ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් ඇතිදැඩි කිරීම දෙමාපියන්ට අභියෝගාත්මක දෙයක්. විශේෂයෙන්ම මවකට. ඔටිසම් රෝගයෙන් පෙළුණත් සෑම ළමයකුම අද්විතීයයි. ඔටිසම් වර්ණාවලියේ සිටින අයට බොහෝ විට දෙමව්පියන්ගේ සහාය අවශ්‍ය වනවා. ඊට හේතුව සාමාන්‍ය දරුවන්ට වඩා ඒ දරුවන් විශේෂිත දුෂ්කරතාවන්ට මුහුණ දීම. දෙමාපියන් වශයෙන් ඔබේ දරුවාට ලෝකයේ සැරිසැරීමට උපකාර කිරීම, ඔවුන්ගේ සංවර්ධනය පෝෂණය කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වය වැළඳගැනීමට ඔවුන් බලගැන්වීම සඳහා ඔබ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීම අවශ්‍යයි.ඔබේ දරුවාගේ නිශ්චිත අභියෝග, දරුවාගේ ලෝකය තේරුම් ගැනීම, ඊට අර්ථවත් ලෙස සහාය ලබාදීමේ පළමු පියවරයි.
ඔබේ දරුවා අවබෝධ කරගන්න
ඔටිසම් දරුවන් බොහෝවිට අන් අයට අසාමාන්‍ය ලෙස පෙනෙන ආකාරයට සංවේදී උත්තේජකවලට ප්‍රතිචාර දක්වනවා. අධික ශබ්ද, දීප්තිමත් ආලෝක, ඇතැම් නුහුරු නුපුරුදු සමාජ සැකසුම් පවා ඔටිසම් දරුවන්ට නරක බලපෑම් ඇති කළ හැකියි. ඔබේ දරුවාගේ කනස්සල්ල හෝ සිත උණුවීම් වැනි දේ නිරීක්ෂණය කිරීමට කාලය ගන්න. ඔබ මෙම ප්‍රේරක හඳුනා ගත් පසු, ඔබේ දරුවාට ඒවා මඟහරවා ගැනීමට උදවු කිරීමට අවශ්‍ය නිස්කලංක ඉඩක් ලබාදීම වැනි ක්රමෝපායන් නිර්මාණය කරගත හැකියි.
සන්නිවේදනය
බොහෝ ඔටිසම් දරුවන්ට සාමාන්‍ය වාචික සන්නිවේදනයේ නිරත විය හැකියි. සමහර දරුවන්ට වාචික නොවන ඉඟි, අභිනයන් හෝ විකල්ප සන්නිවේදන උපක්‍රම භාවිත කළ හැකියි. ඔබේ දරුවා සන්නිවේදනය කරන ආකාරය පිළිබඳ ඉවසීමෙන් සහ අවධානයෙන් සිටින්න. දරුවාට වාචික නොවන පින්තූර පුවරු, සංඥා භාෂාව හෝ සන්නිවේදනය පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති යෙදුම් වැනි මෙවලම් හඳුන්වා දීම පිළිබඳ සලකා බලන්න. ඔබේ දරුවා සමඟ කතා කිරීමේදී පැහැදිලි, සරල භාෂාවක් භාවිත කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම එකවර වැඩි තොරතුරු ප්‍රමාණයක් සමඟ ඔවුන් පීඩාවට පත්කිරීම නොකළ යුතුයි.
ආධාරක ගෘහ පරිසරයක් නිර්මාණය කිරීම
ඔටිසම් දරුවෙකුගේ දියුණුව සඳහා ආරක්ෂිත සහ ව්‍යුහගත ගෘහ පරිසරයක් අත්‍යවශ්‍ය වේ. ඔබේ දරුවාට ඔවුන්ගේ වටපිටාව තුළ වඩාත් සුරක්ෂිත බවක් දැනීමට ඔබට උපකාර කළ හැකියි.
1. චර්යාවන් ස්ථාපිත කරන්න
ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ දෛනික චර්යාවන් නිසි පරිදි කරගෙනයෑමට ආහාර, නින්දට යන වේලාව, පාසල සහ ක්‍රියාකාරකම් සඳහා ව්‍යුහාත්මක කාලසටහනක් නිර්මාණය කිරීම කාංසාව අඩු කිරීමට සහ පීඩනය වළක්වා ගැනීමට උපකාරී වෙනවා. දවසේ කාර්යයන් නිරූපණය කිරීමට රූප භාවිත කරන දෘශ්‍ය කාලසටහන් බොහෝ ඔටිසම් දරුවන්ට ඵලදායකයි.
සංවේදී – හිතකාමී අවකාශයක් සාදන්න
ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් අතර සංවේදී ගැටලු, බහුලව දක්නට ලැබෙනවා. සමහර දරුවන් ශබ්දය, ස්පර්ශය හෝ ආලෝකයට අධි සංවේදී විය හැකියි. ඔබේ දරුවාගේ සංවේදී අවශ්‍යතා සපුරාලන්නට ඔබේ නිවසේ ඉඩක් වෙන් කරන්න. මෙම අවකාශයට මෘදු ආලෝකය, බර ඇති බ්ලැන්කට්, සෙල්ලම් බඩු හෝ සන්සුන් ශබ්ද ආදීන් ඇතුළත් කළ හැකියි.
ධනාත්මක දිරිගැන්වීම
දිරිගැන්වීම සහ ධනාත්මකව ශක්තිමත් කිරීම ඔබේ දරුවාට විශ්වාසයක් සහ අභිප්‍රේරණයක් දැනීමට උපකාර කරනවා. ඔබේ දරුවා යම් කාර්යයක් ඉටුකරන විට එය කුඩා බවක් පෙනුණත්, ප්‍රශංසා කරන්න. කුඩා ත්‍යාගයක් පිරිනමන්න. නිදසුනක් වශයෙන් නව ක්‍රියාකාරකමක් සම්පූර්ණ කිරීමට සමත් වුවහොත් ඔවුන්ගේ ජයග්‍රහණය සමරන්න. ධනාත්මකව ශක්තිමත් කිරීම ආත්ම අභිමානය ගොඩනගාගන්න දිරිමත් කිරීමක්.
දරුවා වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්න
1. ගුරුවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න
දරුවාගේ පාසල සමඟ විවෘත සන්නිවේදනය අත්‍යවශ්‍ය වෙනවා. දරුවාගේ ශක්තීන් සහ අභියෝගවලට ගැළපෙන පුද්ගලික අධ්‍යාපන සැලැස්මක් (IEP) නිර්මාණය කිරීමට ගුරුවරුන්, චිකිත්සකයින් සහ විශේෂ අධ්‍යාපන කාර්ය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරන්න. එවිට ඔබේ දරුවාට අධ්‍යාපනික වශයෙන් සහ චිත්තවේගීය වශයෙන් සහයෝගය දැනෙන පරිසරයක් නිර්මාණය කළ හැකියි.
2. වෘත්තීය සහාය පතන්න
ඔටිසම් දරුවෙකු ඇතිදැඩි කිරීමට බොහෝවිට කථන චිකිත්සකයින්, වෘත්තීය චිකිත්සකයින් සහ චර්යාත්මක විශේෂඥයින් වැනි වෘත්තිකයන්ගේ සහාය අවශ්‍යයි. විශේෂිත සහාය සහ මගපෙන්වීම ලබාදිය හැකි වෘත්තිකයන් වෙත යාමට පසුබට නොවන්න. දරුවාගේ සමාජ කුසලතා වැඩිදියුණු කිරීම, සන්නිවේදනය වැඩිදියුණු කිරීම හා සංවේදීතාවන් කළමනාකරණය කිරීම වැනි දරුවාගේ අද්විතීය අවශ්‍යතා සඳහා සකස් කළ උපාය මාර්ග ඔවුන්ට ඔබට ලබාදිය හැකියි.
ඔබේ දරුවාගේ ශක්තීන් සහ ආශාවන් පෝෂණය කිරීම
1. විශේෂ අවශ්‍යතා දිරිමත් කරන්න
ඔටිසම් රෝගයෙන් පෙළෙන බොහෝ දරුවන්ට දුම්රිය, සතුන්, අංක වැනි දේවල් හෝ ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි උනන්දුවක් තිබෙනවා. ඒවා දරුවාගේ සතුටේ සහ අභිප්‍රේරණයේ මූලාශ්‍රයක් විය හැකියි. ඔබේ දරුවාගේ ආශාවන් වෙනුවෙන් දිරිමත් කරන්නට මාර්ග සොයාගන්න. නිදසුනක් වශයෙන් ඔබේ දරුවා දුම්රියට ආදරය කරන්නේ නම්, ඔබට ඔවුන්ව දුම්රිය කෞතුකාගාරයකට ගෙන යා හැකියි.
ආදරය සහ ඉවසීමේ ගමන
ඔටිසම් දරුවකුට උපකාර කිරීම අභියෝග සහ ගැටලුවලින් පිරුණු ගමනක්. එයට ඉවසීම, අනුවර්තනය වීමේ හැකියාව සහ නොසැලෙන ආදරය අත්‍යවශ්‍යයි. දුෂ්කර දින තිබිය හැකි වුවත් ඔබේ දරුවා ඔවුන්ගේම අද්විතීය ආකාරයෙන් වර්ධනය වී සාර්ථක වන ආකාරය ඔබ දැකිය යුතුයි. ඉහත පියවර අනුගමනයෙන් ඔබේ දරුවාට විශ්වාසයෙන් යුතුව ලෝකයේ සැරිසැරීමට සහ ඔවුන්ගේම ආකාරයෙන් දියුණු වීමට ඔබට උපකාර කළ හැකියි.
මනෝවිද්‍යා සහ
පෞර්ෂත්ව සංවර්ධන
උපදේශක එස්. මිදුනිල් මධුෂංක
එරංදි කෞශල්‍යා ✍️