ගිලන්පස කීවිට අපේ හිතට එන්නේ පාන වර්ගයි. එහෙත් මෙහි නිවරැදි අදහස තේරුම් ගත්විට ගිලන්පස ලෙසින් අප පූජා කළ යුත්තේ මොනවාදැයි තේරුම් ගැනීමට පුළුවනි. ගිලන්පස යන්නෙහි නිවරැදි පාලි වචනය “ ගිලානපච්චය ” යන්නයයි. අපට මේ බව ගිලන්පස පූජා කරන ගාථාව සජ්ජායනා කරන විටම එත්රුම් ගැනීමට පුළුවනි.
“අධිවාසේතු නෝ භන්තෙ- ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය- පතිගංහාතු මුත්තමං”
මේ “ගිලානපච්චය “කියනවචනයේ තේරුම ගත්තා නම් අපට පූජා කරන දේවල් ගැන හිතා ගැනීමට පුළුවනි. පාලි සිංහල ශබ්ද කෝෂයට අනුව ගිලානපච්චය- ගිලනාට උපකාර වන දෙය ගිලානපච්චය, ගිලන්පස, ගිලනුන්ට හිත බෙහෙත එහෙම නම් මේ කියන්නේ බෙහෙත් ගැන නොවේද… ? අපට මේ ගාථාව සජ්ජායනා කරමින් ඖෂධ වර්ග පූජා කරන්න පුළුවනි. සමහර අවස්ථාවල මේ ගාථාව තුන් වරක් ගායනා කරන අය සිටිනවා. නමුත් මේ ගාථාවේ අර්ථය දැන ගැනීම ඉතාම වැදගත්. එවිට තම තමන් පූජා කරන්නේ ඖෂධ වර්ග බව තේරුම් ගැනීමට පුළුවනි. මේ වෙනුවෙන් පාන වර්ග පමණක් නොව ඕනෑම බෙහෙත් ඖෂධයක් පූජා කළ හැකියි.
රේරුකානේ චන්ද විමල මහා ස්වාමින්වහන්සේ ගේ පුණ්යෝපදේශ ග්‍රන්ථයේ මේ අන්දමින් සඳහන් වෙනවා.අම්බපාන අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි, දොඩම් ආදියෙන් කරන පාන වර්ගත් වෙඬරු, ගිතෙල්, සීනි, සූකිරි, සීනි බෝල, පැණි සකුරු, මී පැණි, තලතෙල් යන මේ සියළුම බෙහෙත් වර්ග ගිලන්පස වශයෙන් පිදිය හැක.එසේ නම් මේ ආකාරයෙන් සියළුම බෙහෙත් වර්ගපූජා කළ හැකි අතර බෙහෙත් වර්ග පුදන තවත් ගාථාවක් මෙලෙස සඳහන් වෙනවා.
අධිවාසේතු නෝ භන්තෙ- භෙසජ්ජං පරිකප්පිතං
අනුකම්පං උපාදාය- පතිගංහාතු මුත්තම
මෙම ගාථාවෙන්ද භෙසජ්ජ යනුවෙන් හැඳින්වෙන්නේ ඖෂධ වර්ග වේ.
ගිලන්පස පූජාව
තිදොස සමනං දෙහ බලදං ආයුවඩ්ඩනං
ගිලානපච්චයං එතං පණීතං මධුරංසුචිං
මහාදයස්ස පූජෙමි කිලෙසාමයහරිනො- පුඤ්ඤෙනෙතෙන පප්පොමි සබ්බසඤ්ඤොජනක්ඛයං
වා පිත් සෙම්, යන තුන්දොස සමනය කරන්නා වූ බල වඩන්නාවූ ආයු වඩන්නා වූ පවිත්‍ර වූප්රණීත වූ සුමිහිරි වූ මේ ගිලන්පස සත්ත්වයන්ගේ කෙලෙස් මල දුරු කරන්නා වූ මහා කාරුණිකයාණන්වහන්සේට පූජා කරමි.ඖෂධීය පාන වර්ග අටක් පූජා කරන ගාථාවක් සඳහන් වෙනවා.
අධිවාසේතු නෝ භන්තෙ- අෂ්ට පානං පරිකප්පිතං
අනුකම්පං උපාදාය- පතිගංහාතු මුත්තමං
අෂ්ට පාන අතුරින් අෂ්ටපාන හා එයට සමාන වන කුඩා ඵලවලින් කරන ලද පානයක්ද භික්ෂුන්වහන්සේලාට විකාලයෙහි දිය හැක.
අෂ්ටපාන වෙනුවෙන් යුෂ ලබා ගන්නා පලතුරු වර්ග
1. අම්බ පානය- අමු අඹ ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
2. ජම්බු පානය-ඉදුණු ජම්බු ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
3. වෝච පානය- ඉදුන ඇටි කෙසෙල් ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
4. මෝච පානය- කෙසෙල් ගෙඩි ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර
5. මධු පානය- ඉදුන මිදි ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
6. මුද්දික පානය- ඉදුණු මිදි ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
7. සාලුක පානය- ඉදුණ හෝලු ගෙඩි ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
8. ඵාරුසක පානය -බොරලු හෙවත් මසන් ගෙඩි ඇල් දියෙන් මිරිකා පෙරා සීනි හෝ හකුරු මිශ්‍ර කර ගැනීම
අෂ්ටපාන පිළිබඳව ප්‍රථම වරට සඳහන් වන්නේ විනය පිටකයේ මහා වග්ගයේ චම්මඛන්ධකයේය. බුදුරජාණන්වහන්සේ කෙරෙහි පැහැදුන කේනිය ජටිලයන් උන්වහන්සේ උදෙසා සවස් කාලයේ කුමක් රැගෙන ආ යුතුදැයි ප්‍රශ්න කරනවා. එයට බුදුරජාණන්වහ්නසේ කේනිය ජටිලයා අමතා.
ජටිලය, අම්බ පාන, ජමබු පාන, චෝච පාන, මෝච පාන, මධුපාන, මුද්ධික පාන, සාලුක පාන හා චාරුසක පාන සුදුසු යැයි වදාල සේක. කෙසේ වෙතත් බුදුරජාණන්වහන්සේට පූජා කිරීම සඳහා මෙම පාන වර්ග අට අද සොයා ගැනීම අපහසු නිසා කැමැති පාන වර්ග අටක් පූජා කිරීම වරදක් නොවේ.
ගිලන්පස පූජාවේ ආනිශංස…
පිලින්දචච්ඡ තෙරුන්වහන්සේ විසින් ගිලන්පස පූජාවෙන් අනුසස් දහයක් ලැබූ බැව් අපදාන පාළියේ මේ අන්දමින් ප්‍රකාශ කර තිබේ.
භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී
අනුපද්දවො අනීතිච හොමි අපචිතො සදා
න මෙ පියවියොගොත්ථි තස්ස නිස්සන්දතො මම
(අපදාන පාළි)
දීර්ඝායුෂ ලැබීම, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය ලැබීම, උපද්‍රව නැති වීම, ගොවිතැන් පාලු වීම් ආදි ව්‍යසන නැති වීම, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නොවීම යන මේවාය.
මේ ගැනත් සිතන්න…
ඔබ බුදුරජාණන්වහන්සේ කෙරෙහි වූ මහත් ගෞරවාදර භක්තියෙන් යුක්තව ඖෂධ පූජාවක් කිරීමෙන් පසුව අදාල දේ නිසි පරිදි බැහැර කරන්න. බොහෝ දෙනෙක් ඖෂධ පූජාවෙන් පසුව ගිලන්පස අයින් කිරීමක් සිදු කරන්නේ නැහැ. පින්වත් පිරිස ඒවා මල් ආසන මත තබා ගිය පසු කෘමි සතුන් ගිලන්පස පූජාවට පැමිනෙනව. ඒ නිසා මේ සතුන් ගිලන්පස භාජනවලම මිය යනවා. මල් ආසන අපිරිසිදු වෙනවා. අද වනවිට රිලවුන් වැනි සතුන්ද පින්වතුන්ගේ ගිලන්පස භාජන ගැනීමට මල් ආසන මත ඇවිදිනවා.
කපුටන් වැනි සතුන් ඇවිත් මල් ආසන අපිරිසිදු කරනවා.නිවසට ආගන්තුකයෙකු පැමිණි විට ඔබ සංග්‍රහ කරනවා. එයින් පසුව එම භාජන ඔබ ඉවත් කරනවා. ඒ අන්දමින්ම ඖෂධ පූජාවකින් පසුව අදාල භාජනවල තිබෙන පැන් ඉවත් කරන්න. මේ ජීවමාන බුදුරජාණන්වහන්සේට කරන ලද පූජාවක් යැයි යන සිතුවිල්ල ඔබ තුළ ඇති වුණා නම් මෙවැනි වැරදි ඔබෙන් කිසිදු දිනක සිදු වන්නේද නැහැ.
ශාස්ත්‍රපති පුජ්‍ය
බෝගමුවේ ධම්මානන්ද
ස්වාමින්වහන්සේ
ශ්‍රි ධර්මරාජ පිරිවෙන,
පහළ මහයාය,
මහනුවර
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️