පාසලකදී හෝ නිවසකදී වැරැද්දක් කළාම දරුවකුට ගහන එක මනෝවිද්‍යාවේ කොතනකවත් නිර්දේශ කරන්නෙ නෑ.වැරැද්දක් කළාම ගුටියක් දෙනවට වඩා වෙන විකල්පයක් නෑ කියලා ගොඩක් අය හිතනවා. දරුවෙක්ට පාරක් ගහන්න වැඩිහිටියෙක්ට හිතෙන්න, ඔවුන්ගේ මානසිකත්වයත් බලපානවා. සමහරවිට පන්තියේ දරුවො වැඩි ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් හැමෝටම උගන්නද්දි ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් ඒ පාඩම මගඇරගත්තම ගුරුවරියට කේන්ති ගිහින් අර ළමයින්ට ගහනවා වෙන්න පුළුවන්. මොකද ගුරුවරුන්ගෙ පැත්තෙන් ගත්තොත් දරුවන්ගේ විභාග ප්‍රතිපල පිළිබඳ ලොකු වගකීමක් ඔවුන්ගේ කර මත තියෙනවා. කොහොම මානසික තත්ත්වයක් තමන්ට තිබුණත් පාසල් දරුවකු වැරැද්දක් කළාම දරුණු පහරදීම් සිදුකිරීම නීතියෙන් තහනම්.
සමහර වෙලාවට ගුරුවරු තමන්ගේ පෞද්ගලික ගැටලුවල පීඩනයත් පිටකරන්නේ පන්තියේ දරුවන්ගෙන්. ගුටියක් නොදුන්නත් සැරට බනින්න හෝ හිතෙනවා. නමුත් ගුරුවරුන්ගේ මානසික ගැටලුවලට පන්තියේ දරුවන්ට කරන්න දෙයක් නෑ. දරුවෙක් නිතරම ගුරුවරු කියන දේ නාහා දිගින් දිගටම අනවශ්‍ය විදිහට හැසිරෙනවා නම්, පිරියඩ් කට් කරනවා නම් විදුහල්පතිවත් දැනුවත් කරලා ඒ දරුවන්ගේ දෙමාපියන්ව පාසලට ගෙන්නලා උපදෙස් දෙන්න පුළුවන්.
පන්තියෙ දරුවො නිසා ගුරුවරුත් පීඩාවට පත්වෙනවා නම් ඒ පීඩාව තනිවම දරාගන්න අවශ්‍ය නෑ. කාගෙන් හෝ ප්රශ්නය විසඳගන්න උදව් ගන්න. දරුවෙක් නිසා තමන්ගේ ඉවසීමේ සීමාව පන්නලා යනවා වගේ තේරුණොත් අතපය ඉස්සර කරගන්න කලින් තව කෙනෙක්ගේ අදහස් විමසන්න. ඒ තුළින් පිළියමක් හොයාගන්න.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් දරුවෙක්ව හික්මවගන්න බෑ.මේක ගුරුවරුන්ට වගේම දෙමාපියන්ටත් අදාළයි. සමහරවිට දරුවා ගුටියක් දුන්නම, හයියෙන් කෑගැහුවම තියෙන බයට ආයෙත් ඒ දේ නොකර ඉඳී. නමුත් තමන් කරපු වැරැද්ද කවදාවත් දරුවා තේරුම්ගන්නෙ නෑ. ඒ වගේම තවත් ගුරුවරු පිරිසක් ඉන්නවා දරුවන් සම්බන්ධව ඕනවට වඩා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන.
ගොඩක්ම ලිහිල් ප්‍රතිපත්තියක් ඇතිකරගත්තමත් වෙන්නෙ ගුරුවරයව දරුවො නටවන එක. පන්ති කාමරේ ගුරුවරයා හිටියත් අධිකාරී බලය තියෙන්නෙ ළමයි අතේ. ඒ නිසා මැදුම් පිළිවෙතේ ප්‍රතිපත්තියක් තමයි ගුරුවරු අනුගමනය කරන්න ඕනේ. දරුවා තුළ ගුරුවරයා පිළිබඳව ගොඩගන්න ඕන විශ්වාසයක් මිසක් වෛරයක් නෙවේ. මේකට හොඳම විසඳුමක් තමයි පාසලක මනෝ උපදේශනය සම්බන්ධ ගුරුවරයෙක් සිටීම.
සමහර ගුරුවරු ඉන්නවා කිසිම හේතුවක් නැතිව තෝරගත්ත දරුවෙක් හෝ කිහිපදෙනෙක් පස්සෙ විතරක්ම පන්න පන්න දඬුවම් කරන්න උත්සාහ කරන. සමහරවිට මේ ආකාරයේ ගුරුවරුන්ට ප්‍රතිකාර ලබානොගත් මානසික රෝගයක් තියෙන්න පුළුවන්. ඒ රෝගය උඩුදුවලා තියෙනවා වෙන්න පුළුවන්.
අනිත් හේතුව ඒ ගුරුවරයට පන්තියේ පේන්න බැරි දරුවව දැක්කම තමන්ගෙ ජීවිතේ අප්‍රසන්න දෙයක් මතක් වෙනවා වෙන්න පුළුවන්. සමහරුන්ගේ පෙනුම, ඔවුන් කතා කරන විදිහ, අංගචලන දැක්කම මතක් වෙනවා මොකක් හරි තමන්ට ගැටලුවක් තියෙන පුද්ගලයෙක්ව.
ගුරුවරු අතින් මානසිකව වගේම කායිකවත් දරුවන් පීඩාවට පත්වෙන්න පුළුවන්. කායිකව දරුවෙක් හිංසාවට පත්කළොත් දෙමාපියන්ට පුළුවන් ඒ ගුරුවරයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න. මානසිකව එල්ල කරන පීඩනය වෙනුවෙන් දෙමාපියන්ට දරුවො වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි පුද්ගල ශක්තිය වැඩිකරවන දේවල් කියලා දෙන එක.
ලංකාවේ ගොඩක් දරුවො තමන්ට පාසලේදී අගතියක් වෙන තැන්වලදි ඊට විරුද්ධව හඬක් නගන්න පැකිලෙනවා. තමන්ට අසාධාරණයක් වෙද්දි ඒ වෙනුවෙන් කතා කරන්න දරුවන්ව පුරුදු කරන්න. ගුරුවරුන් හෝ දෙමාපියන් කවුරු හෝ වේවා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවනම් ඒ වෙනුවෙන් කතා කරන්න දරුවන්ට අයිතියක් තියෙනවා.
ළමා හා යොවුන්
මනස පිළිබඳ
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය
ප්‍රභා විද්‍යාතිලක
උතුරු කොළඹ ශික්ෂණ රෝහල
එරංදි කෞශල්‍යා ✍️