අපේ රට තුන්වැනි ලෝකයේ රටක්. පොත් ප්රකාශනය සහ මුද්‍රණය ඉතාම සීමිත ලෙස සිදුවන රටක්. අපේ රටේ වෘත්තිමය ලියන්නෝ ඉන්නවා. ඒ අය පූර්ණකාලිනව ලියනවා. රැකියාවෙන් විශ්‍රාම අරං පොත් ලියන සිය ගණනක් අය මම දන්නවා. ඒ ඇතැමුන් ජීවත් වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල බැංකුවෙ දාලා ලැබෙන පොලියෙන්. ඇතැමුන් විශ්‍රාම වැටුපෙන්… තවත් අයට එහෙම ආදායමක් නෑ. සිංහලෙන් ලියන, පරිවර්තනයේ යෙදෙන, අධ්‍යාපන පොත් ලියන බහුතරයක් ධනවතුන් නොවෙයි. එහෙම අය පොතකින් එන කීයක් හරි සල්ලිවලින් බෙහෙත් හේත් ගන්නවා මම පෞද්ගලිකව දන්නවා.
ඇයි මම පොත් ගන්නේ…?
ඒක මට අනන්‍යයි. මනුෂ්‍යයෙක්ගේ නිර්මාණයක් මුදල් දීලා අරගන්න එක ඒ මනුෂ්‍යයා ධෛර්යවත් කිරීමක්. ඒ නිර්මාණය හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒක විවේචනය හෝ අගය කරන්න මට හිතෙන්නේ මම පොත සල්ලි දීලා ගත්තොත් විතරයි. මිනිස්සු ධෛර්යමත් වෙන්නේ අගය කිරීම් හරහායි.
ලේඛකයෙක්ටත් එහෙමයි. හොඳ දෙයක් ලියන්න පෙළඹවීම එන්නේ තමුන්ගෙ පොත විකිණෙනවනම් තමයි. බහුතරයක් අපේ ලේඛක ලේඛිකාවො සල්ලි පස්සෙ ම දුවන්නේ නෑ… දුවන අයත් ඉන්නවා. ප්‍රකාශන ආයතනවලින් ලැබෙන කර්තෘභාගයට හෝ ඇතැම්විට ඒ ආයතනවලට තියෙන බයට මුදල් නැතත් තෘප්තියට පොත් ලියනව කියන මිනිස්සු මට හමුවෙලා තියෙනවා.
ඉතින් සමහරුන්ගේ මුළු සිහින ලෝකයක්ම එක පාරින් විනාස වෙලා යනවා ඇතැම් දේවල්වලින්.අනීතික, අව්‍යක්ත, කසිකබල් විදියට Cam scanner ආශ්රයෙන් සැකසුණු පොත්පත් දැන් වසංගතයක්, සාපයක් වේගෙන එනවා.
සංවිධානාත්මකව ඇතැම් චරිත මේ ප්‍රකාශන ක්ෂේත්රය විනාශ කරන්න ලොකු උත්සාහයක් දරනවා. ලංකාවේ ස්ථාවරව පොත් ප්රකාශනයේ යෙදෙන අතළොස්සක් ආයතනවලට හැර අනෙක් අයට මේක හිසරදයක්. ආධුනික ලේඛක ලේඛිකාවන්, ඇතැම් ප්‍රවීණයින් මේ වසංගතයෙන් ලොකුවටම බැට කනවා.
මේ අය ප්‍රාඩෝවල යන මිනිස්සු නෙවෙයි. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු…. බස් එකේ කෝච්චියෙ යන තමුන් ඉගෙන ගත්තු දේකින් රස්සාව කරන වැදගත් මිනිස්සු. ඒ අය තමුන්ගෙ ජීවිකාවට පොත් ලියන්න ගන්නවා රැකියාවලින් විශ්‍රාම අරන්. ඒ ලියල අච්චු ගහන පොත් හොරට පිටපත් කරල ශෙයා කරද්දි අර මනුස්සයට මොකද වෙන්නේ…?
කෙනෙක්ට පොතක් ඕනි වෙන්න පුළුවන්, කියවන්න ආස, නමුත් මිලදී ගන්න හැකියාවක් නැති දහස් ගාණක් ඉන්නවා. කෙනෙක්ට පොතක් කියවන්න ඕනි නං මේ ෆෙස්බුක් එකේම තියෙනව පොත් හුවමාරු කරගෙන කියවන තැන්, අඩුවට විකුණන තැන්, බාගෙන් විකුණන තැන්, පුස්තකාල, බැහැර දෙන ස්ථාන ඕනෑතරම් තියෙනවා. ෆෙස්බුක් ඉන්න හිතවත් කවුරු හරි පොතක් යම් වැඩකට ඕනි කිව්වාම අවශ්‍ය පිටු අපි හොයල යවනව, පොත යවනවා… එහෙම කරපු අවස්ථා එමටයි.
ඒක නිසා ඔබට යම් පොතක් කියවන්න ආස නං හැකියාවක් නැත්නම් ඒ ගැන කාට හරි කියන්න. නැත්තං අපිට කියන්න… ඒක කියවන්න ලබා දෙන්න පුළුවන් අය ඉන්නවා. ඒත් සල්ලි ගෙවල හොර PDF ගන්න එපා. යම් ආයතන නොමිලයේ අන්තර්ජාලයට තමුන්ගේ ප්‍රකාශන නිකුත් කරනවා. ඒවා ගැටලුවක් නෑ.
නමුත් මතක තියාගන්න අපි සල්ලි දීලා පොතක් පත්තරයක් ගත්තොත් තමයි, ඒ ආයතනවල සේවය කරන සේවක සේවිකාවන්ට වැටුපක් ගෙවන්න පුළුවන් වෙන්නේ. අපි හැමෝම එක්තරා දාමයක කොටස්කරුවන්. අපේ රටේ ලේඛකයන්ගේ නිර්මාණ අයිතිය ගසාකන තැන්වලදී ඊට විරුද්ධ වෙන්න…
මනෝරම වීරසිංහ ✍️