ව්‍යාපාරයක් කරන විට එක් රැයකින් ජනප්‍රියත්වයට පත් වෙන අවස්ථාවක් ගැන ඔබ අසා තිබෙනවාද? සමහර විට එහෙම වෙන්නේ කොහොමද, ඒක නම් ප්‍රාතිහාරයක් යැයි කියාවි. නමුත් මහනුවර ‘සහස් උයනේ අච්චාරු පෙරේතයෝ’ එක රැයකින් ලැබූ ජයග්‍රහණය ගැන ඇසුවොත් ඔබට මේ අදහසට එකග වෙන්නම වේවි.
මගේ නම චමිලා රුවනි. මම මහනුවර සුදුහුම්පොල පදිංචියි. මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළ අවසානයෙන් පසුව මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරුවා.
මම මගේ ජීවිතයේ කාලය අපතේ යවලා නැහැ. විවාහයට පෙරාතුව පටන්ම විවිධ ස්වයං රැකියා කළා. විවාහයෙන් පසුවත් මම එළවළු (Fresh cutting) කපලා ඇසුරුම් සකස් කරලා වෙළෙඳපොළට දැම්මා. විශේෂයෙන් සුපිරි වෙළෙඳසල් ජාලයට දැම්මේ. ඒ වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තිබුණා.
මේ අතරවාරයේ මම ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු ආහාර පර්යේෂණ පුහුණු වැඩසටහනකට සහභාගී වුණා. මගේ ස්වයං රැකියාවට ඒ පුහුණුවෙන් හොඳ දැණුමක් ලැබුණා. මේ විදිහට මම කපන ලද එළවළු වර්ග වෙළෙඳපොළට එකතු කිරීම අවුරුදු හත අටක්ම කරගෙන ගියා.මේ අතර 2020 වසරේ කොවිඩ් වසංගතයත් සමගම අපේ ව්‍යාපාර සේරම වැටුණා. වසංගතයේ බලපෑම නිසා මගේ ස්වයං රැකියාවටත් නැගිටින්න බැරි තරමටම වැටුණා.
මේ අතරේ මහනුවර නගර සභාවෙන් ‘සහස් උයනේ’ කඩ සියයක් කුලි පදනමට ලබාදෙන බවට නිවේදනයක් තිබුණා. මමත් ඒකට ඉල්ලුම් කළා. එක දවසක් මේ කඩ සියය දෙන සම්මුඛ පරීක්ෂණයට මට කැඳවීම් ලිපියක් ලැබුණා. මම කඩයක් ගත්තොත් එතැන අලෙවි කරන්නේ මොනවාද? ඒ ගැන සාම්පලයකුත් අරගෙන එන්න කියලා තිබුණා.ඒ වගේම මහනුවර සංචාරකයන් ඇදෙන නගර මධ්‍යයේ පිහිටා තිබෙන හින්දා සංචාරකයන්ටත් ආකර්ශනය වෙන දෙයක් අලෙවි කරන්න කියල උපදෙසත් මට ලැබුණා. කොහොම හරි මට සහස් උයනේ කඩ අතරින් එකක් ලැබුණා.
ඔබගේ වෙළෙඳාම පටන්ගත්තෙ?
මම පලතුරුවලින් අච්චාරු හැදුවා. ඒවා මැටි මුට්ටියේ තබාගෙන අලෙවි කළා. ඒ තත්ත්වය එතරම් සෞඛ්යාරක්ෂිත නැහැ කියලා ඇසුරුම් විදිහට අලෙවි කරන්න කියල සහස් උයනේ පරිපාලනයෙන් මට උපදෙස් ලැබුණා.
මේ විදිහට අපේ ආයතනය සහස් උයනේ පවත්වාගෙන යද්දි මගේ සැමියා කිව්වා අපි Face book එකේ ගෘප් එකක් හදමු එතකොට අපේ ව්‍යාපාරය ජනප්‍රිය කරන්න පුළුවන් වෙයි කියලා. එයාම ගෘප් එකක් හැදුවා. මගේ සැමියා ‘සහස් උයනේ’ අච්චාරු පෙරේතයෝ කියන නම තෝරාගත්තා.
සහස් උයනේ අච්චාරු පෙරේතයෝ…
ඉතින් මේ නමින් ගෘප් එකක් හදලා අපි පුරුදු විදිහටම අපේ වෙළඳාම කළා. අපෙන් අච්චාරු ගන්න එන අයට අපි කිව්වා රස බලලා ඔයාලට හිතෙන දේ ෆේස් බුක් එකට කමෙන්ට් එකකින් ලියන්න කියලා. මේ ඉල්ලීම අපෙන් අච්චාරු ගන්න හැම දෙනාටම අපි කරනවා. පුරුදු විදිහටම එක දවසක් අපෙන් මහත්මයෙක් අච්චාරු ගත්තා. පුරුදු විදිහටම අපි ඔහුගෙන් ඒ ඉල්ලීම කළා. ඒ මහත්මයාගේ නම අකිල වික්‍රමසිංහ. ඔහු අපේ තැන ඡායාරූපත් අරගෙන ගිහින් ඒවා මුහුණු පොත ඔස්සේ හුවමාරු කරල තිබුණා.
පහුවදා අපි සහස් උයනට එද්දී අපේ ව්‍යාපාරික ස්ථානය ළග සෙනග පිරිලා. කොහොම හරි එදා අපි අරගෙන ආව අච්චාරු සේරම විකිණුනා. දවල් 12 වෙද්දී අපට විකුණන්න අච්චාරු නැති වුණා. මේ විදිහට තමයි අපේ ආයතනය එහෙම නැත්නම් ‘සහස් උයනේ අච්චාරු පෙරේතයෝ’ සමාජය අතර ජනප්‍රිය වුණේ.
අද ඔබේ ව්‍යාපාරයේ තත්ත්වය?
අද වනවිට අපි අච්චාරු වර්ග 40 ක් නිෂ්පාදනය කරල තිබෙනවා. නෙල්ලි, දිවුල්, අඹ, වෙරළු, ලොවි, ඇඹරැල්ලා වගේ පලතුරු වර්ගවලින් හදපු අච්චාරු තියෙනවා. මේවා අතරින් පැණි රස අච්චාරු, නයි මිරිස් සැර අච්චාරු, ගම්මිරිස් රස අච්චාරු වගේම පැණි රස සහ මිරිස් දෙකම මිශ්‍ර අච්චාරු විදිහට වර්ග තිබෙනවා.
මේ අතරේ ඔබේ අත්හදා බැලීම් තිබෙනවාද?
ඔව්. මල් නෙල්ලි වගේ පලතුරු කා අතරත් ජනප්‍රිය නැහැ. ඒ නිසා මම මල් නෙල්ලි, ලොවි වගේ ඉල්ලුම අඩු පලතුරුවලින් අච්චාරු හැදුවා. දැන් ඒක හරිම ජනප්‍රියයි. මගෙන් මේ අච්චාරු අරගෙන ගිහින් අලෙවි කරන අය ඉන්නවා. විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් මගෙන් අච්චාරු අරගෙන ගිහින් විශ්වවිද්‍යාලයේ අලෙවි කරනවා. ඒ නිසා අපි ආහාරයට නොගත් සමහර පලතුරුවලට දැන් හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා.
ඔබට අවශ්‍ය පලතුරු?
මහනුවර නගරයේ සති පොළක් තියෙනවා. ඒක සතියේ සඳුදා සහ සිකුරාදා දවස් දෙකක් තියෙනවා. මෙතැනට එන අයගෙන් අපි මුලින් පලතුරු ගත්තා. දැන් ඒ ගොල්ලන් පොළට කලින් අපට පලතුරු ලබාදෙනවා. මේ විදිහට දැන් සෘජු ඇනවුම්කරුවන් ඉන්නවා.
අවාරෙට පලතුරු සොයාගන්න එක?
වෙරළු වගේ පලතුරු අවාරෙදී සොයාගන්න බැහැ. ඒ වගේ පලතුරු අච්චාරු ඒ කාලයට නම් නැහැ. නමුත් කාලයට අපට සොයාගන්න පුළුවන් හැම පලතුරකින්ම අච්චාරු තියෙනවා.ඒ වගේම මිල අඩු වැඩි වුණත් අච්චාරු ඇසුරුමක මිල වෙනස් වෙන්නේ නැහැ. අපි රුපියල් 100 ක මිලක් නියම කරල තියෙනවා.
ගන්න ඉස්සර කන්නත් පුළුවන් නේද?
ඔව්. ඒකත් මගේ සැමියාගේ අදහසක්. අපෙන් ගන්න ඉස්සර තමන් කැමැති අච්චාරු රස බලන්න තියෙනවා. රස බලලා තමන් කැමති අච්චාරුව මිලට ගන්න පුළුවන්. මේ නිසාත් අපේ අලෙවිය වැඩි වුණා. අපි අච්චාරු මෙතැනම හදනවා. පලතුරු තේරීම අපේ නිවසේදී සිදුවනවා. ඒ වෙනුවෙනුත් සේවකයන් හතර දෙනෙක් සිටිනවා. ඊට අමතරව අපේ සහස් උයන මධ්‍යස්ථානයේ හය දෙනෙක් සේවය කරනවා.
කල්තබා ගැනීම?
සාමාන්‍යයෙන් අච්චාරු අසුරණයක් මාසයක් පමණ කාලයක් තබාගන්න පුළුවන්. සති දෙකක් පමණ කල්තබා ගතහැකි අච්චාරු අසුරණත් තිබෙනවා. අපේ නිෂ්පාදන අතරින් වැඩිම ඉල්ලුම තිබෙන්නේ ලොවි, පැණි නෙල්ලි, පැණි අඹ, පැණි ඇඹරැල්ලාවලාවලටයි. උදේ 10 ට විවෘත කළාම රාත්‍රී 7 වෙනකම්ම අපි සහස් උයනේ අච්චාරු පෙරේතයන් සමග කාලය ගෙවනවා. ඒක ඉතින් බොහොම සතුටක්.
මෙම ව්‍යාපාරය දියුණු කරගැනීමට මට නිතර ආශිර්වාද කරන මගේ අම්මාත්, නිතර මා සමග උරින් උර ගැටී කටයුතු කරන මගේ සැමියා වන දිනේෂ් නාලකත්, මගේ දරු දෙදෙනා සහ මගේ සහහෝදර සහෝදරියන්වත් මෙහිදී සිහිපත් කරන්න ඕන. ඒ වගේම සහස් උයන ප්‍රධාන අධ්‍යක්ෂකතුමා වන මංගල මල්ලිමාරච්චි ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පුද කරනවා. නිතරම හොඳම දේ පාරිභෝගිකයන්ට ලබාදෙන අපේ සේවක මණ්ඩලයත් කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️