අතීතයේදී කාන්තාව බාල කාලයේදී දෙමව්පියන්ටත්... විවාහයෙන් පසු සැමියාටත්...වියපත් වූ පසු දරු මුණුපුරන්ටත් යටත්ව ජීවත්වීමට සිදු වුණා. ඒත්... ද්වංගුල පඤ්ඤා යනුවෙන් හැඳින්වූ කාන්තාව හෙවත් “අම්මා ” කියන චරිතය එදා අවතක්සේරුවට පත්ව සිටියා. බුදුරජාණන්වහන්සේ “අම්මා ” කියන චරිතය නිවසේ බුදුන් විදිහට හඳුන්වා දුන්නා. කාන්තාවට දාසියක් වගේ සැලකුව සමාජයක බුදුරජාණන්වහන්සේ කාන්තාවට නියම ඇගයීමක් ලබා දුන්නා. ඇයට ළදැරියකගේ තැන ලබා දුන්නා. සහෝදරියකගේ තැන... මවකගේ තැන... බිරිඳගේ තැන... මිත්තණියකගේ තැන ලබා දුන්නා. නමුත් මේ අන්දමින් සමාජයේ බබලන චරිතයක් බවට පත් කළ කාන්තාවගේ අද පැවැත්ම ගැන නම් එතරම් සතුටු වෙන්න බැහැ.
කාන්තාව දරා ගැනීමෙන් ඉහළයි…
දරා ගැනීම අතින් බලන විට කාන්තාව පිරිමින්ට සාපේක්ෂව ඉතාම ඉහළයි. අම්මා කියන්නේ බුදු කෙනෙක්. “ බුද්ධො විය මාතා… ” පිරිමියෙකුට වඩා දරාගැනීමේ හැකියාව තිබෙන්නේ කාන්තාවට. කුලු ගෙඩි දහසක් උඩ තබා අපේ අත පය අතර අත හැරියොත් දැනෙන වේදනාවක් දරුවෙක් ලබන විට කාන්තාවක් දරනවා. ඒ ශාරීරික වේදනාව සිනාවෙන් ඉවසනවා.
යශෝධරාවන්ගේ චරිතය දෙස බලන්න. යශෝධරාවගේ චරිතය තුළ නියම දරා ගැනීම, පරිත්‍යාගය තිබුණා. සිදුහත් කුමරු පුංචි පුත් රාහුල කුමරු හැර දමා ගිහි ගෙයින් නික්මුන තැන මේ විදිහට ආශිර්වාද කළා…
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
නමුත් අද කාන්තාව ඊට හාත්පසින්ම වෙනස්. සුළු දෙයකට පවා පවුල කඩා ඉහිරුවා ගන්නා සමාජයක් නිර්මාණය වෙලා. එදා පවුල් සංස්ථාවක් තුළ කාන්තාව හැම දෙයක්ම දරා ගත්තේ මම දරුවන් නිසා ඉවසනවා. නමුත් අද කාන්තාවන්ගේ සංකල්පය ඊට වඩා වෙනස්.
ඔවුන් කියන්නේ විවාහය කියන්නේ විඳවීම නොවෙයි කියන ස්ථාවරයක් දැන් ගොඩ නගා ගෙන. ඔවුන් කියන්නේ ජීවිතය කියන්නේ විඳවනවා නොවෙයි. විඳීමක්. ඒ නිසා පුංචි සිදුවීමට වඩා දික්කසාදය ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් වහ බොනවා. බෙල්ලේ වැල ලා ගන්නවා.
කාන්තාව මේ විදිහට වෙනස් වුණේ ඇයි…?
දරුවන් නොමග යන්නේ ඔවුන්ට දෙමව්පියන් විසින් නිසි මාර්ග පෙන්වා නුදුන්නිසාම කිව්වොත් වරදක් නැහැ. අද පවුලක සම්බන්ධතාවයන් සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. අම්මා නිතරම ජංගම දුරකථනයේ. එහෙම නැත්නම් සමාජ ජාලාවල සැරිසරනවා.
දරුවන් කරන්නේ මොනවද දන්නේ නැහැ. දරුවන්ගේ අඳින, පළඳින, කන බොන, යන ගමන් බිමන් අම්මා දන්නේ නැහැ. ඒවා සොයන්න තරම් විවේක මනසක් අම්මාටත් නැහැ. ඇයි…? අම්මත් සමාජ මාධ්‍ය ජාලා පීරමින් සිටිනවා. ඔය අතරේ අම්මාත් යම් යම් සම්බන්ධතාවයන් ගොඩ නගාගන්නවා. ඒ සම්බන්ධතාවයන් දරුවන්ටත් වටින් ගොඩින් ආරංචි වෙනවා. දැන් ඉතින් අම්මාට දරුවන්ගේ වැරැදි කතා කරන්න බැහැ.
දරුවන් අපයෝජනයට පත් වන්නේ පවුලේම සමීපතයන්ගෙන්…
නමුත් අද සමාජයේ සිදු වෙන බොහොමයක් දූෂණ සිදු වෙන්නේ පවුලේම සමීපතයන් ගෙන කියන බව සමාජ සමීක්ෂණ මගින් පවා පෙන්වා දී තිබෙනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ දරුවන් පවුල තුළින්ම අනාරක්ෂිත වෙලා. නමුත් අද වනවිට සමාජය ඉතාම වේගයෙන් පිරිහෙනවා. මව් පියන් විසින් දරුවන් කෙරෙහි දක්වන අවධානය ගිලිහී යෑම නිසා මේ අවාසනාවන්ත තත්ත්වය අද ඇති වෙලා තිබෙනවා.
එදා සරල ජීවන රටාවක අම්මා නිතරම දරුවන්ගේ ආරක්ෂාව ගැන සහතික වුණා. ඔවුන් දරුවන් රැක්කේ තමන්ගේ ඇස් දෙක වගේ. නමුත් අද රූපවාහිනියට… ජංගම දුරකථනයට… වගේම සමාජ ජාලාවන්ට මව්පියන් ඇබ්බැහි වෙලා. දරුවන් ඔවුන්ගේපාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහිලා.
තමන්ගේ සිව් හැවිරිදි දියණිය රැගෙන ගොස් ඝාතනය කරද්දී ඒ බව පසුවදා උදේ මිත්තනිය විසින් දරුවා කෝ… ? යැයි විමසන තෙක් දියණියට සිදු වුණ අවාසනාවන්ත ඉරණම ගැන නොදත් මව්වරුන් ජීවත් වෙන දේශයක් බවට අපේ රට පත් වෙලා.
ලෝකය වෙනස් වෙන විට අපිත් වෙනස් වෙනවා…
තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමග අපි ගමන් කරන්න ඕන. නමුත් මවකට පියෙකුට තිබෙන භුමිකාව අමතක කළ යුතු නැහැ. අම්මා මුහුණු පොත ඔස්සේ අනියම් සම්බන්ධතාවයක් ගොඩ නගාගත් පවුලක… පියා රැයක් දවාලක් නොමැතිව සමාජ ජාලාවන්හි සැරිසරන විට දරුවන්ට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව නොවේද? ඒ නිසා අම්මා කියන චරිතය සමාජ ජාලාවන් හඹා යෑමට වඩා පවුලේ සහ දරුවන් ගැන සිතීම වැදගත්. ඇයට මවක… බිරිඳක ලෙසින් වූ භුමිකාවක් තිබෙනවා.
ඇඳුමක පවා සංවරයක් තිබුණා…
එදා තිබුණ සංස්කෘතියට වඩා අද වෙනස්. මගුල් ගෙදරකට යන විට එදා කාන්තාවක් ගිය පිළිවෙලක් තිබුණා. කාන්තාවක් වුණොත් ලස්සනට අඳින්න ඕන. එය කිසිම වරදක් නැහැ. නමුත් හැම දෙයකම විනයක් ඕන. අඩ නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම විනය කියන්න බැහැ. මාධ්‍යවලට මුදල් අවශ්‍ය බැව් ඇත්ත. ඕපා දූප හොඳින් අලෙවි වෙනවා. නමුත් බුදුදහමින් ශික්ෂණය ලත් උතුම් හැදියාවක් අපට තිබෙනවා.
මේ තත්ත්වය සාධාරණ කරමින් සමහර අය කියන්නේ බටහිර සංස්කෘතියේ අද අඳින්නේ මේ විදිහට එහෙම නම් ඒ රටවලත් දූෂණ වෙනවාද? නමුත් අපේ හැදියාව, අපේ සංස්කෘතිය ඊට වෙනස්. අපි දේව ධර්මය ගැන දන්නවා. ලැජ්ජාව සහ බිය ගැන සිංහල සංස්කෘතියේ පදනම කිව්වොත් වරදක් නැහැ. අද අම්මා, දුව හඳුනා ගැනීමට අපහසු තරම් අසංවර ඇඳුම් අඳිිනවා.
අපි ඇඳුම් අඳින්නේ ඇයි…? නමුත් අද බොහෝ දියණිවරුන් විතරක් නොවෙයි අම්මලාත් අඳින ඇඳුමක පවා කිසිදු සංවර බවක් නැහැ. සංවර බව පටන් ගන්නේ නිවසේ බිත්ති හතරෙන්. මාධ්‍ය වෙතින් නිරුවත අලෙවි වුණත් මම ගැහැණු දරුවෙක්… මම ගැහැණියක්… බිරිඳක්… මවක්… මිත්තණියක් කියන අභිමානයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.
අක්කලාට පෙම් බඳින්නන්ගේ සංගමය…
විවාහයකදී පිරිමියා වයසින් වැඩිමහල් විය යුතුයි යන අපේ සමාජ සම්මතයක් තිබුණා. නමුත් අද වනවිට ඒ තත්ත්වයත් වෙනස් වෙලා. පිරිමියා වැඩිමහල් විය යුතුයි කියන්නේ වෙන දෙයක් නිසා නොවේ. පවුලක මෙහෙයවීම, ආරක්ෂාව ලබා ගන්න නම් අත්දැකීම් තිබෙන්න ඕන.
නමුත් අද ඒ සම්ප්රදාය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. නමුත් අද අක්කලාට පෙම් බඳින සමාජයක් නිර්මාණය වෙලා. ඒ වගේම මෙම සමාජ කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීමත් සිදු වීම ඉතාම කනගාටුයි.
කාව්‍ය විශාරද
දම්සරණ පාරමිතා පදනමේ නිර්මාතෘ
පූජ්‍ය දැරණියගල ධම්මසාර ස්වාමින්වහන්සේ
පුංචි පන්සල,
පාලුගම්පල පැල්මඩුල්ල