පාර්ශවයන් දෙකක් අතර සිදුවන්නා වූ විවාහයක්, නිසි නෛතික විධිවිධාන අනුගමනය නොකිරීම හෝ නීතිය මගින් දක්වා ඇති මූලික අවශ්‍යයතා හා කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ වෙනත් කරුණු මත බල රහිත විවාහයක් බවට පත්වේ.
විවාහ බල රහිත වීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී එය කොටස් 02ක් යටතේ දැක්විය හැකිය.
1. මුල් අවස්ථාවේදී සිටම බල රහිත විවාහ
2. බල රහිත කළ හැකි විවාහ
මුල් අවස්ථාවේදී සිටම බල රහිත විවාහ යනුවෙන් හඳුන්වනු ලබන්නේ විවාහයක් සිදුකිරීම සඳහා මූලික ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ලෙසින් දක්වා ඇති අවශ්‍යතාවයන් එකක් හෝ කිහිපයක් උල්ලංඝනය කරමින් සිදු කර ඇති විවාහයන් වේ. එවැනි විවාහ මුල් අවස්ථාවේදී සිටම බල රහිත විවාහ ලෙසින් හඳුන්වනු ලබයි.විවාහයක් සිදුකිරීම සම්බන්ධව ලංකාවේ ප්‍රධාන පනත් 03 ක් ක්‍රියාත්මක වන අතර, එම පනත් මගින් දක්වා ඇති නෛතික විධිවිධාන අනුගමනය නොකිරීම විවාහයක් බල රහිත වීමට හේතු වේ. එම පනත් නම්,
- 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත.
- 1952 අංක 44 දරණ උඩරට විවාහ ආඥාපනත.
- 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත.
බහුජන කොට්ඨාශයක් ජීවත්වන ශ්‍රී ලංකීය සමාජය තුළ, එම ජනතාවගේ විවාහය සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට අදාල වන පරිදි මෙම නෛතික තත්ත්වයන් ක්‍රියාත්මක වන නමුත්, එම ප්‍රතිපාදන මගින් දක්වා ඇති නෛතික අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ඉහත ඕනෑම පනතක් යටතේ සිදුකරන ලද විවාහයක් බල රහිත බවට පත්වේ. එවැනි විවාහයක පාර්ශවයන් නීත්‍යානුකූල කලත්රයක් ලෙසින් පිළිනොගන්නා අතර, එක් එක් පාර්ශවයන්ගේ නෛතික අනුප්රාප්තියද නොලබයි. එම විවාහය තුළ කිසිදු අයිතිවාසිකමක් හේ වරප්‍රසාදයක් සඳහා හිමිකමක් නොලබයි.
විවාහවීමේ අවම වයස
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත හා උඩරට විවාහ ආඥාපනත අනුව විවාහයක් සිදුකිරීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 18 ක් විය යුතු අතර එක් පාර්ශවයක හෝ එම වයස සම්පූර්ණවීමට පෙර සිදුකර ඇති විවාහයක් මුල් අවස්ථාවේ සිට බල රහිත විවාහයක් බවට පත්වේ. ඒ බව සනාථ කිරීම සඳහා වයෝපූර්ණත්වයට පත් නොවූ පාර්ශවයේ උප්පැන්න සහතිකය ප්‍රමාණවත් සාක්ෂියක් ලෙස සැලකේ.
තහනම් ඥාති සබඳතාවයක් තිබීම
පනත් මගින් දක්වා ඇති ආකාරයට විවාහය සිදුකරන පාර්ශවයන් අතර තහනම් ඥාති සබඳතාවයක් පවතින්නේ නම් එම විවාහයද මුල් අවස්ථාවේ සිටම බල රහිත විවාහයක් බවට පත්වන අතරම එවැනි විවාහයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ට දඬුවම් නියම කිරීමක්ද සිදු කළ හැකිය.
වලංගු පෙර විවාහයක් පැවතීම…
විවාහයේ එක් පාර්ශවයකට හෝ ඒ වනවිටත් වලංගුව පවත්නා විවාහයක් පැවතීම එකී විවාහය බල රහිත වීමට හේතු වේ. පූර්ව විවාහයක් පවතින පාර්ශවයක් නැවතත් විවාහවීමට නම් එම පූර්ව විවාහයෙන් දික්කසාදයක් ලබාගෙන තිබීම හෝ අදාල කලත්‍රයා මියගොස් තිබීම මගින් විවාහය අවසන්ව තිබිය යුතුය.බල රහිත කළ හැකි විවාහ යනුවෙන් හඳන්වනු ලබන්නේ අධිකරණය මගින් නියෝගයක් ලබා ගැනීමෙන් පසුව බල රහිත බවට පත්කල හැකි විවාහයන්ය. මෙහිදී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මෙන්ම රෝම ලන්දේසි නීතිය මගින් දක්වා ඇති නෛතික තත්ත්වයන්ද අදාළ වේ.
විවාහයට එලඹේන පාර්ශවයන්ගේ කැමැත්ත නොතිබීම.
විවාහය සිදුකරන්නා වූ එක් පාර්ශවයකගේ කැමැත්තකින් තොරව විවාහය සිදුකර ඇත්නම් ඒ බවට ප්රමාණවක් සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව එම විවාහය බල රහිත කිරීම සඳහා අධිකරණමය නියෝගයක් ලබා ගත හැකිය.
වංචාව, රැවටීම හෝ බිය ගැන්වීම…
යම් පාර්ශවයක් විවාහයේදී ව්‍යාජ නමකින් පෙනී සිටීම, තොරතුරු සඟවා විවාහය සිදු කිරීම හෝ තර්ජනය කිරීම මගින් විවාහය සිදු කිරීම සිදු කර ඇත්නම් එවැනි විවාහයක් බල රහිත කළ හැකිය.
බලයක් නොමැති පාර්ශවයක් විවාහය සිදු කිරීම…
විවාහය සිදුකිරීම සඳහා නිසි බලය ඇති විවාහ රෙජිස්ට්‍රාර්වරයකු හෝ පූජකවරයකු හැර වෙනත් අයකු විසින් ආඥා පනත මගින් නියම කර ඇති ස්ථානයකදී හැර වෙනත් ස්ථානයකදී විවාහය සිදු කර ඇත්නම් එවැනි විවාහයක් බල රහිත කළ හැකිය.
භාර්යාව ගර්භනී තත්ත්වයේ සිටීම…
විවාහය සිදුකරන අවස්ථාවේදී එම විවාහයේ පුරුෂයා නොදැන බිරිඳ වෙනත් පුරුෂයකු අතින් ගර්භනී තත්ත්වයට පත්ව සිටියේ නම් එවැනි විවාහයක්ද බල රහිත කළ හැකිය.මෙම පොදු කරුණුවලට අමතර වශයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ සිදුකරනු ලබන විවාහ සම්බන්ධයෙන් අවම වයස අදාළ නොවන අතර, ඉස්ලාම්භක්තියකු නොවන අයකු එක් පාර්ශවයක් වන්නේ නම් එවැනි විවාහයක් බල රහිත කළ හැකි විවාහයක් වේ. විවාහය බල රහිත කිරීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂිත එම විවාහයේ යම් පාර්ශවයක් අදාළ ඉල්ලීම තමා පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 607 වගන්තිය මගින් දක්වා ඇත.
නීතිඥ අංජුල බණ්ඩාර
anjulacab@gmail.com