තුණුරුවනට ගරු කරන පිරිසක්, බුදුබලයට අවනත පිරිසක් රටට අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙක් පන්සලකට ගොස් බුද්ධ වන්දනාවේ නිසි විදිහට යෙදෙන්නේ නැහැ ඔන්න බුදුනේ මල්… මෙන්න මං ගෙදර… යන කලබලකාරී මානසිකත්වයකින් බුදුරජාණන්වහන්සේ වන්දනාමාන කිරීම සිදු වෙනවා. අපි බුද්ධවන්දනාවේ යෙදෙන විට අත් නෙළුම් පොහොට්ටුවක හැඩයක දොහොත් මුදුන් කර ගෙන වන්දනා කළ යුතුයි. නමුත් අද බොහෝ දෙනා තුළ එවැනි බුද්ධ ගෞරවයක් උපදවා ගෙන නැහැ. ශාරීරික, පාරිභෝගික, උද්දේසික වස්තු ඉදිරියේ ජීවමාන බුදුරජාණන්වහන්සේ දුටුවා සේ සිත පහදවා ගත යුතුයි. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අප ඉදිරියේ නොමැතිව වුණත් “ අපේ බුදුරජාණන්වහන්සේය ” යන බුද්ධාලම්බන ප්‍රිතිය බුද්ධ ගෞරවය සිත උපදවා ගැනීම වැදගත්.
පන්සල් යන්න වෙලාවක් නැහැ…
අද බොහෝ දෛනාගේ පොදු තර්කයක් තිබෙනවා. අපට හුස්ම ගන්නවත් වෙලාවක් නැති කොට ගෙදරදී සම්බුද්ධ වන්දනා කරන්න වෙලාවක් නැහැ. නමුත් ඔබ බෞද්ධයෙක් නම් සම්බුද්ධ වන්දනාවේ යෙදෙන්න වෙලාවක් අමුතුවෙන් සොයන්න අවශ්‍ය නැහැ.
අතීතයේදී මව්පියන් තම දරුවන් සමග එකට එක්ව නිවසේදී සම්බුද්ධ වන්දනාව කළා. පිරිත් සජ්ජායනා කළා. පෝය දවසට දරුවන් සමග පන්සල් ගියා. තමන්ගේ නිවසේ සිල්ගත් මව්පියන්ට ඇප උපස්ථාන කළා.
මේ හැම දෙයන්ම ඔවුන් දරුවන් සමග සිදු කළා. නිවසේ සම්බුද්ධ වන්දනාව වෙනුවෙන් මල් නෙලීම දරුවන්ගේ දවසේ සිදු කළ යුතු තවත් එක කාර්යක් බවට පත්ව තිබුණා.
ඔවුන් ඉතාම සතුටින් සහ ශ්‍රද්ධාවෙන් ඒ කාර්යය කළා. මල් නෙලන්න පෙරාතුව අත් සෝදන්න, වට්ටිය සෝදන්න, ගහේ පරවුන මල් නොමැතිව පිපුන සහ සතුන් විසින් හානි නොකල පෙති නොකැඩුන මල් නෙලන්න දරුවන් පුහුණු කළා. මේ නිසා සම්බුද්ධවන්දනාවේ යෙදෙන දරුවන්ටත් ඒ හැදියාව නිවසේදීම ලැබුණා.
බුදුගුණ අනන්ත බව දැන ගෙන වන්දනා කිරීම…
සම්බුද්ධ වන්දනාවේදී අපි මුලින්ම නමස්කාර කියනවා. ඒ වගේම තෙරුවන් ගුණ සජ්ජායනා කරනවා. තෙරුවන් වන්දනාවේදී අපි සූවිසි ගුණ සජ්ජායනා කරනවා. ඉතිපිසෝ ගාථාවෙන් බුදුගුණ 9 ක්… ස්වාක්ඛාතෝ ගාථාවෙන් ධර්ම රත්නයේ ගුණ 6 ක්… සුපටිපන්නෝ ගාථාවෙන් සංඝ රත්නයේ ගුණ 9 ක් කියැවෙනවා.
නමුත් බොහෝ දෙනෙක් මේ ගුණ වලින් කියැවෙන අර්ථය නොදැන වන්දනා කරනවා.නමුත් අපි සම්බුද්ධ වන්දනාවේ යෙදෙන විට බුදුරජාණණවහන්සේගේ අනන්ත ගූණ ගැන දැන ගත යුතුයි. ඉතිපිසෝ ගාථාවෙන් කියැවෙන බුදුගුණ හිතෙන් මෙනෙහි කරන්න.
බුදුරජාණන්වහන්සේගේ බුදුගුණ සජ්ජායනාව කරමින් අපි නිති වන්දනා කරමු’ ඉතිපිසෝ ගාථාවෙන් අනන්ත බුදුගුණ අතරින් බුදුගුණ නවයක් ගායනා කිරීම සිදු වේ. ඒ නිසා “ ඉතිපිසෝ ගාථාව ” නව අරහාදී බුදුගුණ ගාථාව යනුවෙන් හැඳින්වෙනවා.
බුදුරජාණන්වහන්සේ සියලු කෙළෙසුන් නැසූ හෙයින්ද, කෙළෙස් සතුරන් ජයගත් හෙයින්ද, සියළු පාපයන්ගෙන් මිදුන හෙයින්ද, සංසාර චක්‍රයේ අරලු සිඳලු හෙයින්ද, මනුෂ්‍ය අමනුෂ්‍ය, යක්ෂ, රාක්ෂ, නාග සුර, අසුර බ්‍රහ්ම ආදී සියළු ලෝවැසියන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන හෙයින්ද, ශුද්ධ වූ විශුද්ධ වූ සුපිරිසිදු චිත්ත සන්තාන ඇති හෙයින් අරහං නම් වන සේක.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව දුක්ඛ සත්‍යය අවබෝධ කළ හෙයින්ද, සමුදය සත්‍යය ප්‍රහානය කළ හෙයින්ද, නිරෝධ සත්‍යය අවබෝධ කළ හෙයින්ද, මාර්ග සත්‍යය දියුණු කළ හෙයින්ද, පංචවිධඥෙය්ය මණ්ඩලය තමන් වහන්සේ විසින් අවබෝධ කළ හෙයින්ද, අන් අයටත් මනාව අවබෝධ කරවූ හෙයින්ද “ සම්මා සම්බුද්ධ ” නම් වන සේක.
මේ අන්දමින් බුදුරජාණණවහන්සේගේ නව අරහාදී බුදුගුණ ඔබේ හදවතින්ම සජ්ජායනා කරන්න. බුද්ධාලම්බන ප්‍රිතිය අපේ හිතෙගොඩ නැගෙන්නේ එවිටයි.ඔබ ස්වාක්ඛාතෝ ගාථාව සජ්ජායනා කරමින් ධර්ම රත්නය වන්දනා කිරීමේදී දහම් ගුණ මෙනෙහි කරන්න.
ජීවිතාන්තය දක්වා දහම් සරණ යමි. අතීතයේ ධර්මයන්ද අනාගතයෙහි පහළ වන්නාවූ ධර්මයන්ද, වර්තමානයේ පවත්නා ධර්මයන්ද, මම සැමදා වඳිමි’ මට ධර්මය හැර අන්‍ය වූ උතුම් සරණක් නැත’මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගල්‍යක්ම වේවා.
ගුණ නවයකින් යුක්ත සංඝ රත්නය වන්දනා කිරීමේදීත් ජීවිතාන්තය දක්වා මම සඟුන් සරණ යමි. අතීතයේ විසූ සඟුන්ද, අනාගතයෙහි පහළ වන්නාවූ සඟුන්ද, වර්තමානයේ පහළ වී සිටිනා සඟුන්ද, මම සැමදා වඳිමි. මට සඟුන් සරණ හැර අන්‍ය වූ උතුම් සරණක් නැත. මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගල්‍යක්ම වේවා. යැයි ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්න.
සම්බුද්ධ වන්දනාව දොලාවටම යහපතක්
ඔබ නිවසේ දරුවන් සමග නිති පතා සම්බුද්ධ වන්දනාව සිදු කරන පුද්ගලයෙකු නම් ඔබට මෙලොව පරලොව වශයෙන් ආනිශංස ලැබෙනවා. මෙලොව වශයෙන් ඔබට සුවසේ නිදා ගැනීම, සුවසේ අවදි වීම, සිතේ සැහැල්ලුව, සිහියෙන් ජීවත් වීම වැනි ලෞකික ආනිශංස ලැබෙනවා. ඒ වගේම නිවසෙන් පිටත්ව සමාජයට යන ඔබගේ කාය, වාග් සහ මානසික සංවරය ඔබටත් නොදැනීම ගොඩ නැගෙනවා.
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය...
අපට සමාජයේ හුදෙකලාව ජීවත් වෙන්න බැහැ. පවුලක් තුළ අපේ සහ ලේ ඥාතීන් සිටියත් කළ්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර අවශ්‍යයි. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය අපේ ජීවිතයේ යහ පැවැත්මට, මානසික ශක්තියට ලැබෙන පරිවාර සම්පත්තියක්.
ඒ වගේම පාප මිත්‍රයන්ගේ ඇසුර ලැබීමෙන් අපේ ජීවිත පිරිහෙනවා. විනාශයට පත් වෙනවා. සැබැවින්ම ඔබට ප්‍රියයන්ගෙන් වෙන් වුණත් එය කාලය සමග හිත හදා ගන්න පුළුවන්. එහෙත් පාප මිතුරන්ගේ ඇසුරට වැටුනොත් ඔබ දවසෙන් දවස පිරිහෙනවා. බුදුරජාණන්වහ්නසේගේ දේශනාවට අනුව එය පිරිහීමේ දොරටුවක්.
නමුත් සම්බුද්ධ වන්දනාවේ යෙදෙන විට අපි මේ විදිහට ප්‍රාර්ථනා කරනවා.ඉමිනා පුඤ්ඤ කම්මේන-මා මෙ බාල සමා ගමොසතං සමා ගමො හොතු-යාව නිබ්බාණ පත්තියා තේරුම මේ පින හේතු කොට ගෙන නිවන් දක්නා තෙක් බාලයන් සමග සමාගමයක් නොවේවා. සත් පුරුෂයන් හා සමාගමය වේවා.
අපට සත්පුරුෂයන්ගේ ඇසුර ලැබීමටත් පෙර පින් මහිමය තිබෙන්න ඕන. සම්බුද්ධ වන්දනාවෙන් අප විසින් රැස් කරන කුසල නිසා නිවන් දක්නා තෙක්ම සත්පුරුෂ ඇසුරම ලැබේවා යැයි අප ප්‍රාර්ථනා කරනවා.
පුජ්‍ය ගල්මඩුවේ පියරතන ස්ථවිරයන් වහන්සේ
ශ්රීි සංඝබෝධි විහාරය, මහනුවර
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️