දරුවන්ගේ ශාරීරික, භාවමය සහ මානසික වර්ධනය සඳහා හොඳ නිදි පුරුදු ඇති කර ගැනීම ඉතාම වැදගත් බැව් ළමා වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරනවා. අද දරුවන්ගේ නින්ද පිළිබඳව ගැටළු ගැන කතා කරද්දී අධික වේලාවක් ජංගම දුරකථනය සමග ගණුදෙණු කිරීම සහ ඩිජිටල් තිරය ඉදිරියේ වැඩි කාලයක් ගත කිරීම ගැන චෝදනා එල්ල කරනවා. ලන්ඩන් යුනිවර්සිටි කොලිජියේ අධ්‍යාපන විශේෂඥ මහාචාර්ය ඩග්මාරා ඩිම්ට්රියෝ සඳහන් කරන අන්දමට ගුණාත්මක නින්ද සමබර ආාහර වේලක් වගේම දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධකයක්.
රාත්‍රි නින්ද මොළය නිරෝගි ලෙසින් පවත්වා ගැනිමට බෙහෙවින් හිතකර සාධකයක්. රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ නවතම අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ අපි අවදිව සිටින විට සිදුවන ස්නායු ක්‍රියාකාරිත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින් නිපදවන විෂ ප්‍රෝටීන සංයෝග මොළයෙන් පිරිපහදු කිරිමට නම් නින්ද අවශ්‍ය සාධකයක් බවයි. මෙම විෂ ප්‍රෝටින සංයෝගයන් මොළයෙන් ඉවත් නොවුනහොත් මොළයේ සමතුලිතබව බිඳ වැටිම නිසා පුද්ගලයෙකුගේ ජිවිතයට ඇති කරන බලපෑම බෙහෙවින් අහිතකරය.ප්‍රමාණවත් ලෙසින් නින්දක් නොලබන විට ඇති වෙන අතුරු ප්‍රතිඵල වශයෙන් තොරතුරු සකස් කිරිමේ මෙන්ම ගැටළු විසඳීමේ හැකියාව බිඳ වැටෙන අතර නිර්මානශීලි චින්තනය පුද්ගලයා වෙතින් ඉබේටම මොට වෙනවා.
ගුණාත්මක නින්දට බලපාන කරුණු මොනවාද…?
දුර්වල නින්ද දරුවන්ගේ අධ්‍යාපනික හා මානසික ක්‍රියාකාරීත්වයට බලපානවා. මලාවි දේශයේ පෙරපාසල් ආචාර්යවරියක වන මලිකා මැකඩම් සඳහන් කරන අන්දමට ප්‍රමාණවත් පරිදි නින්දක් නොලබන දරුවන් පංතියේදී අවධානය අඩුයි.
පාසල් කාලය පුරාම ඔවුන් උදාසීනයි. නමුත් ඔවුන් නරක දරුවන් නොවෙයි. ගුණාත්මක නින්දක් නොලද දරුවන් නිසා මේ හැසිරීම් රටාවක් ගොඩ නැගෙනවා. නමුත් පංතියක ඔවුන් නරක දරුවන් ලෙස හංවඩු ගහනවා. ඒ නිසා මගේ අදහස නම් දරුවන්ගේ හොඳම උපකාරක ගුරුවරයා නින්දයි.දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ප්‍රමාණවත් පරිදි නින්දක් අවශ්‍ය වෙනවා.
නින්ද නිසි පරිදි නොලැබිම නිදන්ගත රෝග වැළඳීමට තිබෙන හැකියාව ඉහලයි. සුවදායක පරිදි නින්ද නොලැබෙන විට ඇතිවන සෞඛ්‍ය ගැටළු බොහොම මාරාන්තිකයි. හෘද රෝග සංකුලතාවයන්, අංක දෙක වර්ගයේ දියවැඩියාව, තරබාරුව සහ ආඝාත වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු විමේ අවදානම ඉතාම ඉහලයි.
නින්ද නොලබන විට සිරුර විසින් නිදහස් කරන කෝටිසෝල් (Cortisol) වැනි වෙහෙසකර හෝර්මෝන නිසා ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. සමේ කොලජන් සංයුතිය බිඳ වැටිමෙන් සමේ සිනිදු බව සහ නම්‍යශීලිත්වය නොමැති විම නිසා වයසට වඩා වියපත් බවක් ඇති වෙනවා.
එක්සත් රාජධානියේ බර්මිංහැම් විශ්ව විද්‍යාලයේ නව පර්යේෂණයක් මගින් පෙන්වා දෙන අන්දමට ළදරු වියේ සිට නින්ද නොයෑම, නිසා පීඩා විඳින දරුවන් මුල් වැඩිහිටි වියේදී මානසික රෝගීන් බවට පත් වීමට වැඩි අවදානමක් තිබෙනවා. මේ අනුව ගුණාත්මක නින්දක් නොමැති වීම මොළයේ වර්ධනයට බලපාන බැව් විද්‍යාඥයන් බොහෝ කාලයක සිට හඳුනා ගත් තත්ත්වයක්.
පැය පහකට වඩා අඩු නින්දක්…
ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා දරුවන්ගේ මොළයේ සම්බන්ධතාවයන් වෙනස් වන අතර දිගුකාලීන හෝ ස්ථිර සංජානන දුර්වලතාවයන් ඇති වීමට බලපාන බව මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිං වැං විසින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඒ වගේම ගුණාත්මක නිනදක් ලබා ගත් දරුවන්ට සාපේක්ෂව බලන විට මෙම දරුවන්ගේ මානසික සහ චර්යාත්මක අභියෝග ඇති බවත් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
දරුවන්ගේ නින්දට ඇති බාධාවන් මොනවාද…?
මහාචාර්ය ඩිම්ට්රියෝ සඳහන් කරන අන්දමට නින්දට පෙරාතුව තාක්ෂණ මෙවලම් භාවිත කිරීම අද තරුණ දරුවන්ගේ නින්ද පිලිබඳ ගැටළු ඇති කිරීමට හේතු වී තිබෙනවා. නමුත් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශයන්හි දරුවන්ට මෙවැනි තාක්ෂණ මෙවලම් නොමැති දරුවන්ගේ නින්දට මෙම සාධකය මගින් බලපෑමක් ඇති කරන්නේ නැහැ.
සිසුන්ගේ හැසිරීමේ සහ අධ්‍යන ගැටළු වලදී දරුවන් ලබන නින්ද මුලින්ම ෂලකා බැලීම වැදගත් බැව් ලන්ඩනයේ ඇලින් විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ගැවින් ඉංග්ලිෂ් සඳහන් කරනවා. බොහෝ තරුණ දරුවන්ට ජංගම දුරකථන භාවිතය සහ නින්ද යන දෙක එකට ගළපාගැනීම අපහසුයි.
තරුණ දරුවන් තමන් නිදා ගන්නා කාමරයේ ඇඳ මත ජංගම දුරකථනය තබා ගන්නවා නම් ඔවුන්ගේ අසාර්ථක වීමේ ආරම්භය එතැනයි. ඔබට ජංගම දුරකථනයෙන් එලාම් එක තබා ගැනීම අවශ්‍ය නිසා නිදා ගන්නා ඇඳේම එය තබා ගැනීම සිදු වුණත් සැබැවින්ම මුදල් වැය කර එලාම් තැබිය හැකි ඔරලෝසුවක් මිළට ගන්න. එය වඩාත් වාසි සහගත බැව් මෙම පර්යේෂකයන් සඳහන් කරනවා.
සංස්කෘතික කරුණු…
නින්ද ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. ඒ වෙනුවෙන් බලපාන සංස්කෘතික කරුණුද තිබෙනවා. රාමසාන් කාලයේදී මුස්ලිම්වරුන් දිවා කාලයේ නිරාහාරව ගත කරන නිසා ඔවුන්ගේ නිදා ගන්නා කාලය වෙනස් වෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා නිදා ගන්නා කාලය වෙනස් වුණත් සෞදි අරාබිය වැනි මුස්ලිම් රටවල මේ කාලයේදී පාසල් දරුවන් වෙනුවෙන් විභාග නොපවත්වන බැව් මහාචාර්ය ඩිම්ට්රියෝ සඳහන් කරනවා.
නැගෙණහිර ආසියානු රටවල ඉගෙනීමේ කටයුතුවලට දරුවන් අධික ලෙස වෙහෙසෙනවා. අපේ පර්යේෂණ පත්‍රිකාවට අනුව මෙම කලාපයේ දරුවන් විභාග කාලසීමාවලදී විශාල වශයෙන් නිදිවරනවා. මෙහි ප්‍රතිවිපාක නරකයි.
ඒ වගේම දිගුකාලීනවත් බලපාන බැව් මහාචාර්ය ඩිම්ට්රියෝ අවධාරනයෙන්ම පෙන්වා දෙනවා.සංස්කෘතික සහ ආගමික සාධක මත නින්දේ ජීව විද්‍යාත්මක රටාව වෙනස් කිරීම සුදුසු නැති බැව් මහාචාර්ය සිං වැං කරනවා. සංස්කෘතිය වෙනස් විය හැකියි. නමුත් නින්ද විශ්වීයයි.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️