පරිසර හිතකාමී හැම දෙනාම ප්‍රතිචක්‍රිකරණය ගැන දැන සිටියත් පවතින සම්පත් උපයෝගී කරගෙන සහ ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීම Upcycling යනුවෙන් හඳුන්වනවා. මේ වගේ හරබර වචන නැති වුණත් අතීතයේ පටන්ම කාන්තාවන් බොහෝ දෙනෙක් මෙම Upcycling ක්‍රමවේදය ඔවුන්ගේ ජීවිතයේම කොටසක් ලෙසින් සලකනු ලැබුවා. නිවසේ භාජනයක් කැඩුණ බිඳුණ විට එහි යම් කොටසක් මල් පෝච්චියක් විදිහට භාවිත කිරීමට හුරු පුරුදුව සිටියා. ඇඳ ඇතිරිල්ලක් ඉරුණ විට එයින් අත්පිස්නාවක්, මේස දරණුවක් සකස්කර ගත්තා.
කිරුලපන පදිංචි සමන්ති සේරසිංහ මහත්මියට කලාව කියන සහජ හැකියාව බාළ කාලයේ පටන්ම තිබුණාය කිව්වොත් නිවරැදියි.. ඇය බම්බලපිටිය විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා එතැනින් පසුව රැකියාවක නිරත වුණා. කෙසේ හෝ වේවා ඇයගේ කලා හැකියාව එකකට සීමා වුනේ නැහැ. අත්කම්, මැහුම් නිර්මාණ වැනි විවිධ ශිල්පයන් ගැන නිපුනත්වයක් ඉබේම ලබාගත්තා.යම් ගුරුවරයකුගෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ 1991 වසරේ උගත් පැච් වර්ක් ශිල්පය පමණයි. අද වෙන විට ඇය ඉවත දමන බෝතල්වලින් විසිතුරු නිර්මාණ කරනවා.
මේ කලාවට ඔබ යොමුවුනේ කොහොමද?
මම පුංචි කාලයේ ඉඳලම චිත්‍ර අඳින්න ආසයි. විවේක ඇති හැම වෙලාවකම මම චිත්‍ර ඇන්දා. හදිසියේ මම අසනීප වුණා. ඒ නිසා හිත එකගකරගෙන, එක තැනක වැඩි වෙලාවක් නිරත වෙන්න අපහසුතාවක් ඇතිවුණා. අධික විවේකයත් මානසිකව එක්තරා ආකාරයක වෙහෙසක්.ඒ වගේම පුංචි කාලයේ ඉඳන්ම මම බෝතල්වලට කැමැතියි. විවිධ වර්ණ, විවිධ හැඩතල ඇති බෝතල් දැක්කාමත් මගේ හිතට ලොකු සතුටක් දැනුනා. දැන් මට වෙනත් දෙයක් කරන්න අපහසු නිසා බෝතල්වලින් විවිධ නිර්මාණ කරන්න හිතුවා.
ඔබ මේ නිර්මාණ කරන්නේ?
මම බෝතල් කපන ක්‍රමය ගැන යූ ටියුබ් එකෙන් ඉගෙන ගත්තා. එය ප්‍රවේසමෙන් කරන්න ඕන දෙයක්. මම බෝතල් කපලා විවිධ නිර්මාණ කරන්න කල්පනා කළා. මගේ හිතට විවිධ නිර්මාණ සිතුවිලි ආවා..
ඔබ විසින් කරන විවිධ නිර්මාණ ගැනත්?
මම බෝතල්වලින් වයින් සහ වතුර බොන වීදුරු සකස් කරනවා. ලොකු බෝතලයක් දෙකට කැපුවාම ඉහළ කොටස වයින් වීදුරුවක් විදිහටත් එහි පහළ කොටස වතුර බොන වීදුරුවක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විදුලි ලාම්පු ආවරණ, වින්ඩ්චයින් ආභරණ වගේ අලංකාර නිර්මාණ කරනවා. වීදුරු ආභරණ මධ්‍යධරණී රටවල නිෂ්පාදනය කරනවා.
ඒවා මිල ඉහළයි. අපේ නිවසේ තිබෙන සියලුම ලාම්පු ආවරණ මගේම නිර්මාණ. ඒවා මම බෝතල්වලින් සකස් කළ ඒවා. මේ වගේ නිර්මාණයකින් පසුව හිතට දැනෙන සතුට කියන්න වචන නැහැ. විදේශිකයන් පවා මේ නිර්මාණවලට හරිම කැමැතියි.වර්ණවත් බෝතල් ලැබුණාම නම් අලංකාර කිරීම අවශ්‍ය නැහැ. සුදු බෝතල්වලට නම් යම් යම් අලංකාරත් එකතු කරනවා.
මේවා අලෙවි කිරීම…
මම මේවා විනෝදාංශයක් විදිහට පටන් ගත්තේ. ලොකු වාණිජ අරමුණක් නැහැ. මගේ සමීප ඇසුරේ සිටින අයට තිළිණ විදිහට ලබාදෙනවා. දැන් නම් කොළඹ Good Market එකේ මගේ අලෙවි පොළක් පවත්වාගෙන යනවා. මේ අලෙවි පොළ හැම සතියකම තිබෙනවා. මම මාසයකට දෙවතාවක් මේ අලෙවි පොළට මගේ නිර්මාණ අරගෙන යනවා. මගේ බෝතල් නිර්මාණ ‘බෝතලේ’ යන නමිනුත් බෝතල් ආභරණ ‘ස්වර්ණාභරණ’ යන සන්නාමයෙන් අලෙවි වෙනවා.
ඔබ අතින් හදන සබන් ගැනත් හැකියාව තිබෙන අයෙක් නේද?
ඔව් මම Hand made සබන් නිෂ්පාදනය කරනවා. එය ‘Satin’ යනුවෙන් හඳුන්වා තිබෙනවා. මේ නිෂ්පාදන අතර මගේ අලුත්ම සබන් නිෂ්පාදනයක් තිබෙනවා. එය ඉවත දමන එහෙම නැත්නම් අපි මුළුතැන්ගෙයි කටයුතුවලදි බැදලා ඉවත දමන තෙල්වලින් සකස් කළ සබන් කැටයක්. මෙය අත් සේදීමට ඉතාම සුදුසුයි. අතේ තෙල්, කුණු හොඳින් ඉවත් වෙනවා.ඊට අමතරව මම විවිධ පලතුරු වර්ග යොදාගෙන සබන් හදනවා.
අලිගැටපේර, ගස්ලබු, මුරුංගා වගේ සබන් වර්ග හදනවා. මැන්ගුස් සබන් වර්ගය තවමත් කිසිම රටකවත් නිෂ්පාදනය කරල නැහැ. මේ සබන් අතේ සකස් කරන නිසා අලෙවි කිරීමට තරම් පරිමාවක් නැහැ. සුළු ප්‍රමාණයකින් නිස්පාදනය කිරීම සිදුවනවා. මේ සබන් නිෂ්පාදනත් Good Market හි අලෙවි කරනවා.
ඔබ ලැබූ සම්මාන…
අද පරිසරය පිළිබඳ විශාල වශයෙන් ගැටලු තිබෙන යුගයක්. ජීර්ණය නොවන දේවල් බැහැර කිරීම හැම දෙනාටම ප්‍රශ්නයක්. නමුත් ඉවත දමන දෙයින් තවත් නිර්මාණයක් සකස් කරගැනීමට අපි ඉගෙන ගත්තොත් පරිසරය ආරක්ෂා වෙනවා. ඒ වගේම අපේ විවේක කාලයත් ලලදායක විදිහට යොදවන්න පුළුවන්. මේ විදිහට මගේ Upcycling නිර්මාණ වෙනුවෙන් 2022 වසරේ Good Market විසින් ප්රදානය කරන ලබන සම්මානය ලබාගත්තා.
ඔබේ කලා නිර්මාණ වෙනුවෙන් පවුලෙන් ලැබෙන සහයෝගය?
කලාව තියෙන්නේ මගේ අතේ සහ ඇසේ. සමහර විට මට වුණත් එකම විදිහේ කලා නිර්මාණ දෙකක් කරන්න බැහැ. එකකට එකක් වෙනස් වෙනවා. ඒ නිසා නිර්මාණ කරන විට පවුලේ අයගෙන් සහයෝගය ලබාගැනීම නම් අපහසුයි. නමුත් බෝතල් පිරිසිදු කරන, අලෙවියට ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය වැනි කටයුතුවලදී මට පූර්ණ සහයෝගය මගේ සැමියාගෙන් සහ දරුවන්ගෙන් ලැබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️