අපේ රටේ බෞද්ධ සංස්කෘතික ඉතිහාසය අනුව යමක් ඉතුරු කරගැනීම පරම්පරාගතව උරුම වන්නකි. අපේ අම්මලා ඉස්සර කුස්සියේ උයද්දි හාල් මිටක් නැවත මුට්ටියකට දාන්නේ පෙරේතකම නිසා නොවේ. ගොවිතැන්බත් පාඩු ලාබන කාලයකදී වේලක් පිරිමහ ගන්නට ඒ මුට්ටියේ ඉතිරිවෙන හාල් ප්‍රමාණවත් වීම නිසාය. වර්තමානයේ නැගෙන මැසිවිල්ලක් වන්නේ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම නිසා මුදල් ඉතිරි කරන්නට හැකියාවක් නැත ය යන්නයි.
මෑතකදි ලද මගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් එය පැහැදිලි කිරීම වටී. මගේ ආදායම ඉක්මවා වියදම වැඩිවිමත් මාසය අවසානයේ උඩ බලාගෙන ඉන්න සිදුවීමත් පුදුමයක් වූයේ මගේ වැටුපට වඩා අඩු වැටුපක් ලබාගන්නා අය ඊට වඩා එයින් වැඩ ගැනීම ගැන ඇති වූ කුකුසයි. මා මුලින්ම කරේ ඇන්ඩ්රොයියිඩ් යෙදවුමක් හරහා නැතිනම් ඇප් එකක් හරහා මගේ ආදායම් වියදම්වලට සිදුවන දේ සොයා බැලීමයි.
යම් මාර්ගයකින් අතට මුදලක් ලැබූ වහා එය ඇප් එකට ඇතුළු කළ අතර, කිරිපැකට්ටුවක් බීමේ සිට ගෙදර වියහියදම් බස් ගාස්තු පවා ඊට ඇතුළත් කරා. මාසය අවසානයේ අයවැය සහ වියදම් ගැන ස්ථම්භ ප්‍රස්ථාර ඇසුරින් නිරූපණය වූයේ අසාමාන්‍ය ලෙස දුරකථන කාඩ්පත් සඳහා සහ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව ඔන්ලයින්හි පළවන ඇඩ්වලට රැවටී මිලදී ගැනීම් කර ඇති බවයි. එහිදී ඒවා ඇතැම් විට ක්‍රියා විරහිත හෝ ඔවුන් අපිට පෙන්වූ දේ කළ නොහැකි බවද තව දුරටත් පැහැදිලි විය.
අන්තර්ජාලයෙන් පළවන ව්‍යාජ තොරතුරුවලින් යුත් භාණ්ඩ මිලදී ගැනීමට වඩා කොළඹ එවැනි උපාංග විකුණන සාප්පුවකින් පරීක්ෂාකර මිලදී ගැනීමට හුරුවීම නිසා අත්‍යවශ්‍ය උපකරණ පමණක් මිලයට ගැනීමට හැකිවිය. එමෙන්ම දුරකථන කාඩ්වල එකතුව ආසන්න වශයෙන් රුපියල් දෙදහස ඉක්මවා ගොස් තිබූ අතර රුපියල් 700/- වැනි මුදලකට ඉතා ලාබදායි පැකේජයක් ඇක්ටිව් කරගත හැකි බව පැහැදිලි විය.
ඔය ආකාරයේ වියදම්වලින් ආදායමින් 30% ක් ඉක්මවා වියදම් වී තිබීම ඇදහිය නොහැකි විය. රූපවාහිනී සේවා කිසි විටෙක නොබැලුවද, ඒ වෙනුවෙන් මාසිකව මුදල් වැයවී තිබුණි. ඒවා පෙරගෙවුම් ක්‍රමයට සකසා ගැනීම හරහා සෑහෙන තරම් ඉතිරියක් කරගත හැකිවිය. පෞද්ගලිකව ඔබේත් වියදම් ගණනය කිරීම් මගින් ඒවා කළමනාකරණය කරගත හැකිය.
මුදල් ඉතිරි කරගත හැකිය. ඇතැමුන්ට මත්පැන් සඳහා පිටස්තර ආයතනවලට ගෙවිය යුතු මුදල විශාලය. අනවශ්‍ය නිරන්තර වියදම් සකසුරුවමට එරෙහිය. අප පුරුදු විය යුත්තේ අනවශ්‍ය වියදම් කපා හැර අවශ්‍ය වියදම් කරමින් සැපවත් ජීවිතයක් ගතකිරීමටය. මුදල් ඉතිරි කරගැනීම යනු වාසි රැසක් සැලසෙන ජීවනාංගයකි.
කුම්මැහිකම ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. සකසුරුවම යනු වියදම් උපරිම ඵලදායීතාවකින් යුක්තව කිරීමය.කුම්මැහිකම යනු වියදම් නොකර සිටීම හා ඉතා බාල විසඳුම්වලට එළැඹීමය.මෙය උදාහරණයකින් දක්වමු. කිසියම් විරු සමරුවක පුෂ්පෝපහාරයක් ඇතැයි සිතන්න. අපට ඕනෑ නම් ඒ සඳහා මල් කළඹ ඒවා සැකසීමේ හසල පුහුණුව සහිත ආයතනයකින්, මල්කරුවකුගෙන් ලබාගත හැකිය.
අලුත් මල්වලින් දර්ශනීය ලෙස එය සකසන හැටි ඒ අය දන්නවා. මල්කරුවා සමග සාකච්ඡා කර වියදම් අඩුකරගෙන එකගතාවකට පැමිණ එසේ කිරීම සකසුරුවමයි.
නැතිනම්, අපට ගෙවල් ගානේ ගොස් මල් නෙළාගෙන දන්න හැටියට ගැටගසා මල් කළඹ හදන්නටත් පුළුවන. පෙරපාසලක මෙන් ඔහේ එල්ලා සරසන්නටත් පුළුවන. එය කුම්මැහිකමයි! කුම්මැහි නොවන්න. සකසුරුවමට හුරුවන්න.
මනෝරම වීරසිංහ