බිත්තිවල හැමතැනම බලිකුරුටු ඇඳලා ලෝක ප්‍රසිද්ධ වෙන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි හැමෝටම ඒ හැකියාව පිහිටන්නෙ නෑ. ඒකට ඉතින් වෙලාව වගේම වාසනාවත් බලපානවා. ඒ වගේ අරුම පුදුම වාසනාවක් ලැබුණු කෙනෙක් තමයි ජෝ වේල් කියන්නේ. ජෝ වයස අවුරුදු පහළවේ පසුවෙන එංගලන්තයේ වෙසෙන පුංචි කොල්ලෙක්. හැබැයි ජෝ වේල්ව දැන්නම් එංගලන්තයේ විතරක් නෙවෙයි ලෝකෙ ගොඩක් මිනිස්සු පවා දන්නවා. ජෝ වේල් කියනවට වඩා එයාව බොහෝ දෙනෙක් අඳුරන්නේ Doodle boy කිව්වම. ඒ කියන්නෙ ලෝක ප්‍රසිද්ධ බලි කුරුටු එහෙමත් නැත්නම් ඩූඩ්ල් නැමැති කලාවට දක්ෂයෙක් විදිහට.
ජෝගේ පුංචි කාලෙ විනෝදාංශය වෙලා තියෙන්නේ ඔහු ගාව තියෙන සෑම පොතකම විවිධ කුඩා රූප අඳින එක. රාක්ෂයන්ගේ මුහුණු, ශාක, භූතයන්, මායාකාරී සත්තු, මල්, විවිධ හැඩයේ අකුරු වගේ ගොඩක් දේවල් ජෝ එයාගේ පොත්වල ඇන්දා. ඒ ගොඩක් පිංතූරවල තේරුමක්නම් තිබුණේ නෑ. ඔහේ හිතට ගලාගෙන එන විදිහට ජෝ ඒවා පෑන් තුඩින් සිතුවම් කළා. හැබැයි මේ කුරුටු ගාන වැඩේට ඔහුගේ පාසලේ ගුරුවරුන්ගෙනම් එතරම් කැමැත්තක් තිබිලා නෑ. ඔවුන් ජෝට විතරක් නෙවෙයි ජෝගේ දෙමව්පියන්ටත් මේ ගැන අවවාද කරලා තිබුණා. නමුත් ජෝ නෙවෙයි මේ වැඩේ නැවැත්තුවේ.
ගුරුවරුන් දෝෂාරෝපණ එල්ල කළත් පුතාගේ අසාමාන්‍ය හැකියාව හඳුනාගත්ත ඔහුගේ දෙමව්පියන් පාසල් කාලයෙන් පසුව ඔහුව කලා ආයතනයක ඉගෙනගැනීමට යැවීමට තීරණය කරනවා. ඒ පන්තියේ ගුරුතුමිය ජෝගේ සහජ දක්ෂතාව දැකලා ඔහුගේ සිතුවම් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කරන්නේ අනිත් අයටත් ඔහුගේ හැකියාව බලාගන්න. ඒ ක්‍රියාව මෙම කලාත්මක දරුවාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා.
අහම්බෙන් ගුරුතුමියගේ ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ටුව දුටු නගරයේ පුංචි කෝපි කඩයක් කරන කාන්තාවක් ජෝට ආරාධනා කළේ ඔවුන්ගේ කෝපි කඩයේ කාමරයක් ඔහුගේ පුංචි පුංචි චිත්රවලින් සරසන ලෙසටයි. එසේ පළමු වරට ජෝට ඔහුගේ ඩූඩ්ල් දක්ෂතාවය පුංචි සිත්තරකු ලෙස එහි බිත්තියේ සිතුවම් කිරීමට හැකි වුණා. අඩි 8ක් උසැති බිත්තිය පුරාම ජෝ ඔහුගේම ආරක මායාකාර සතුන්, විවිධ ආහාර වැනි පුංචි පුංචි පින්තූර රාශියකින් පිරුණු අපූරු බිත්තියක් නිර්මාණය කර තිබුණා.
ඇතැම් අවස්ථාවල ඔහුගේ නිර්මාණකරණය සියැසින්ම දැකබලා ගැනීමට කෝපි හල වෙත යන ජෝගේ පියා වන ග්‍රෙග් වේල් මාධ්‍යට මෙසේ පවසා තිබුණා.
“මුලින්ම අතින් ඇඳලා පසුව කළු වර්ණයෙනුත් සිතුවම් කරන්න ජෝට සති ගණනාවක් ගතවුණා. සති, මාස ගණන් යනකොට ඔහුට මුළු බිත්තියම හරි අපූරු ලෙස පුංචි පුංචි චිත්රවලින් නිම කිරීමට හැකි වුණා. ඔහු එතැන් සිට ඩූඩ්ලිං කිරීම නතර කළේ නැහැ”
ජෝ වේල් පාසල් පන්ති කාමරයේදී ඩූඩ්ලිං කිරීම නිසා ගුරුවරුන්ගේ දෝෂාරෝපණයට ලක්වුණත් අද ඔහුගේ සිතුවම්වලින් තම හෝටල්, කඩ කාමර, ඇතැම් නිවෙස්ද සිතුවම් කරගැනීමට කැමැත්තෙන් සිටින බොහෝ පිරිසක් ඉන්නවා. ඔහුට මේ අපූරු කර්තව්‍ය නිම කරන්නට අවශ්‍ය වෙන්නේ කුමන හෝ හිස් පසුබිමක් සහ කළු ප්ලැටිග්නම් කිහිපයක් පමණයි.
තම පුතුගේ නිර්මාණ බිත්තිවලට පමණක් සීමා නොකොට මුළු ලොවටම බෙදා දීමට තීරණය කළ ජෝගේ මව්පියන් ජෝ විසින් නිර්මාණය කරන ලද විවිධ නිෂ්පාදන විකිණීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර දුන්නා. එමෙන්ම ජෝගේ වැඩකටයුතු ප්‍රදර්ශනය කිරීම සඳහා ඔහුටම වෙන් වූ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක්ද ඩූඩ්ල් බෝයි ලෙසින් නිර්මාණය වුණා.
ඔහුගේ නිර්මාණ යමෙකු මිලදී ගන්නේනම්, එම මුදල් සම්පූර්ණයෙන්ම ඔහුගේ කලා අධ්‍යාපන හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙත යොමු කරන බව තමයි ඔහුගේ පියා පවසන්නේ.
එරංදි කෞශල්‍යා ✍️