මුලින්ම මම මේ ලිපිය කියවන හැමෝටම ආරාධනා කරනවා මොහොතක් නතර වෙලා තමන්ගේ දිහාවට හැරිලා බලන්න කියලා. ඔබ විවාහකයෙක් වෙන්න පුළුවන්. අවිවාහකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් තනිකඩ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය කොහොම කෙනෙක් වුණත් හැම මනුස්සයකුටම උපතේ ඉඳලා මරණය වෙනකල් අවශ්‍ය වෙන ප්‍රධානම සාධකයක් තමයි ආදරය කියලා කියන්නේ.
ඒ ආදරය ගෙදරින් පටන් ගෙන සමාජයට ගිහිල්ලා නැවත වතාවක් කුටුම්භයක් අස්සට ගිහින් මැරෙනකල්ම විවිධ මිනිසුන්ගෙන් ලබනවා සහ ආදරය කරනවා. ගැහැනිය සහ පුරුෂයා කියන පැත්තට මේ මාතෘකාව කේන්ද්‍රගත වෙන හින්දා ලිංගිකත්වය පැත්තටත් මේ ලිපිය නැඹුරු කරන්න අපට සිද්ධ වෙනවා. මොකද අපිට ආදරය නුරාවෙන් වෙන් කරලා තියන්න කිසිසේත්ම පුළුවන්කමක් නෑ.
දෙදෙනෙක් විවාහ වෙනකොට එතනදී රාගය, ආකර්ෂණය අනිවාර්යය සාධකයක් වෙනවා. මනෝ විද්‍යාව පැත්තෙන් ගත්තම මානව ප්‍රේමය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදුකෙරිලා තියෙනවා.
මේ පර්යේෂණවලින් අපිට පේන්න තියෙන දෙයක් තමයි ආදරය, නුරාව, රාගය එක්ක ප්‍රඥාවත් මුහුවෙන බව. මේ සියල්ලේම සංකලනයෙන් තමයි ආදරේ කියන දේ නිර්මාණය වෙන්නේ. ලෝකයේ තවත් මනෝවිද්‍යාත්මක න්‍යායන් එක්ක බැලුවම අපි කැමතියි ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්න. අපි කැමතියි නුරාව විඳින්න. මේවා තමයි ප්‍රේමයේ ප්‍රධාන සාධක.
එතකොට වෙන බාහිර සම්බන්ධතා ඇති කරගන්නේ ඔය කිව්ව කුමන හෝ කරුණක යම් මදිවීමක් නිසා වෙන්න පුළුවන්. කෙනෙක් තමන් විවාහ වුණ කෙනාගෙන් පිට යන්නේ ලිංගිකත්වය නිසාමයි කියලා අපිට පටු කරලා දක්වන්න බෑ.
නමුත් සමාජය ඇතුළේ වැඩිපුර කියවෙන්නේ එහෙම යන්නේ ලිංගිකත්වය හොයාගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට කියලා. ලිංගිකත්වය කියන්නේ ජීව විද්‍යාත්මක දෙයක්. වෙනත් කෙනෙක්ගෙන් ලිංගිකත්වයක් ලබන්න හිතෙන වටපිටාවක් ඕනම කෙනෙක්ට නිර්මාණය වෙන්න පුළුවන්.
නමුත් විවාහ වුණාම ඒකට නෛතික බලපෑමක් එක්ක සංස්කෘතික රාමුවකට කොටුවෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ රාමුව බිඳගෙන යන මිනිස්සුත් ඉන්නවා. එතකොට ලිංගිකත්වය කියලා කියන්නේ එක් සාධකයක් පමණයි. මොකද ඒක තමයි අපිට මතුපිටින් පේන්න තියෙන කාරණය.
හැබැයි හැම මනුස්සයෙක්ගෙම හිත ඇතුළේ ඉන්නවා රෝමාන්තික අයිඩලයක්. එහෙමත් නැත්නම් රෝමාන්තික චරිතයක්. ඒ කියන්නේ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ මේ ආකාරයේ කෙනෙක් විය යුතුයි කියලා මනෝමය චිත්‍රයක් ඇඳගත්ත මනෝමය මනුස්සයෙක් ඉන්නවා. එතකොට මේ මනෝමය චිත්‍රය සම්පූර්ණ කරගන්න තමයි අපි ගොඩක් වෙලාවට විවාහ වුණ කෙනාව ඒ හැඩයට ගේන්න උත්සාහ කරන්නේ.
මනෝ ලෝකය ඇතුළෙ තියෙන චරිතය බාහිර ලෝකයේ නැති වුණාම පශ්චාත්තාප වීමක් සිද්ධ වෙලා ඒ චරිතය බාහිර සමාජයෙන් හොයන්න ගන්නවා. ඒකයි
ලිංගිකත්වය හේතු කරගෙන මේක ලඝු කරන්න බැරි. තමන් සෙවූ ප්‍රේමය නොලැබී යෑම, තමන් සෙවූ සතුට කුටුම්භය තුළ නොමැති වීම සහ තමන් සෙවූ කෙනෙක් එළියේ සමාජය තුළ මුණගැසීම නිසා අනියම් සම්බන්ධතාවලට මිනිස්සු යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ලිංගිකත්වය කියන්නේ ප්‍රධාන සාධකය නොවුණත් එය ප්‍රබල සාධකයක් වෙන එක අපිට වළක්වගන්න බෑ.
ඒ වගේම තවත් පර්යේෂණවලින් හොයාගත්ත දෙයක් තමයි සැමියා සහ බිරිඳ අතර සන්නිවේදනයේ තියෙන බිඳ වැටීම් අනියම් සම්බන්ධතාවලට පැටලෙන්න ප්‍රබල සාධකයක් වෙනවා. තමන් කොහොමද ආදරය විඳින්න කැමති? තමන් කොහොමද ආදරය ලබන්න කැමති? මේ හැමදේ ගැනම කතාකරන්න සැමියා බිරිඳ අතර හොඳ සන්නිවේදනයක් අවශ්‍යයි.
ගෘහස්ථ ජීවිතය ඇතුළේ මිනිස්සුන්ට තමන්ගේ වගකීම් එක්ක එහේ මෙහෙ දුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වෙනත් බාහිර සාධක ගොඩක් ජීවිතවලට බලපෑම් එල්ල කරනවා. මෙන්න මේ කාරණා මත ගෘහස්ථ ජීවිතයේ ෆෝමැට් එක වෙනස් වෙනවා. මේ වෙනස්වීම මත සමහර වෙලාවට දෙන්නට දෙන්නා
මුණගැහෙන්නේ හවස් යාමේ විතරයි. වැඩි කාලයක් ගතවෙන්නෙ කුටුම්භයෙන් පිට.
කුටුම්භයෙන් පිට වැඩිපුර කාලයක් ගෙවන්න සිද්ධ වෙද්දි තමන්ගේ රෝමාන්තික අයිඩලය වගේ එකක් අහම්බෙන් දකින්න පුළුවන්. සමහර අයට අන්තිමේ හිතාගන්නත් බෑ මේ වගේ සම්බන්ධයක් කොහොමද ඇතිවුණේ කියලා. ඒකට හේතුව තමන්ගේ
ජීවිතේ රික්තකයක් තියෙනවා. නමුත් ඒ රික්තකය ගැන ගෙදර ඇතුළෙ සාකච්ඡාව කරනවා වෙනුවට පිට සමාජයත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් ආවොත් ඊට නැඹුරුතාවක් දක්වනවා. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. නමුත් මේකේ ප්රශ්නය තමයි සමාජීය වශයෙන් මෙන්ම පවුල පැත්තෙනුත් ප්‍රශ්න බොහොමයකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක.
අනියම් සම්බන්ධතා සමාජයේ ඉතාම සුලභයි. ඒක ට්‍රෙන්ඩ් එකක් වගේ යන තත්ත්වයකුත් පේනවා. ඒක ඇතුළේ අපිට තියෙන නීරසභාවය, සන්නිවේදන දුර්වලතාවය වැනි කාරණා සෑහෙන්න බලපානවා. සන්නිවේදනය හරිම ප්‍රබලයි. සන්නිවේදනය දුබල වුණාම වෙන්නේ අනියම් සම්බන්ධතාවල පැටලෙන්න සිද්ධවෙන එක.
මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️