“මේ ගෙවෙන්නෙ දෙසැම්බර් මාසයයි. වසර අවසානේ දෙසැම්බර්වලට පරිසරයත් හරි ලස්සනට හැඩවෙනවා. ගස් කොළන්වල දලු ලිය දාල මල් පිපිලා පරිසරය නැවුම් වෙනවා. ඒ ලස්සනට නොදෙවෙනි වෙන්න හැම ගෙදරකම වගේ නත්තල් ගහක් හදල ලයිට් වැල් එල්ලල ලස්සන කරනවා. හැම අතින්ම ඇහෙන්න ගන්නේ කැරොල් ගීතවල සද්දේ. වෙන මොකටවත් නෙවෙයි ජේසුස් ක්රිස්තුස්තුමාගෙ උපන් දිනය සමරන්න. කතෝලික භක්තිකයන් නොවුණත් වෙනත් ආගම්වල අය පවා ගෙදර නත්තල් ගහක් හදන්න අමතක නොකරන තරමට කාටත් නත්තල සුන්දර කාලයක්. ඉතින් මේ නත්තලේ සහජීවනය ගැන කිව්වේ හිටපු කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව පියතුමන් සහ උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේයි.”
ස්වාමීන් වහන්ස, පියතුමනි ඔබ දෙපළටම මේ සැරේ නත්තල දැනෙන්නේ කොහොමද?
උඩුවේ ධම්මාලෝක හිමි – අපි හැමෝම සතුටින් ඉන්න කැමතියි. දුකින් ඉන්න කැමති නැහැ. සතුට හරි දුක හරි අපිට ලැබෙන්නේ හිතන පතන විදිය අනුව. අපි නිතරම පොසිටිව් විදියට කල්පනා කළොත් සතුට ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. අපට මේ ධනාත්මක චින්තනය හරි විදියට කියල දෙන මෙවලමක් තමයි ආගම කියන්නේ. ලෝකයේ ඇත්ත ඇති හැටියෙන් දකින්න ආගම උපකාර වෙනවා.
මේ ආගම් නිසා සංස්කෘතීන්ද නිර්මාණය වෙනවා. සංස්කෘතියෙනුත් අපට අවශ්‍ය බොහෝ දේ සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒත් නිකං ඉඳල අපට ඒ දේවල් ළඟා කරගන්න බැහැ. ආගමෙන් උගන්වන පිළිවෙත් ජීවිතයට එකතු කරගන්න ඕන. කතෝලික වේවා, බෞද්ධ වේවා හැම ආගමක ජීවිතයට එකතු කරගන්න වටින දේවල් තියෙනවා. ඒ දේවල් පිළිපදින්න ඕන. නත්තල කතෝලික භක්තියන්ට වැදගත් කාලයක්. මේ නත්තල් කාලය වෙනදට වඩා ලස්සන වෙන්නේ මිනිස්සු ඒ හොඳ දේවල් ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන නිසා.
ලාල් පුෂ්පදේව පියතුමන් – මේ පාර නත්තල ගිය අවුරුද්දේ නත්තලට වඩා ටිකක් වෙනස් විදියටයි මට දැනෙන්නේ. ගිය අවුරුද්දේ නත්තල් උත්සවයේ සුන්දරත්වය මම වින්දේ ලංකාවේ ඉඳන්. ඒත් මේ අවුරුද්දේ මම ඉන්නේ ඉතාලියේ. ලංකාවෙන් ඈත නොදන්න රටක ඉන්න නිසා නත්තල් උත්සවය මට හරි වෙනස් විදියට දැනෙනවා. ඇත්තටම නත්තල කියන්නේ කතෝලික භක්තියකුට සුන්දර සිතුවිලි සිතට එන කාලයක්. නත්තල් කාලෙට පරිසරයත් ලස්සනට හැඩවෙනවා.
මම ඉන්නේ ඍතු වෙනස් වෙන රටක. කාලයකදි හිමෙන් වැහෙන, ඒ හිම දිය වෙලා හිරු එළිය වැටෙන, වෙනස් කාලගුණ තත්ත්ව ඇතිවෙන ස්වාභාවයක් මෙහේ තියෙනවා. මේ වෙනස්වීම් එක්ක තමයි නත්තල් කාලයත් මිනිස්සුන්ට සමීප වෙන්නේ. දැන් මේ වෙද්දී තියෙන්නේ වසන්ත සෘතුව. ගස්වල හරිත පාට වෙනස් වෙලා කහපාට, රතුපාට වගේ පැහැයන්වලට වර්ණ ගැන්විලා කොළ බිමට හැලිල අතු විතරක් ඉතිරි වෙන තරම් පරිසරයේ වෙනස් වීම් වෙනවා. මේ පරිසර වෙනස්වීම් අතරින් හරි ලස්සන පණිවිඩයක් දෙසැම්බර් මාසෙදි අපට කියනවා. ඒ තමයි ජේසුස් වහන්සේගේ උපත. මේ අවුරුද්දේ මට ඒ හැගීම වෙනදට වඩා ටිකක් වෙනස් ඒත් සුන්දර අත්දැකීමක් විදියට දැනෙනවා.
ස්වාමීන් වහන්ස, පියතුමනි අද අපි සමරන්නේ සැබෑ නත්තලක්ද?
උඩුවේ ධම්මාලෝක හිමි – මම හිතන්නෙ නැහැ මිනිස්සු පවුල, සමාජය, සංස්කෘතිය අභිබවා යන්න පෙළඹෙන එක්තරා වැඩසටහනක් වෙලා නත්තලත්. ඒත් සැබෑ නත්තල කියන්නේ ඒක නෙවෙයි. සැබෑ නත්තල තුළ ආදරය කරුණාව දානය ප්‍රිය වචනය, අර්ථ චරියාව තියෙන්න ඕන. ඒත් මේ දේවල් අද වෙද්දී ජීවිතයට එකතු කරගෙන හරියට පිළිපදිනවද කියන එක ගැටළුවක්. මේ ගැන දැනුවත්වීමක්ද බොහෝ දෙනාට නැහැ. නත්තලේ සැබෑ අර්ථය තේරුම් ගත්තෙ නැති වුණොත් එය හුදෙක් උත්සවයක් පමණක් වෙනවා.
ලාල් පුෂ්පදේව පියතුමන් – කතෝලික ජීවිතයේ මූලික හරය තමයි පාස්කුව. නත්තල කියන්නේ දෙවියන් වහන්සේ මනු කයක් අරගෙන මේ ලෝකට පැමිණීම. පාස්කුව යන වචනයේ අර්ථය තමයි එතෙරවීම. ඒ එතෙරවීම මනුෂ්‍යාට ලබා දෙන්න තමයි උන්වහන්සේමේ ලෝකයට පැමිණෙන්නේ. කිතුනු අපට නත්තල් උත්සවය වඩා වැදගත් වෙන්නේ පාස්කුව. අද වෙද්දී මේ නත්තල් උත්සවය කතෝලික සභාව උගන්වන ආගමික සිද්ධාන්තවලින් තරමක් එහාට ගිහින් වාණිජ පරමාර්ථ ඔස්සේ සැමරීම සිදු වෙනවා. හුදෙක් උත්සවයකට පමණක් සීමා වෙලා තියෙනවා. මාධ්‍යය මඟින් මේ වාණිජකරණය තවදුරත් උලුප්පාලීමක් කරනවා. නත්තලෙන් දෙන සැබෑ පණිවිඩය අද මිනිස්සුන්ගෙන් ඈත් වෙලා. ඒ නිසා අද වෙද්දී සැබෑ නත්තල වහලා ආටෝපවලින් පිරුණු උත්සවයක් විදියට සමරනවා.
පියතුමනි ස්වාමීන්වහන්ස ඔබ දෙපළටම ළමා කාලේදී නත්තල දැනුනේ කොහොමද?
ලාල් පුෂ්පදේව පියතුමන් – මගේ ගම මීගමුව. මට අක්කල තුන්දෙනෙක් ඉන්නවා. මම තමයි ගෙදර බඩපිස්සා. අපේ ගේ ඉස්සරහ තමයි ගමේ පල්ලිය තිබුණේ. පල්ලිය කැපකරල තිබුණේ අන්තෝනි මුනින්ද්රවරයාට. පල්ලියත් එක්ක ලොකු බැදීමක් පොඩි කාලේ ඉදන්ම මට තිබුණා. මම අවුරුදු අටේදී දිව්‍යසත්ප්‍රසාද ජේසුව ලබනවා. ඉන් අනතුරුව මම පූජාවට උදව් වෙන දරුවෙක් විදියට කාලය ගත කළා.
පුංචි කාලේ නත්තල ළං වෙද්දී කලින් ඉදන්ම සූදානම් වෙනවා. මට මතකයි නත්තල් ගවලෙන හදන්න තාත්තට කියල පිදුරු මිටි ගෙන්න ගන්නවා. ඒ ගවලෙන හදන්නෙත් තනියම. ඒ වගේම නත්තල් කැරොල්වලට යනවා. ඒ කැරොල්වලට යන්නේ කණ්ඩායම් විදියට එඩේරන්, ජුසේතුමා, මරියතුමිය විදියට ඇදගෙන ගම වටේම. එහෙම හැම ගෙදරකටම ගිහින් කැරොල් ගායනා කරනවා.
කැරොල් ගී කිව්වම අපට ඒ අය සතුටු වෙලා කෑමෙන් බීමෙන් සංග්‍රහ කරනවා. අපි කරත්තයක් සරසගෙන තමයි කැරොල් කියන්න යන්නේ. මම පුංචි කාලේ වින්ද මේ අත්දැකීම් අද වෙද්දී නම් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ සුන්දර මතක නිසා බිළිඳු ජේසුට පුංචි කාලේ ඉදන්ම මම ආදරේ කළා. ඒ ආදරය නිසා ආදරණීය ජීවිතයකට හැඩගැසුණා. අදටත් ඒ මතකයන් හරිම සුන්දරයි.
උඩුවේ ධම්මාලෝක හිමි – ඇත්තටම මම පුංචි කාලේදී නත්තල දැක්කේ නැහැ. නත්තල් ගස්වල සැරසිලි කරල දේවස්ථානය ගිහින් ගීතිකා කියනවා දැක්කෙ නැහැ. එහෙම සමරන කතෝලික භක්තිකයන්ව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා නත්තල ගැන ලොකු වැටහීමක් තිබුණේ නැහැ. ඒක නිවාඩු දිනයක් විදියට තමයි දැනුණේ.
කිතුනු අයටත් බෞද්ධ අයටත් නත්තල වැදගත් ඇයි ?
උඩුවේ ධම්මාලෝක හිමි – ලෝකය කියන්නේ විවිධත්වයෙන් පිරුණු විශ්ව ගම්මානයක්. ඒ විවිධත්තවය බෞද්ධයන් දකින්නේ විචිත්‍රත්වයක් විදියට. බෞද්ධයා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථෙයන්ම කරණීයමෙත්ත සූත්‍රය සජ්ඥායනා කරන ප්‍රායෝගිකව පුහුණුවන පිරිසක්. ඒ නිසා ආදරය, කරුණාව, ආදී ගුණධර්ම ප්‍රගුණ කරගෙන අනෙකාට උදව් කරන්න ඕන. ජේසුස් වහන්සේ ඉපදී කියාදුන්නෙත් ආදරය, කරුණාව, මෛත්‍රිය, මුදිතාව වැනි වටිනා ගුණධර්මයන්. ඒ නිසා ඒ ගුණදහම් පුහුණු කරන කවුරුන් වුවත් අපට වැදගත්.
ලාල් පුෂ්පදේව පියතුමන් – කිතුනු භක්තියෙක් විදියට නත්තල වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ මනු රුවක් රැගෙන මේ ලෝකයට පැමිණීම නිසා. උන්වහන්සේගේ පැමිණීමේ අරමුණ තමයි අපට ස්වර්ගයට යන මාර්ගය කියල දීම. අපි ඉන්නේ කෙටි කාලයක් ඉන්න පුළුවන් නවාතැනක. ඒත් අපි උත්සාහ කරනවා මේ නවාතැන සදාකාලි නවාතැනක් කරගන්න.
මේ කාලේදී අපි හොඳයි නරකයි දෙකම ජීවිතේට එකතු කරගන්නවා. මේ කෙටි ජීවිතය තුළ හොඳ දේවල් එකතු කරගන්න ගමන් යහපත් ලෙස ජීවත් වෙන්න ඕන. ඒත් අපි විදින්න තියෙන ජීවිතේ විදවනවා අයහපත් වැඩ කරල. ඒ නිසා කතෝලික පියතුමෙක් විදියට මට නත්තල වැදගත් වෙන්නේ යහපත් දේ කරන්න හරි මාර්ගය කියල දෙන නිසා.
ස්වාමීන් වහන්සේ මේ දවස්වල මොකද කරන්නේ?
කායිකව වගේම මානසිකවත් සැහැල්ලු ජීවිතයක් තමයි ගත කරන්නේ. විවේකී සුවයෙන් සිටින ගමන් ලෝකය වෙනුවෙන් සේවය කරනවා. මේ වෙද්දී මම ඉන්නේ එක්සත් රාජධානියේ. එහි සිටින ජනයාට සතුටින් ධාර්මිකව ජීවිත් වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. ඒ වගේම බුදු දහමේ හරය පහදා දෙමින් ධර්ම දානය සිදු කරනවා.
පියතුමා මේ දවස්වල මොකද කරන්නේ?
මම මේ දවස්වල ඉන්නේ රෝමයේ නිර්මල මරිය නිකායේ ප්‍රධාන නිවාසයේ. විවිධ රටවල් වලින් උසස් අධ්‍යාපනයට පැමිණි පියතුමන්ලත් මාත් එක්ක ඉන්නවා. මේ දිනවල මම සැලේශියන් පොන්ටිපිකල් සරසවියෙන් මගේ දෙවැනි ආචාර්ය උපාධිය ජනසන්නිවේදන විෂය ක්ෂේත්රයෙන් වැඩිදුර හදාරනවා.
ස්වාමීන් වහන්ස, පියතුමනි අලුත් අවුරුද්ද වෙනුවෙන් මොනවගේ පණිවිඩයද ශ්‍රී ලංකාවාසීන්ට ඔබදෙපළ දෙන්නේ?
උඩුවේ ධම්මාලෝක හිමි – වසර ගනනාවකින් හරි විදියේ අලුත් අවුරුද්දක් ශ්‍රී ලංකාවාසීන්ට නොලැබීම කණගාටුවට කරුණක්. හේතුව කාලය, ජීවිත කළමණාකරනය කරගන්න පුරුදු වෙලා නැතිකම. උපදෙස් දුන්නත් ඒ දේවල් ජීවිතයට එකතු කරගන්නෙ නැහැ. හිතුමනාපයටයි වැඩ කරන්නේ. ඒත් ඒ ව්දියට හිතුමනාපයට ගන්න තීරණවලින් සිදුවෙන්නේ අනර්ථයක්මයි.
සමස්ථ ගැහුනු, පිරිමි, ගිහි, බාල, මහලු, මේ හැමදෙනා තුළම උත්සාහය වීර්යය නැහැ. ඉලක්කයක් නැහැ. සෑම දෙයක්ම ලබා ගන්න හදන්නේ කෙටි ක්‍රමවලින්. ඒ තුළින් බාල පරම්පරාවටත් ලබා දෙන්නෙ වැරදි ආදර්ශයක්. අනාගත පරම්පරාවට සකස් කරන්න කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ. මේ යථාර්තය තේරුම් අරගෙන නිවැරදිව කටයුතු කිරීම එළඹෙන අවුරුද්දේ සියලු දෙනාටම ඇති අභියෝගයයි.
ලාල් පුෂ්පදේව පියතුමන් – 2025 එළඹෙන ජුබිලි අවුරුද්ද ලංකාවට හරිම වැදගත්. දැනට ලංකාවේ තියෙන සමාජ දේශපාලනික වටපිටාවත් එක්ක එළඹෙන අවුරුද්ද අභියෝගාත්මකයි. අපට තිබුණේ රන් අකුරින් ලියන්න පුළුවන් ප්‍රෞඪ ඉතිහාසගත රටක්. ඒත් අද වෙනකොට දූශිත දේශපාලනය නිසා අපේ රට බංකොලොත් වෙලා.
අවිවාදයක් නෑ ඒකට හේතුව රටේ නායකයයින්. පරම්පරා දහයකටවත් ගෙවල ඉවර වෙන්න බැරි තරම් ණය ගත්තේ සාමාන්‍ය මිනිස්සු නෙමේ. ඒත් ණය බර පැටවෙන්නෙ මිනිස්සුන්ගේ කර උඩට. කණගාටුවට කරුණ ඒ ණය ගත්ත දේශපාලකයන් සුර සැප විදීමයි. නිදහස ලබද්දී අපේ රට ආසියාවෙන්ම දෙවැනි තැනට තිබ්බා. ඒත් දැන් ඒක වෙනස් වෙලා. මේ දූෂීත පාලනය මුලින් උදුරල දාන්න මිනිස්සුන්ගේ ආකල්ප හදන්න අරගලය හේතු වුණා.
දැන් තියෙන්නේ අලුත් පාලනයක්. අපි ටිකක් ඉවසල ඉන්න ඕන අලුත් ආණ්ඩුව වැරදි අඩුවෙන් කරල නීතියට ගරු කරන සදාචාරාත්මක රටක් නිර්මාණය කරන්න උත්සාහ කරනවනම් ඒ දේට සහයක් වෙන්න ඕන. මාවෝසේතුං චීනය නිර්මාණය කරද්දී කිව්වේ අවුරුදු දෙකක් දුක් විදිමු ඒත් ඒ කටු මතින් හොඳ රටක් ගොඩ නගමු කියල.
පවනි දිලේකා ✍️