ඇසට නිලක් කොලක් දකින්න කැමැති අයට වීදුරු බෝතලයක වුණත් පුංචි පැලයක් හදා ගෙන එහි ලස්සන බලන්න පුළුවන්. බෝතලයකින් මවන පරිසරයකින් නිවසක් අභ්‍යන්තරය පවා අලංකාර කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. “ටෙරාරියම්” යනුවෙන් හඳුන්වන මේ කලාවෙන් පුංචි විදිහට වුණත් ව්‍යාපාරයකට අත තැබූ ඇය ගැන විස්තර විමසා දැන ගනිමු.
ඔබ කවුද?
මම විදාන ගමගේ ඉෂාරා මධුවන්ති. මැදමුලන, රලුව කියන ගමේ තමයි පදිංචි වෙලා ඉන්නේ. මූලික අධ්‍යාපනය ලැබුවේ හිගුරුමුලන කණිෂ්ට විද්‍යාලයෙන්. එතැනින් පසුව හ/ මන්ඩාඩු මහා විද්‍යාලයට ඇතුලත් වුණා. උසස් පෙළ සමත් වුණාට පසුව කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා. දැනට මම හ/ ගජනායක ගම කණිෂ්ට විද්‍යාලයේ චිත්‍ර කලාව සම්බන්ධ ගුරුවරියක් විදිහට වැඩ කරනවා.
ඔබ ටෙරාරියම් කලාවට යොමු වුණේ කොහොමද…?
සාමාන්‍යයෙන් අපේ පරිසර පද්ධතියක් වගේම පරිසර පද්ධතියක් කුඩා භාජනයක් ඇතුළට ගැනීමක්. ඒ වගේම නිවසට අලංකාරයක් ලැබෙනවා. ටෙරාරියම් වර්ග දෙකක් තිබෙනවා. ටෙරාරියම් වර්ග දෙකක් තිබෙනවා. එයින් එකක් විවෘත ටෙරාරියම් විදිහටත් අනෙක් වර්ගය සංවෘත ටෙරාරියම් විදිහටත් හඳුන්වනවා.
මම ටෙරාරියම් කලාවට යොමු වුණේ ආසාවක් විදිහට. මට මේ කලාව ගැන මූලික දැනුමක් තිබුණේ නැහැ. මුලින් මම බොන්සායි කලාව කර ගෙන ගියා. එතැනින් පසුව කැක්ටස් පටන් ගත්තා. ඒ මම උසස් පෙළ ඉගෙන ගන්නා කාලේ. කොහොම වුණත් මගේ හිතේ ටෙරාරියම් ගැන සැගවුන ආසාවක් තිබුණා.
මුලින්ම මම ටෙරාරියම් එකක් ඉවත දමන ජෑම් බෝතලයක හැදුවා. ඒ ටෙරාරියම් එක Page එකක් හදලා ඒකට දැම්මා. ඒක ජනප්‍රිය වුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.ඒ නිසාම මම අන්තර්ජාලය, යූ ටියුබ් ඔස්සේ මේ කලාව ගැන හොයන්න පටන් ගත්තා. මේ කලාවේ විද්‍යාත්මක පැත්ත ගැන මම ගොඩක් විස්තර දැන ගත්තා. විශේෂයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේදී මම ටෙරාරියම් ගැන බොහෝ දේ ඉගෙන ගත්තා.
විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණාට පසුව විවේකය ලැබුණා…
ඔව්. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව ලැබුන විවේකයේදී මම ටෙරාරියම් හදන්න පටන් ගත්තා.
ලැබුන ප්‍රතිචාර ඔබ දිරිමත් කළා…
ඔව්… මම එතැනින් පසුව කට පොඩි බෝතලයක ටෙරාරියම් එකක් කළා. එතැනින් පසුව Fish ball වගේ දේවල් යොදා ගෙන ටෙරාරියම් හැදුවා. මම මේක හදන ගමන් ඉගෙන ගත්තා කිව්වොත් නිවරැදියි. කොටින්ම කිව්වොත් මේවාට යොදන අමුද්‍රව්‍ය, අමුද්‍රව්‍යවල දිගු කාලීන සහ කෙටිකාලීන පැවැත්ම, මේ පැලෑටිවලට ඇති වෙන රෝග වැනි බොහෝ දේ මම ටෙරාරියම් වගා කරමින් සොයා ගත්තා.
ඔබේ අත්හදාබැලීම් වැරදුනේ නැතිද…?
බොහෝ දුරට එහෙම වුණේ නැහැ. මම ටෙරාරියම් පස් මාධ්‍ය පුස් හැදුණොත් ඒ පස් මාධ්‍යය නැවත ගන්නේ නැහැ. මේ වගේ වැරදුන විට මම නැවත වෙනත් පස් මාධ්‍යක් වෙත යනවා. ඒ වගේ පස් මාධ්‍ය හය හතක් වෙනස් කර තිබෙනවා.
සමහර පස් මාධ්‍ය දවස් දෙක තුනක් යන විට වෙනස් වුණත් සමහර පස් මාධ්‍ය එහෙම වෙන්නේ නැහැ. නමුත් හරියටම මේ පස් මාධ්‍ය හොඳයි. මේ පස් මාධ්‍ය නරකයි කියන සහතිකය මට දෙන්න බැහැ. ඒ ඇයි කිව්වොත් මම විද්‍යාත්මක දැණුමකින් ඒවා යොදා ගන්නවා නොවෙයි, මට වරදින තැනින් තවත් නිවරැදි දෙයකට යොමු වෙනවා පමණයි.
මේ කලාව ඕනෑම අයෙකුට කරන්න පුළුවනිද…?
මේ කලාව සුළු වියදමකින් කරන්න පුළුවන්. අපේ රටේ නම් තවම මේ ගැන සමාජයේ ලොකු දැනුවත් වීමක් නැහැ. ඒ නිසා මේ වෙනුවෙන් ලොකු ඉල්ලුමක් නැති වුණත් ලෝකයේ බොහෝ රටවල්වල ටෙරාරියම් වෙනුවෙන් ලොකු ඉල්ලුමක් වගේම ඉහළ මිලක් තීරණය වෙලා තියෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය ඉතාම පහසුවෙන් පටන් ගන්න පුළුවන්.
ඉවත දමන භාජන, පස් මාධ්‍ය පරිසරයෙන් ලබා ගන්නා පාසි පැලෑටි සහ ජීවින් වැදගත්. මෙතැන කෘතිම දෙයක් තිබෙනවා නම් ඒ වීදුරු බෝතලය පමණයි.ඒ වගේම කලාත්මක ඇසකින් ඉතාම අලංකාර විදිහට බෝතලයක් ඇතුලත ලස්සන වනාන්තරයක් වුණත් මවන්න පුළුවනි. සමහර පාරිභෝගිකයන් විදේශවල ටෙරාරියම් දැකල ඒ වගේම මගේ පේජ් එකේ නිර්මාණ දැක්කාම ඒ වගේ නිර්මාණ කර දෙන්න කියල ඉල්ලනවා.
මම ඒ අයට අවශ්‍ය විදිහට නිර්මාණ කර දෙනවා. මට ඒ හැකියාව තිබෙනවා. දේශීය වශයෙන් වුණත් ටෙරාරියම්වලට කැමැත්ත තිබුණත් මේවායේ මිළ ඉහළයි. මෙය සියුම් කලාවක් නිසා ගත වෙන කාලය, අමුද්‍රව්‍ය ආදි සියල්ල තක්සේරු කරන්නත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මිළ ටිකක් ඉහලයි.
ටෙරාරියම් ඉල්ලුම ගැන…
මම මුලින් පටන් ගත්තේ විවෘත ටෙරාරියම් නමුත් දැන් මම සංවෘත ටෙරාරියම් නිර්මාණය කරනවා. විවෘත එකට වඩා සංවෘත ටෙරාරියම් එකට ඉල්ලුම වැඩියි. ඒ වගේම බෝතලයකට වඩා වීදුරු භාජනවලට ඉල්ලුමක් තිබෙනවා. ආයතනවලින් වගේම සාමාන්‍ය අයගෙන් ඉල්ලුම තිබෙනවා. වාහනවල ඩෑෂ් බෝඩ් එක මත තියන්න ටෙරාරියම් ඉල්ලුම් කරනවා. එතැනදී පාසි ටෙරාරියම් එක නොවෙයි. ආලෝකයට ඔරොත්තු දෙන කැක්ටස් වර්ගයේ ටෙරාරියම් මිළදී ගන්නවා.
දැනට මම ඔන්ලයින් ක්‍රමයට මේවා අලෙවි කරනවා. මුලින් මුදල් ගෙවා ඉල්ලුම් කරන්න ඕන. මම ඔන්ලයින් ඔස්සේ ඇනවුම් බාර ගත්තා. ගැටළුවක් නම් ඇති වුණේ නැහැ. එක වතාවකදී පමණක් ටෙරාරියම් එකක් බිඳිලා තිබුණා. මම ඒ ඇනවුම වෙනුවෙන් අලුත් එකක් නැවත ලබා දුන්නා.
ඉදිරියට මගේ අලෙවි ආයතනයක් ආරම්භ කරන්න අදහස් කරනවා. මම තවම මේ කලාවේ විද්‍යාත්මක පැත්ත ගැන ලොකු දැනුමක් නැහැ. ඒ වුණත් මම නිතරම මේ ගැන ඉගෙන ගන්නවා. වැරදෙන තැනින් ඉගෙන ගන්නවා. ඒ වගේ ගමනක් යමින් මගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට අදහස් කරනවා.
ඔබේ ව්‍යාපාරයට සහයෝගයක් ලැබෙන්නේ…
මට මුලින්ම මේ වෙනුවෙන් අවශ්‍ය මුදල් මගේ අනාගත සහකරු විසින් ලබා දුන්නා. ඒ වගේම මගේ මිතුරු මිතුරියන් මගේ නිර්මාණ අගය කළා. මට එය ලොකු ධෛර්යක් වුණා. ඒ නිසාම මම මේ කලාව ඉදිරියට ගෙන ගියා. ඒ විදිහට දායකත්වය ලබා දුන් හැම දෙනෙකුටම බොහොම පිං.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️