දරුවන්ට බාල කාලයේ පටන් වැලි, වතුර, මැටි අනන්න දෙන්න යැයි අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් උපදෙස් ලබා දෙනවා. ඔවුන්ගේ නිදන්ගත හසුරු කුසලතාවයන් වැඩි දියුණු කරගැනීමට එය මහත් පිටුවහලක්. මහනුවර ගලහ පාරේ පදිංචි සුමුදු ඉරංගිකාටත් බාල කාලයේ පටන්ම යම් යම් දේ අඹන්න කැමැත්තක් තිබුණා. ඒ නිසා ඇය පුංචි පුංචි නිර්මාණ කරන්න හිතුවා. පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්න ඇය පටන් ගත්තා විතරයි. නමුත් මහනුවර එක් පාසලකින් ඇය බාරගැනීමත් ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඒ විදිහට ප්‍රතික්ෂේප වීමට හේතු වුණ කරුණත් හරිම පුදුමයි. ඇගේ පියාට ලොකු ආදායමක් නොමැති නිසා මේ වගේ පාසලකට ඇයට ඇතුළත් කරගැනීම අපහසු බව පාසලේ කලමණාකාරීත්වය තීරණය කළා. එතැනින් පසුව ඇය මහනුවර ධර්ම වික්‍රම බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. ඉන්පසුව ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ සමත්ව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. 2013 වසරේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනයක් තිබුණා. මේ ප්‍රදර්ශනයට ඇය කඩදාසි මාධ්‍යයෙන් මූර්තියක් ඉදිරිපත් කළා. මේ මූර්ති නිර්මාණයට ඇය ප්‍රියන්ත හේරත් ගුරුතුමාගේ ආභාෂය ලබා ගත්තා. සුමුදුගේ හැකියාව තිබුණේ චිත්‍ර කලාවට වුනණත් ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී මූර්ති කලාව හදාරන්න පටන් ගත්තා. ඒ නිසාම සුමුදුට මුර්ති කලාව ගැන හොඳ දැනුමක් ලැබුණා. ඇගේ සහජ කුසලතාවය මේ දැනුම සමග වැඩි වුණා කිවහොත් නිවරැදියි. ඇය මේ වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති කලාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියක්.
ඔබ මුලින්ම…
මම පුංචි කාලයේ ඉඳන්ම කාන්තා තේමාවන් පාදක කර ගෙන මූර්ති නිර්මාණය කරන්න කැමැතියි. එය මගේ විනෝදාංශයක්.
මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසුව මූර්ති කලාව විෂයක් විදිහට හදාරන්න පටන් ගත්තා. මේ කාලයේදී මම පානදුර පදිංචි ධර්මතිලක ද සිල්වා ගුරුන්නාන්සේගෙන් මූර්ති කලාව ගැන වැඩිදුර දැනුම ලබා ගත්තා. මේ අතරේ මම විශ්වවිද්‍යාලයේදී කලුගල් ආශ්රිත මූර්ති නිර්මාණය කරන්න පටන් ගත්තා.
ඔයාට කළු ගල් නිර්මාණ කරන්න අපහසුයි නංගි…
නංගි ඔයාට නම් මේක කරන්න අමාරු වෙයි. කලු ගලක් සුමුදු කිරීම ගැහැනු ළමයෙකුට පහසු කාර්යක් නොවෙයි. මගේම ජ්‍යෙෂ්ඨයන් මට කිව්වා. නමුත් මට දයානන්ද සර් යෝධ ශක්තියක් වුණා.
2018 වසරේ කලු ගල්වලින් මූර්තියක් හැදුවා. මේ මූර්තිය හදන්න මම වෙනත් රටවල නිර්මාණ අධ්‍යනය කළා. මුලින්ම මම “ අප්‍රිකානු ළඳ ” යනුවෙන් නම් කරන ලද නිර්මාණයක් කළා. ඒ මුර්තිය වෙනුවෙන් ශිල්ප අභිමානී තරගයෙන් මුල් තැන ලබා ගත්තා. ඒ වෙනුවෙන් මට ජනාධිපති සම්මානය ලැබුණා.
මේ සම්මානයේ විශේෂත්වයක් තිබුණා
කළුගල් මූර්තියක් වෙනුවෙන් කාන්තාවක් සම්මාන ලබා තිබුණේ නැහැ. කලුගලින් නිර්මාණයක් කරන ලද ප්‍රථම කාන්තාව විදිහටත් මම ඉතිහාස ගතවුණා.
ඉටි මාධ්‍යටත් මම යොමු වුණා…
මම ඉටි මාධ්‍යයෙන් “ විඳවීම ” යනුවෙන් නම් කළ මූර්තියක් කළා. මෙය කාන්තාවකගේ මාතෘත්වය සංකේතවත් කරන නිර්මාණයක්. මේ නිර්මාණය යාපනය විශ්වවිද්‍යාලයේ සහන් කලාගාරයේ ප්‍රදර්ශන වෙනුවෙන් ඉදිරිපත් කළා.
ව්‍යාපාරික මටට්මට…
මේ වනවිට මම දේශීය මූර්ති නිර්මාණය කරනවා. බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා නිර්මාණය කරනවා. මූර්ති කලාව ඉගෙන ගන්න වයස් භේදයක් නැහැ. කලාවට කැමැති ඕනෑම කෙනෙකුට මෙය ඉගෙන ගන්න පුළුවන්. මම දැනට මූර්ති කලාව ඉගැන්වීමත් කරනවා.ඒ විතරක් නොවෙයි.
දැන් මම බිරිඳක්
ඒ විතරක් නෙවෙයි මම අවුරුදු තුනක දියණියකගේ මවක්. විවාහයෙන් පසුව අනුරාධපුරයේ පදිංචි වුණා. මම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇනවුම් ලබා ගන්නවා. මේ වෙන විටත් මම අඩි නවයක ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට ඇනවුමක් බාරගෙන තියෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️