චලනි වාසල
අඳුරු වළාකුලක රිදී රේඛාවක් තිබෙන බව ඔබ අසා ඇති. අන්න ඒ වගේ කුරුණෑගල, නාරම්මල චලනි වාසල තමන්ගේ ජීවිතයට එළැඹුන අවපීඩන මානසිකත්වය ඉතා අපූරු විදිහට රිදී රේඛාවක් කරගත්තා. එයින් ඇගේ මානසික සුවතාවය පමණක් නෙවෙයි අද වනවිට ඇය ව්‍යවසායිකාවක් විදිහටත් තමන්ගේ ජීවිතය ගොඩ නගා ගනිමින් සිටිනවා.
ඔබ කවුද ?
කුරුණෑගල නාරම්මල පදිංචි මම නාරම්මල මහා විද්‍යාලයෙන් පාසල් ගමන පටන් ගත්තා. උසස් පෙළ සඳහා මම නාරම්මල මධ්‍ය මහ විද්‍යාලයට ඇතුලත් වුණා. ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව හරිත විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ගෘහ අලංකරණය උපාධිධාරිනියක ලෙසින් මගේ ජීවිතය ගොඩ නගා ගන්න අරමුණකයි හිටියේ.
ඔබ මේ ඩිජිටල් චිත්‍ර කලාවට යොමු වුණේ කොහොමද?
මම පාසල් කාලයේදී ඒ කියන්නේ 10 සහ 11 වසරේදී විෂයක් විදිහට චිත්‍ර හැදෑරුවා. මගේ ඉලක්කය තිබුණේ ඉංජිනේරු අංශයෙන් නිසා චිත්‍ර අඳින්න යොමු වුණේ නැහැ. නමුත් දියසායම් වගේ දේවල් භාවිත කරමින් මම කුඩා කාලයේ පටන්ම චිත්‍ර ඇන්දා. විවේක වෙලාවට හිත නිදහස් වෙන්න කැන්වස් අරගෙන චිත්‍ර ඇන්දා.විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මගේම කියල ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ අභ්‍යන්තර අලංකරණය පිළිබඳ ආයතනයක්. නමුත් කොරෝනා සමග අපි හැම දෙනෙක්ම හුදෙකලා වුණා.
කොරෝනා නිසා මගේ ආයතනයත් වැහුනා…
ඒ කාලයේදී මම දරුණු විදිහට මානසිකව වැටිලා හිටියේ. කොටින්ම කිව්වොත් මම කාමරයට කොටු වෙලා කාත් එක්කවත් කතා බහ නොකොට හුදෙකලාව කාලය ගෙව්වා. ඔය අතරේ මගේ ස්කෙච් පොතේ චිත්‍ර අඳින්න පටන් ගත්තා. මම ගෘහ නිර්මාණ ශිල්පය කළ හින්දා මේ චිත්‍ර අඳින්න අවශ්‍ය උපකරණත් මට තිබුණා. මේ අතරේ මගේ චිත්‍ර ෆේස් බුක් එකේ දැම්මාම හොඳ ප්‍රතිචාර ලැබුණා.නමුත් මේ ස්කෙච් චිත්‍ර මම ඇඳලා තියාගෙන හිටියා විතරයි ප්‍රදර්ශනයක් වුණේ නැහැ. පස්සේ මම ලැප්ටොප් එකෙන් චිත්‍ර අඳින්න ගත්තා. එතැනින් පසුව මගේ චිත්‍ර බොහොම ආකර්ශණීය විදිහට සමාජ මාධ්‍යවල හුවමාරු වෙන්න පටන් ගත්තා.
Heal Journey
මගේ චිත්රවලට හොඳ වටිනාකමක් ලැබුණා. මේ අතර විදේශ රටක මානසික උපදේශක පුද්ගලයෙක් මගෙන් චිත්‍රයක් ඇඳල ඉල්ලුවා. ඒ චිත්‍රය මානසික සුවතාවය වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝගීන් වෙනුවෙන් වූ එකක්. මේ චිත්‍රය “heal journey ” යනුවෙන් නම් වුණා. මේ චිත්‍රය අඳින්න මට පැය දෙකහමාරක පමණ කාලයක් ගත වුණා.
ඇත්තටම මේ චිත්‍රය සමග මගේ මනසත් සුවපත් වුණා. මේ චිත්‍රයට මට ලොකු මුදලක් ලැබුණා. මම ඒ වෙන තෙක් චිත්‍ර ඇඳලා මුදල් හොයන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම චිත්‍ර අඳිනවා කියන්නේ ලොකු නිධානයක් නේද කියල මට හිතුනා. අම්මා මට Ipad එකක් අරගෙන දුන්නා. එතැනින් තවත් මගේ චිත්රවලට ඉල්ලුමක් ලැබුනා.
ළමා කතාවලට චිත්‍ර අඳින්න පටන් ගත්තා…
මේ අතරේ විදේශ රටක ලේඛකයෙක්ගෙන් මට ළමා කතාවලට චිත්‍ර අඳින්න අවස්ථාව ලැබුනා. මම දැන් ගොඩක් පිටරට ලේඛකයන්ගේ පොත්වලට චිත්‍ර අඳිනවා. එය දේශීය සහ විදේශීය කියල වෙනසක් නැහැ.
යම් ලේඛකයෙක් කථාව එව්වාම ඊට අදාල චිත්‍ර සහ පිට කවරය මම සකස් කරනවා. ඩිජිටල් චිත්රවලින් ළමයින්ට ලොකු ආකර්ශණයක් ඇති වෙනවා. ඒ නිසා ළමා පොත්වලට චිත්‍ර අඳින්න මට ඉල්ලුමක් ඇති වුණා.
අද්භුත කතාන්දර…
මම කවදත් අද්භූත කතාන්දරවලට කැමැතියි. මිථ්‍යා කතා, හොයන්න මම කැමැතියි. ඒ නිසා මම කතාව කියන ගමන් චිත්‍රය අඳින්න පටන් ගත්තා. මගේ “ මහසෝනා ”, “ මෝහිනි” චිත්රවලට හොඳ ප්‍රතිචාර ලැබුනා.
මුල්ම ටික් ටොක් එක…
මම 2023 වසරේ මැද වගේ මම ටික්ටොක් පටන් ගෙන තිබුණත් ඒ ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. මම අඳින දෙයක් දානවා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. 2023 වසරේ මම ජීවිතයේ ඉලක්කයක් ගොඩ නගා ගත්තා.
මගේ උපන්දිනය දෙසැම්බර් 23. එදා මම හිතුවා 2024 ජනවාරි ඉඳන් මම අරමුණක් සහ ඉලක්කයක් අනුව මගේ කටයුතු කරනවා. මම සැලසුමක් හැදුවා. කාල රාමුවක් ගොඩ නගා ගත්තා. මුලින්ම කිරි උතුරවන චිත්‍රයක් ටික්ටොක් ඔස්සේ මුදා හැරියා. ඒකට ලයික් 10,000 ක් ගන්න සැලසුම් කළා. නොසිතපු විදිහට මට ලක්ෂයක ලයික් ලැබුණා. දිගින් දිගටම Fllowersලා වැඩි වෙන්න ගත්තා. පෙබරවාරි වනවිට fllowersලා 10,000 ක් වුණා.
දැන් ඊටත් වඩා ඉන්නවා…
අද වනවිට මම ඩිජිටල් චිත්‍ර පංති පවත්වනවා. චිත්‍ර ඇඳලා මනස සුවපත් කර ගන්න කැමැති ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. වයස අවුරුදු 15, 16 ට ඉහළ අය වගේම විදේශගතව සිටින අපේ රටේ අය. ඒ වගේම පාසල් දරුවනුත්, විශ්වවිද්‍යාල අධ්‍යපනය ලබන සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ අයත් මගේ පංතියේ ඉන්නවා. මම මේ අය වෙනුවෙන් Work Shop පවත්වනවා. සමහර අය මටත් වඩා වැඩිමල්.ඇනිවසරි උත්සව වෙනුවෙන් චිත්‍ර නිර්මාණය කරනවා. මේ විදිහට මගේ ව්‍යාපාරය දැන් විවිධ පැති ඔස්සේ දියුණු වෙමින් පවතිනවා.
එතකොට ඔබේ සන්නාමය Chala’s diary විදිහට නම් කළේ ඇයි…?
මම මුලින්ම චිත්‍ර ඇන්දේ ස්කෙච් පොතක. ඒ නිර්මාණ නිසා සමාජය මාව අඳුනා ගත්තා. මගේ ජීවිතයටත් එය හැරවුම් ලක්ෂයක් වුණා. මම දැඩි මානසික පසුබෑමකට පත්ව සිටි අයෙක්. නමුත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ජීවිතයේ සාර්ථක ගමන් මගක් තෝරා ගෙන තිබෙනවා.
මේ වෙනස ඔබ දකින්නේ කොහොමද…?
මම බොහෝ කාලයක් සමාජයට ඕන විදිහට ජීවත් වුණා. මම ජීවත් වුණේ අනුන් සතුටු කරන්න. මට සතුටක් තිබුණේ නැහැ. නමුත් පසුව මගේ මේ ජීවන රටාව මම විසින්ම වෙනස් කර ගත්තා. ඔවුන් කවුද…? කියන එක මට අදාල වුණේ නැහැ. මට අවශ්‍ය විදිහට මගේ ජීවිතය හැඩ ගසා ගත්තා. මට හොඳයි කියන දේ මම තෝරා ගත්තා. හැබැයි එය හරි දෙය විය යුතුයි. හරි දේ කරන්න මුරණ්ඩු වුණාට කමක් නැහැ. නමුත් එය තීරණාත්මකයි. මුරණ්ඩු වෙලා වැරදි දෙයක් කිරීම සුදුසු නැහැ. මම ජීවිතය ජය ගත්තේ මට හරි කියල හිතෙන දේ මගේ උත්සාහයෙන් සහ කැපවීමෙන් ඉදිරියට ගෙන ගිය නිසාම බව කියන්නම ඕන.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️