බාහිර දේවල්වලටම පෙම් බඳින, අද අයට මෙයාලා ආදර්ශයක්
ඇය වෙනස් කාන්තාවක්. හැබැයි ඇය අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක්. වෙනස සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ඇය වගේම ඇගේ ප්‍රජාව උසින් අඩු වීම. උසින් අඩු මනුස්සයෙක් සමාජයේ මැජික් එකක් කියලා හිතාගෙන නෙවෙයි අපි මේ ලිපිය ලියන්නේ. උස අඩු බව නිසා සමාජයෙන් අත්දකින්නට සිද්ධ වුණ කාරණා පැත්තකට විසිකරලා තමන්ගෙ ජීවිතේ ගොඩනගාගෙන, ඇය වගේම තවත් දෙනෝදාහක් දෙනා ගොඩ යවන්න තමන්ගේ පෞද්ගලික ධනයෙන් ඇපකැප වෙන ඇය ඇත්තටම අපිට විශේෂයි. ඇය නමින් දර්ශනී නානායක්කාර. Little People Association එහෙමත් නැත්නම් මිහිමිත් සංවිධානයේ සභාපතිනිය වෙන්නෙ ඇය. දර්ශනී පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වුණේ මේ කිව් කිසිම දෙයක් නිසා නෙවෙයි. ඇගේ විවාහ දිවියට 25 වසක් සපිරුණු නිසයි. නමුත් විවාහ ජීවිතයටත් එහා ගිය බොහෝ දේවල් අපට ඇය එක්ක කතා කරන්නට තියෙනවා. නමුත් මේ සුන්දර ආදර කතාවේ සාර්ථකත්වයට හේතු ගැන මුලින්ම නොඅසා කොහොමද?
“මේ ලෝකෙ කවුරුත් අංග සම්පූර්ණ මිනිස්සු නෙවේ. මං මහත්තයගෙන් ඉගෙනගත්ත ලොකුම දේ තමයි ඉවසීම. මගේ මහත්තයා අතුල රත්නවීර. මොන ප්‍රශ්න, බාධක ආවත් උපේක්ෂාවෙන් දරාගන්න ඔහුට පුළුවන්. මගේ සාර්ථකත්වයටත් ඒක ලොකු රුකුලක් වුණා. එයාට කිසිසේත්ම මාත් එක්ක කොහේ හරි යන එක ලැජ්ජාවක් නෙවෙයි. එයා මං නැතුව කොහෙවත් යන්නෙත් නෑ. ඒක මට ලොකු ශක්තියක් වුණා. විවාහ ජීවිතයක කල් පැවැත්ම තියෙන්නේ අනෝන්‍ය අවබෝධය මත. කොච්චර උගත් වුණත් ගුණ යහපත්කම නැත්නම් නැත්නම් විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න බෑ.”
ඒ විවාහ දිවියේ සාර්ථකත්වය පිළිබඳ ඇගේ පිළිතුර. දර්ශනීටයි අතුලටයි විවාහයේදී බාධක නාවා නොවේ. ඒ ගැන අය කීවේ මෙහෙම කතාවක්.මගේ විවාහයේදී සැමියාගේ පාර්ශ්වයෙන් මට යම් බාධක ආවා. මාව බැන්දොත් එයාව පවුලෙ අය අයින් කරලා දානවා කියලා කිව්වා. නමුත් මගේ සැමියගෙ තීරණය වුණේ මාව බඳින්න බැරි වුණොත් එයා සදාකාලිකවම තනිකඩව ඉන්නවා කියන එක. අවසානෙදි ඔවුන් අපේ විවාහයට කැමැත්ත දුන්නා. දැන් අපි විවාහ වෙලා අවුරුදු විසි පහක්.
මේ තරම් ඔහුට ඔබ ගැන ආදරයක් ඇතිවෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද?
මම පොළොවෙ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක්. අපි දෙන්නට දෙන්නා හරි අවංකයි. ඒ වගේම අපි දෙන්නගෙ අදහස් ගොඩක් ගැළපුණා. රූපෙට මුල් තැන දීලා ලොකු වෙඩින් අරන් මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙන අය අතරේ මගේ සැමියා රූපෙට මුල් තැන දුන්නා නම් අපි අවුරුදු විසි පහක් කොහොමද විවාහ ජීවිතයක් ගත කරන්නේ? ඒ වගේම සමාජ බාධකවලට මුහුණ දීමේ ශක්තිය අපි දෙන්නටම තියෙනවා. මගේ නෑදෑයො කිව්වා මට අයිති මුදල් අරගෙන ටික කාලෙකින් ඔහු මාව දාලා යයි කියලත්. නමුත් මම තනි තීරණේක හිටියා. ඒක කාටවත් වෙනස් කරන්න බැරිවුණා. අපි වටේ හිටපු හැමෝම කියපු දේවල් බොරුවක් බව අපි දෙන්නා අවසානෙ ඔප්පු කළා.
කොහොමද මේ ආදරණීය සැමියව මුණගැසුණේ?
ඔහුත් මං වගේම සංචාරක හෝටල් ක්ෂේත්රයේ නියැළෙන ව්‍යාපාරිකයෙක්. දවසක් මං යාළුවො කිහිපදෙනෙක් එක්ක බෙන්තොට තියෙන ඔහුගේ හෝටලයට ගියා. එතනදි තමයි අපි දෙන්නා මුලින්ම මුණගැහුණේ.
ඔබ දරුවන් දෙදෙනෙකුගේ මවක්…
ඔව්. මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. ලොකු පුතා මං වගේ. නමුත් ඒක පුතා ගැටලුවක් කරගත්තෙ නෑ. එයා ඉපදුණු දවසෙ ඉඳන් අපි පොඩ්ඩක්වත් වෙනසක් කළේ නෑ. පොඩි පුතා සාමාන්‍ය දරුවෙක්. පොඩි පුතා වුණත් අද වෙනකල් එයාගෙ අයියට ඒ සම්බන්ධයෙන් විහිළුවක්වත් කරලා නෑ.මට ඕන වුණේ මගේ ලොකු පුතාටත් සමාජයට වෛර නොකර සමාජය එක්ක ගැටෙන විදිහට ශක්තිමත්ව හදාගන්න. නමුත් මේ සමාජය එක්ක දරුවව ඒ තත්ත්වෙන් ලංකාවෙ තියාගන්න මට බැරි වුණා.
මගේ ලොකු පුතාට සමාජය එක්ක ලොකු කලකිරීමක් ඇතිවුණා. දවසක් පානදුරේ පෞද්ගලික බැංකුවකදි පුතාට ලොකු කලබැගෑනියකට මූණ දෙන්න සිද්ධ වුණා කවුන්ටර් උස නිසා.
එදා පුතා මට කෝල් කරලා හොඳටම ඇඬුවා අම්මා අපි වෙනුවෙන් සමාජය වෙනස් කරන්න කොච්චර උත්සාහ ගත්තත් ඒකෙන් වැඩක් නෑ කියලා. පාසල් ගිහින් ඉවර වුණ ගමන් එයා මට කිව්වා එයාට ලංකාවෙන් යන්න ඕනෙ කියලා. පස්සෙ මං පුතාව ඕස්ට්‍රේලියා යැව්වා ඉගෙනගන්න.
හිතට එකඟව නෙවේ මං දරුවව යැව්වේ. නමුත් එයාගෙ අකමැත්තෙන් ලංකාවෙ තියාගන්න මං කැමති නෑ. ලබන අවුරුද්දෙ එයා උපාධිය ගන්නවා. ලංකාවෙදි පුතාට මොන බාධක ආවත් ඕස්ට්‍රේලියාවෙ හරිම ස්වාධීන ජීවිතයක් පුතා ගතකරනවා. තනියම බස් එකේ, කෝච්චියේ මාකට් එකට ගිහින් බඩු අරන් ඇවිත් එයාගෙ දේවල් තනියම කරගන්නවා. අපි වගේ මිනිස්සුන්ට දේවල් කරගන්න පහසුකම් ඒ රටවල තියෙනවා.
Little People Association එක ආරම්භ කරන්න හේතුව මොකද්ද?
මම ලොකු කට්ටක් කාලයි මෙතන්ට ආවෙ. ඒ ආර්ථික මට්ටමින් නෙවේ, සමාජීය මට්ටමින්. පාසල් කාලෙදිත්, තරුණ වියේදිත් වෙනසක් නැතුව මම සමාජීය වශයෙන් පීඩා වින්දා. ඒ නිසා මං වගේම අනිත් අයත් එවැනි පීඩා විඳිනවට මං ආස වුණේ නෑ. සමාජයේ අනිත් පුද්ගලයො වගේම අපිටත් අයිතිවාසිකම් තියෙනවා. අපි හැමෝම මිනිස්සු. නමුත් එහෙම නොහිතන මිනිස්සු ඉන්න සමාජයක අපි ජීවත් වෙන්නේ.
මං 2019 තමයි Little People Association එක රෙජිස්ටර් කළේ. ඒත් 2010 ඉඳන් වගේ මේ සංගමය ගොඩනගාගන්න මහන්සි වුණා. 2019 මුල්ම රැස්වීම තියද්දි සාමාජිකයො විසිපහක් විතර හිටියේ. දැන්නම් දෙසීය ඉක්මවලා ඉන්නවා. ඒ හැමෝම තමන්ගෙ ජීවිතේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මොකද ඒ අය හැමදේකින්ම පසුබැහැලා හිටියේ. පොදු ස්ථානයකට ගියොත් ඇඟිල්ල දික් කර කර පෙන්නනවා. බස් එකක කෝච්චියක යන්න බෑ. මේ වගේ සෑහෙන ප්‍රශ්න ගොඩකට මූණ දුන්නු කට්ටියක් මේ. සංගමේට බැඳුණට පස්සෙ ඔවුන්ගේ ඒ බය නැති වෙලා ගියා.
මේ සංගමයෙන් සාමාජිකයන්ට ලැබෙන ප්රතිලාභ මොනවද?
මගේ පෞද්ගලික මුදලින්ම තමයි මං සංගමේ අයට උදව් කරන්නේ. මේ අවුරුද්දේ මාර්තු මාසෙ තමයි සංගමය ආරක්ෂක අමාත්‍යංශය යටතේ රාජ්‍ය නොවන සංවිධානයක් හැටියට රෙජිස්ටර් කළේ. අධ්‍යාපන වැඩකටයුතුවලට, රැකියා ලබාගන්න මං ඔවුන්ට උදව් කරනවා. අපේ ප්‍රජාවේ මිනිස්සුන්ට ගුරු පත්වීම් නොදෙන ගැටලුවක් ආවා. ඒ ගැන මං අධ්‍යාපන අමාත්‍යංශයට කතා කරලා ඒ අවස්ථාවන් ලබාදීලා තියෙනවා. නිකරුණේ මිනිස්සුන්ගෙන් මුදල් එකතු කරන්න මං කැමති නෑ. එයට විනිවිදභාවයක් තිබිය යුතුයි. ලබන අවුරුද්දේ මේ හැම සාමාජිකයෙක් එක්කම විවිධ ප්‍රසංගයක් කරන්න මං බලාපොරොත්තු වෙනවා. රංගනයට, ගායනයට දක්ෂ ගොඩක් අය ඉන්නවා. ඒක කරන්නෙ අරමුදලක් පිහිටුවා ගන්න.
මෙය රෝගයක් නොවන බව සමාජයට පසක් කරවන්න ඔබ බොහෝ වෙහෙසක් ගන්නවා…
ඔව්. සමහර වෛද්‍යවරු මෙහෙම දරුවෙක් ඉපදුණාම ඒ ගැන අනවශ්‍ය දේවල් කියලා දෙමාපියන්ව මානසිකව වට්ටනවා හරියට මේ දරුවො සදාකාලික අබ්බගාතයො වගේ. මේක රෝගයක් නෙවේ. මේකෙදි වෙන්නෙ ශරීරය වැඩෙන වේගෙට වඩා වේගයකින් අස්ථි මෝරනවා. ඒකෙන් වැඩීම නවතිනවා. කකුල් වක් වෙනවා. නමුත් ඉපදුණු දවසෙ ඉඳන් දිනපතාම තෙල් ගාලා කකුල් අතගෑවම ඒ වක් ගතිය හදන්න පුළුවන්. මගේ කකුල් ඒ විදිහට හැදුණෙ නෑ. මොකද මගේ අම්මට ඒ ගැන අවබෝධයක් නොතිබුණු නිසා. නමුත් මගේ ලොකු පුතාගෙ කකුල් මං තෙල් ගාලා අත ගාලා හැදුවා.
ඔබ, ඔබ වැනිම මිනිස් ප්‍රජාව වෙනුවෙන් නැගී සිටියේ කොහොමද?
මිහිමිත් ප්‍රජාවේ උපාධි පවා අරගත්තු පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන්ට රැකියාවක් දෙන්නෑ කවුරුත්. මමත් ඔය ප්‍රශ්නෙට මූණ දුන්නා. කාර්යාලයකට ගියාම මුකුත් වැඩක් කරගන්න බෑ. කවුන්ටර්ස් උසයි. මේ දේවල් වෙනුවෙන් මං ගොඩක් කතා කරලා තියෙනවා. ප්‍රවාහන අමාත්‍යංශයට ගිහින් කෝච්චි, බස්වලට අපි වගේ අයට නගින්න පුළුවන් විදිහක් හදලා දෙන්න කියලා ඉල්ලීම් ගණනාවක් කළා. නමුත් අද වෙනතුරු ඒ දේවල්වලට කිසිම විසඳුමක් ලැබුණෙ නෑ.අපිට අනුකම්පාව ඕනෙ නෑ. නමුත් අනිත් හැම පුරවැසියටම තියෙන අයිතිවාසිකම් අපටත් ලබාදෙන්න. ඒවට පහසුකම් සපයන්න. මොකද තුවාලෙ අමාරුව දන්නෙ තුවාලෙ තියෙන කෙනා.
එරංදි කෞශල්‍යා ✍️