ලෝකයේ තියෙනවා පරම ස්වභාවයක්. ඒ තමයි තමන්ට ඕන විදිහට, තමන්ට හිතෙන විදිහට දේවල් සිද්ධ වෙන්නෙ නැති එක. හිතන්නකෝ ඔබ විභාගයක් ලියනවා කියලා. නමුත් ඔබ හිතපු ලකුණු අවසානයේ ලැබෙන්නේ නෑ. ඔබ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. නමුත් ඔහු හෝ ඇය ඔබව දාලා යනවා. කසාදයක් බඳිනවා. හදිස්සියේම ස්වාමිපුරුෂයා හෝ බිරිඳ මිය යනවා. හිටපු ගමන් තමන්ගේ රස්සාව නැති වෙනවා. කල්පනා කරලා බලන්නකෝ මිනිස්සුන්ට තියෙන දුක් කරදර කොච්චරද කියලා. එතකොට මේ ජීවිතයට එන දුක් කරදර දරාගන්න බැරි වුණොත් අපිට මොකක් වෙයිද? ඒ නිසා දරාගන්නේ කොහොමද? දරාගන්න ඕනේ ඇයි? දරාගැනීම පිටුපස තියෙන කාරණා මොනවද කියන දේ ගැනයි අපි මේ කතා කරන්න යන්නේ…
ප්‍රේම සම්බන්ධයක් නතර වුණොත් අතවල් කපාගෙන ඒක වීඩියෝ කරලා පෙම්වතාට හෝ පෙම්වතියට යවනවා. මහත්තයා පොඩ්ඩක් ගෙදර එන්න පරක්කු වුණොත් නෝනට දරාගන්න බැරුව කේන්ති ගිහින් හැසිරෙනවා. ලේලිට නැන්දම්මා දරාගන්න බෑ. නැන්දම්මට ලේලි දරාගන්න බෑ. දරුවෙක්ගේ ලකුණු අඩුවුණොත් අම්මලාට ඒක දරාගන්න බෑ. ළමයි ටිකක් කෑ ගහනකොට ටීචර්ට දරාගන්න බෑ. ඉතින් ගහලා කන් මිරිකනවා. පාරේ වාහන තදබදයකට අහුවුණොත් ඒක ඉවසන් ඉන්න බෑ. හෝන් ගහනවා, වීදුරුවෙන් එළියට අත දික් කර කර බනිනවා.
මේ දරාගැනීම කියන දේ සමාජයේ හැම අහු මුල්ලකම අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා දරාගැනීම පිටුපස තියෙන මනෝවිද්‍යාව ගැන අපි බලමු. මේ කාරණාවේදී මොළය ආශ්‍රිතව ගොඩනැගුණූ සුවිශේෂී වචනයක් තියෙනවා. ඒ තමයි ‘ඔරොත්තු දීම’ අපිට ඕනම දේකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතන පතන දේවල් නොවෙනකොට, හිතපු ආකාරයටම දේවල් පවතින්නේ නැතිකොට අපිට සිද්ධ වෙනවා ඒ දෙයට අනුවර්තනය වෙලා දරාගෙන ඉදිරියට යන්න. ටික දවසක් යනකොට ආතතිය අඩුවෙලා තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනවා. මොළයත් හරියට කාර් එකක එන්ජිමක් වගේ. එන්ජිමක් රත්වෙලා රත්වෙලා එක තැනකදි හීට් එක ලොක් වෙනවා. පෙට්‍රල් තියෙනවා නම් ලංකාව වටේම වුණත් ගිහින් එන්න පුළුවන්. එන්ජිමට මුකුත් වෙන්නෙ නෑ. මොළයත් හරියට ඒ වගේ.
විද්‍යාඥයෝ කියනවා හරි ලස්සන කතාවක්. මොළය යම්කිසි වැඩක් පටන් අරගෙන සුවපහසු කලාපයේ (Comfort zone) ආතතිය රඳවාගන්නවා නම් තිබිය යුතු නියත තත්ත්වයක් හඳුනගෙන තියෙනවා. ඒ තමයි තමන් කරන දෙයින් සතුටක් ආවොත් මොළයේ තියෙනවා සුවිශේෂී ලක්ෂණයක්, මානසික ආතතිය සුවපහසු කලාපයේදී ඔටෝ ලොක් වෙන විදිහට. නමුත් ජීවිතයට හම්බ වෙන්නේ සතුටින් කරන්න පුළුවන් දේවල් විතරක්ද? නෑ.
චිත්‍රපටියක් බලන එක, ගේම් ගහන එක, යූටියුබ් බලන එක සතුටුදායක වෙන්න පුළුවන්. නමුත් පහුවදා කාර්යාලයට යන එක, පාන්දර නැගිටලා උයන එක, පාසල් යන එක, විභාගයකට යන එක සතුටුදායක දේවල් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේ අපිට කරන්න නියමිත බොහෝ දේවල් සතුටක් නැති වුණත් කරන්නම සිද්ධ වෙනවා. නමුත් සතුට එක්ක මොළේ බද්ධ වුණාම තමන්ගේ හිතට වගේම ශරීරයටත් අමුතුම ශක්තියක් එන බවත් මතක තියාගන්න ඕනේ.
සුවපහසු කලාපයේ ඉන්නවා නම් අපිට වැඩ කරන්න ලේසියි. හැබැයි අකමැති දෙයක් කරන්න යද්දි ඔරොත්තු දීම අඩු වුණොත් මොකක් වෙයිද? අනිවාර්යයෙන්ම මොළයේ පීඩනය වැඩිවෙලා ආතතියට ලක්වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ යම්කිසි වැඩක් කරන්න යද්දි මානසික පීඩනය සුවපහසු කලාපය තුළ රඳවා ගන්න බැරි වෙලා සායනික පැත්තට තල්ලු වුණොත් මොළේ ක්‍රියාවලිය අඩපණ වෙලා අවසානයේ ඔබ මානසික රෝගියෙක් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා අකමැති දේත් කිරීමේ හැකියාව අපට තියෙන්නම ඕනේ. මේ හැකියාව තියෙන්න ඕනේ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි. දරුවන්ටත් ඒ දේ අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි.
ඔරොත්තු දීමේ හැකියාවෙන් කොටසක් අපිට ජානවලින්ම ලැබෙනවා. ඉතුරු කොටස ගොඩනගාගන්න ඕනේ අපිමයි. දෙමාපියන්, පාසල් පද්ධති හැමෝම එකතු වෙලා මොළය තුළ ගොඩනැගිය යුතු මේ වැදගත් දේ අපි හඳුන්වනවා ‘ඔරොත්තු දීම’ කියලා. දරුවන්ට අභියෝගවලට මුහුණ දෙන්න ඉඩදෙන්න. ඒ කරන දේ දරුවන්ට අනතුරුදායක නැත්නම් එයට ඉඩදෙන්න. එහෙම නැති වුණොත් වෙන්නේ පෞරුෂය දුර්වල දරුවෙක් ගොඩනැගීම සම්බන්ධයෙන් මුළු ජීවිත කාලයම ඔබට විඳවන්න සිද්ධ වෙන එක.
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ
මනෝ චිකිත්සක
වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
එරංදි කෞශල්‍යා ✍️