ගෑණු ළමයි, කළ යුතු නොකළ යුතු යැයි සම්මත පවුරු බැදගත් දේවල් සමාජයේ තිබුණත් එම පවුරු බිද දමමින් තම ජීවීතය සාර්ථක කරගන්න හදන තරුණියක් අපට හමුවුණා. ලී නිර්මාණය කරමින් වඩු කර්මාන්තයේ නිරතව සිටින ඈ ගැනයි මේ….
මෙච්චර ලස්සනට ලී නිර්මාණ කරන ඔයා කවුද?
මම සුභාෂිණි කුලරත්න. නුවර තලාතුඔය ඉන්නෙ. මට වයස 27 ක් වෙනවා. මම O/L කළේ අංපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේන්. විද්‍යා අංශයෙන් මම A/L කළේ හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙන්. A/L ඉවර වුණාම අනුරාධපුර සහ කුණ්ඩසාල කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුලත් වෙලා කෘෂිකර්ම හා ආහාර තාක්ෂණය NVQ 5, 6 ඩිප්ලෝමා සම්පූර්ණ කළා. දැනට මම වයඹ විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් ඉන්නව.
මොන කාලේ වගේද ඔයා මේ ලීවලින් නිර්මාණ කරන්න ආරම්භ කළේ?
දැනට අවුරුද්දකට විතර කළින් තමයි මම පටන් ගත්තේ. මුලින්ම පොඩි පොඩි නිර්මාණ කරන්න ගත්තේ. කට්ටිය ඊටපස්සෙ සල්ලිවලට නිර්මාණ මිලදි ගත්තා. එතකොට මට හිතුණා මේක ලොකුවට කරන්න ඕනෙ කියලා. ඊයේ මම ෆෙස්බූක් එකවුන්ට් එකක් හදලා නිර්මාණ විකුණන්න ගත්තා.
කොහොමද ඉගෙනගත්තේ මේ ලී නිර්මාණ කරන්න?
අප්පච්චිට තිබ්බේ ලී මඩුවක්. ඒක තිබුණේ ගෙදර යට තට්ටුවේ. මම පුංචී කාලෙ ඉදන්ම ඒ නිර්මාණ කරන හැටි දැක්කා. ඒ කාලෙම කැටයම් කපන වැඩවලට මම උදව් කළා.
පස්සේ ඉගෙන ගන්න වැඩත් එක්ක ඒ දේවල් මට මඟහැරුණා. විශේෂයෙන් කියල ලීවලින් නිර්මාණ කරන්න මම ඉගෙන ගත්තේ නැහැ. තනියෙම තමයි පුරුදු වුණේ. මම හදන නිර්මාණවල අඩුපාඩු තාත්තා තමයි පෙන්නලා දුන්නෙ.
මොනවගේ ලී නිර්මාණ ද හදන්නේ?
ඕනේම නිර්මාණයක් කරනවා. ලී බඩු නිර්මාණ ඕන එකක් පුළුවන්. පිඟන් කෝප්පවල ඉඳලා නිවසකට අවශ්‍ය සියලු ලී නිර්මාණ මම හදනවා. දොර ජනෙල් වුණත් හදනවා. අල්මාරි, හෝම් ඩෙකරේෂන් අයිටම් හදනවා .
ආරම්භයේදි ලැබුණු අභියෝග මොනවද?
ලොකුම අභියෝගය වුණේ ගැණු ළමයෙක් වීම. ලී නිර්මාණ කරන ගෑණු ළමයි අඩුයි. ගොඩාක් අය කිව්වා මෙච්චර ඉගෙන ගෙන මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා. ඔයාට ගැළපෙන්නේ නැහැ කියලා.
ගොඩාක් අය හිතන්නෙ වඩුවැඩ කිව්වාම නූගත් රැකියාවක් කියලා. මිනිස්සු මොනවා කිව්වත් මම ගණන් ගත්තේ නැහැ. දැන් නම් එයාලගෙන් වුණත් යහපත් ප්‍රතිචාර තියෙනවා. ගොඩාක් අය අගය කරනවා. මට මැෂින් තිබ්බෙත් නෑ. ඒවත් මට අභියෝගයක් වුණා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා. අප්පච්චි තමා මගේ ලොකුම හයිය. මේ ලී නිර්මාණ කරන්නේ කොහොමද කියලා හැමදේම මට කියලා දුන්නේ අප්පච්චි. මල්ලි, අම්මා, නංගි හැමෝම මට ලොකුසහයෝගයක් දෙනවා.
ගෑනු ළමයෙක් විදිහට මෙච්චර සාර්ථක ගමනක් ඇවිල්ලා සමාජයට දෙන පණිවිඩය මොකක්ද?
ඔයාට මේ වගේ දෙයක් කරන්න හිතුණොත් හිත හිත ඉන්න එපා. අනිවාර්යයෙන්ම කරන්න. අපි කරන්නේ හොඳ දෙයක් නම් සමාජයෙන් මොනවා කිව්වත් සැලෙන්න එපා. ටික කාලයක් යද්දි එයාලත් ඔයාට සපෝට් කරයි. අභියෝගයක් කියලා හිතෙන තැන්වලට මුහුණ දෙන්න ශක්තිමත්ව.
නිපුනි සම්මානි ✍️