුසුකම්ද ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපාරිකයකු මෙන්ම ව්‍යවසායකයකු ලෙසද යමින් සිටින්නේ ඉතාම සාර්ථක ගමනකි. ඔස්ට්‍රේලියාවේ හොඳම ව්‍යවසායකයින් 100 දෙනා අතරට විනුල් ද එක්විය. විනුල් හැරෙන්නට තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ද එම ලැයිස්තුවේ ඇත.
විනුල් අර්ධකාලීන රැකියාවක් ලෙස එක්තරා සුපිරි වෙළෙඳසලක රාත්‍රී වැඩ මුරයක යෙදුණි. පසුව පවිත්‍රතා සේවකයකු ලෙස ද කලයක් සේවය කළේය. එසේ සේවය කරන අතරතුරදී ඔහුට සිතුණේ තමන්ටම කියා සුළුවට හෝ පවිත්‍රතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. මේ සඳහා ඔහු යොදාගනු ලැබුවේ Airtasker නමැති වෙබ් අඩවියයි. ඒ හරහා ඔහුට හාහා පුරා කියා ලැබුණු පළමු සේවා ඇණවුම වූයේ උත්සවයක් වෙනුවෙන් කාර්යාලයක් පිරිසිදු කිරීමටයි. නමුත් ඒ වනවිට ඔහුගේ ව්‍යාපාරයේ අයිතිකරුවා මෙන්ම සේවකයාත් ඔහුම විය.
එහෙයින් එදා එම පිරිසිදු කිරීමේ කාර්යයට ඔහු මිතුරෙකු සමඟ ද ගොස් ඩොලර් 400 ක් හම්බකරගත්තේය. කම්කරුවකුට ගෙවනා නියමිත පඩිය තම මිතුරාටද ගෙවන්නට ඔහු අමතක නොකළේය. මෙසේ කල් ගතවනවිට විනුල් හට වැඩි වැඩියෙන් වැඩ ලැබුණි. එහෙයින් ඔහු Airtasker හරහාම සේවකයින් පිරිසක් බඳවාගත්තේය. එලෙසින් 2019 වසරේදී කුඩාවට ආරම්භ කළ විනුල්ගේ ව්‍යාපාරයේ අද සේවකයින් 40 දෙනකු සේවය කරනු ලබයි. ඒ අතරින් අටදෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර සෙසු සේවකයින් ඕස්ට්‍රේලියා, වියට්නාම්, දකුණු ඇමෙරිකානු ජාතිකයන්ය.
රැකියාවන් සඳහාම ඇති Airtasks නමැති ඕස්ට්‍රේලියානු වෙබ් අඩවිය බුද්ධිමත්ව යොදාගත් කෙනෙකු ලෙස විනුල්ව අපට හැඳින්විය හැක. මේ වනවිට එම වෙබ් අඩවියේ ඉහළම අදායම් උපයන 10 දෙනා අතරට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවද පැවසීමට වුවමනාය.
විනුල්ට සිටින්නේ මව, පියා සහ නැගණියන් දෙදෙනකු පමණි. ඔහුගේ ‘රෝල් මොඩ්ල්’ එක ආදරණීය පියාය. දුප්පත්ම අඩියක සිට ජීවිතය ජයගත් පරම්පරාවකට හිමිකම් කියනා විනුල්ගේ පියා කාර්මික ඉංජිනේරුවරයෙක් වන අතර මව ගුරුවරියකි. පවිත්‍රතා ව්‍යාපාරයක් වුවත් ස්ව උත්සාහයෙන් නැගී සිටීමට වැර දරනා විනුල්ගේ වෑයමට පියාගේ නොමද ආශිර්වාදය හිමි වුවද මව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ සිය පුත්‍රයා ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක ව්‍යාපාර සම්බන්ධව උපාධියක් කර පවිත්‍රතා ව්‍යාපාරයක් පවත්වාගෙන යන නිසාය.
“මම මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට මට තිබුණේ වැකුම් ක්ලීනර් එකක්, මොප් එකක් සහ බාල්දියක් පමණයි.” විනුල් මෙලෙස පවසන්නේ එරට ප්‍රධාන පෙළේ පුවත්පතකටයි. තමන්ට කියා කිසිඳු දෙයක් නොමැතිව ආගන්තුකයකු සේ ඔස්ට්‍රේලියාවට පැමිණි විනුල් වසර 5 ක් ඇතුළත ඔහු නිරතවූ අර්ධ කාලීන රැකියාවෙන් ඩොලර් මිලියන 12 ක මුදලක් උපයා ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔහු පවිතතා කාර්යයට අතගැසීමට පෙර සෙවන් ඉලෙවන් නම් සුපිරි වෙළෙඳසල් ජාලයේ රාත්‍රී වැඩ මුරයේ සේවය කළ අතර 2019 වසරේ සිට අර්ධ කාලීනව පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත විය.
විනුල්ගේ එකම සිහිනය වූයේ හොඳ සන්නාමයක් සමඟින් ව්‍යාපාරික ලොව ජයගැනීමයි. එම ඉලක්කය වෙනුවෙන් විනුල් වෙනත් රටකට ඉගෙනගැනීමට යන අනෙක් සියලුම දරුවන් සේ දිවා රෑ නොබලා කැපවුණි. මහන්සි වුණි. ඒ අතර ඔහු සිය අධ්‍යාපන කටයුතු මගහැරගත්තේද නැත. පියා සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් යොදවන අතරේ ලැබන කාලයේදී පවිත්‍රතා සේවකයකු ලෙස ඔහු ඔහුගේම ව්‍යාපාරයක් වෙනුවෙන් මුදල් එක්රැස් කරගත්තේය. අවසන ඔහු තෝරාගත් රැකියාව ව්‍යාපාරයක් දක්වා වර්ධනය කෙරුවේය.
විනුල්ගෙන් තරුණ තරුණියන්ට පමණක් නොව කාට කාටත් ඉගෙනගැනීමට දෑ බොහොමයක් ඇත. විනුල් කාටත් කියන්නේ හිත හිත නොසිට පුංචියට හෝ තමන්ගේ දෙයක් ආරම්භ කරන ලෙසයි. එක රැයින් ඔබට දියුණ වීමට නොහැකි වේවි. නමුත් ඔබට නිසැකවම දියුණු වීමට හැකි වේවි.
අවසන විනුල් සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් පැවසූ දෙයක් සමඟ මා මෙම කතාව අවසන් කරන්නට සිතුවෙමි. “මේ වගේ රටවලට ආවම ගොඩක් අය මුලින්ම කරන්නෙ වාහනයක් ගන්න උත්සාහ කරන එක. මුලින්ම මුදල් ඉතිරි කරගෙන තැනකට එන්න උත්සාහ කරන්න. එතකල් ටිකක් කට්ට කන්න. ඊටපස්සෙ ගන්න හිතන් හිටියටත් වඩා හොඳ වාහනයක් අපිට ගන්න පුළුවන්.”
එරංදි කෞශල්‍යා ✍️