විශාදය එහෙමත් නැත්නම් ඩිප්රෙෂන් සමාජයේ ජනප්‍රිය වචනයක්. නමුත් වර්තමානයේදී මිනිස්සුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් මේ විෂාදය කියන දේ ඇති කරලා තියෙනවා. විෂාදය කියන මානසික තත්ත්වය ඇතිවෙන්නෙ කොහොමද? කෙනෙක් විෂාදයෙන් ඉන්නවා නම් දැනගන්නෙ කොහොමද සහ එහෙම කෙනෙක්ට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව දැනගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම ඔබට වුණත් මේ මොහොතේ විෂාදය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්න පුළුවන්.
විෂාදය ගැන අපි දන්න කරුණු කාරණා කිහිපයක් තියනෙවා. නමුත් පුද්ගලයා අනුව රට, ජාතිය සහ විශ්වාසයන් අනුව විෂාදයේ ඇතැම් රෝග ලක්ෂණ සහ ස්වභාවයන්වල යම් වෙනස්කම් සිද්ධ වෙනවා. විෂාදය කියන දේ ගැන අපි දන්නෙ එය දුක්මුසු බවක් ගෙනදෙන මානසික අවපීඩන තත්ත්වයක් විදිහට. විෂාදය තියෙන අය නිතරම අඬමින්, දුකින් ඉන්න අය කියලා අපි හිතාගෙන හිටියත් දරුණු ලෙස විෂාදයෙන් පෙළෙන අය ඉන්නවා සිනාමුසු මුහුණක් ආරෝපණය කරගෙන. ඒ අය අනිත් අයට පෙන්නන්නෑ තමන් විෂාදයෙන් ඉන්නවා කියන එක. අනිත් අයට දැනගන්න විදිහකුත් නෑ ඒ කෙනාට විෂාදය කියලා…
මේ අය විෂාදය වහගෙන වෙස් මුහුණක් පැලඳගෙන ඉන්නේ. නමුත් ඔවුන් ටිකෙන් ටික උග්‍ර තත්ත්වයකට පත්වෙලා එක්තරා මොහොතකදි ගිනි කන්දක් වගේ පුපුරලා යනවා. ඒ පුපුරලා යන මොහොතෙදි ඔහු හෝ ඇය තමන්ට වගේම අනිත් අයටත් හානිදායක වන විදිහේ තීරණවලට එළඹෙනවා. ඒ නිසයි අපි මෙවන් පුද්ගලයන් ගැන දැඩි අවධානයකින් පසුවිය යුත්තේ.
විෂාදයක් ඇතිවන්නේ කෙසේද?
සාමාන්‍ය හැසිරීමට හානි කරන මානසික තත්ත්වයන්, දුක්මුසු බව, සතුටුදායක මොහොතකදී පවා සතුටට පත්නොවීම, නිතරම පාළු බවක් දැනීම සහ සෑම අවස්ථාවකදීම අසුබ පැත්ත පමණක් පෙනීම මෙහි මූලික ලක්ෂණයි. අනිත් අය තමන්ව පිළිගන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට හිතෙනවා තමන් තවදුරටත් රැඳී සිටීම අනවශ්‍යයි කියලා. තමන්ටම තමන්ගේ ජීවිතේ එපා වෙන්න පටන් ගන්නවා.
මේ නිසා එවැනි තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයකු හඳුනාගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුයි. සූක්ෂම විය යුතුයි. ඒ වගේම යම් විදිහකින් ඔබට ඔබේ මනස තුළ මෙවැනි සිතුවිලි ඕනෑවට වඩා පහළ වෙනවා නම් වහාම ඔබ, ඔබ ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මොකද විෂාදයේ මූලික අවස්ථා බොහෝ වෙලාවට ඔබට දැනෙන්නෙත් නෑ. අනිත් අයට පේන්නෙත් නෑ. මොකද ඒක අපි වහගෙන ඉන්න නිසා.
බාහිර පරිසරයේ පුද්ගලයන්ගෙන් එල්ල වෙන පීඩාව, ප්‍රතික්ෂේප කිරීම, හෙලා දැකීම, වෙනත් කෙනෙකු සමඟ සංසන්දනය කිරීම, වරප්‍රසාද කප්පාදු කර දැමීම කෙනෙකු විෂාදයට පත්වන්න හේතුවක් වෙනවා. කෙනෙක් ළඟ තියෙන සුළු අඩුපාඩුවක් අනවශ්‍ය ලෙස උළුප්පා දැක්වීම, දුප්පත්කම, වෙනත් නොහැකියාවක් ප්‍රසිද්ධියට පත්කිරීම කෙනෙක්ව විෂාදයට පත් කරන්නට පුළුවන්. මේ සියල්ලේම ප්‍රතිඵලය පුද්ගලයා මේ ලෝකෙන් නික්මීම.
ඔබ සැලකිලිමත් විය යුතු තැන
බොහෝ වෙලාවට විෂාදයට පත්වුණ කෙනෙක් යම් ආකාරයකින් ඒ ගැන තවත් කෙනෙක්ට කියනවා. මෙන්න මෙතන තමයි ඔබ දැඩි අවධානයෙන් යුතුව බලාසිටන්නට ඕන තැන. ඔබට දැනෙනවා නම් වාරෙකට වඩා ඔබ මේ ලෝකෙට අනවශ්‍ය කෙනෙක් කියලා, එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් ඔබට ඒ ගැන ඉඟියක් දෙනවා නම් තමන්ට ජීවත් වුණා ඇති කියලා. මේ
අවස්ථාව විෂාදයේ උග්‍ර අවස්ථාවක් විය හැකියි. මේ අවස්ථාව නොසලකා හරින්න එපා. කොයි මොහෙතකවත් ඒ අය කියන දේට විරුද්ධව කතා කරන්න එපා. ඔහුට හෝ ඇයට නිදහසේ අදහස් කියන්නට ඉඩ හරින්න. ඒ වගේම අනිත් කෙනාට ජීවිතේ එපා වෙලා කිව්වොත් ‘ඔව් ඒක නම් ඇත්ත තමයි’ කියලා කියන්නත් එපා. තව කෙනෙක් තමන්ගේ දුකක් ඇවිත් තමන්ට කියනවා නම් ඔබේ වැඩේ තරමක් ප්‍රමාද වුණත් ඒ කතාවට ඇහුම්කන් දෙන්න.
බොහෝ වෙලාවට ඔබේ ඒ කාරුණිකභාවය ජීවිතයක් මුදවගන්න හේතුවක් වෙනවා. මැරෙනවාමයි කියලා හිතන් හිටපු මනුස්සයට තමන්ගේ කතාව තව කෙනෙක්ට කිව්වට පස්සේ ආයේ ජීවත් වෙන්නත් හිතෙන්න පුළුවන්.
එතැනින් පස්සෙත් නවතින්න එපා. ඒ පුද්ගලයා ගැන සොයා බලන්න. අදාළ වෛiවරුන් වෙත යොමුකරවන්න. ඒ පුද්ගලයාගේ හිත හදන්න. විෂාදය එක් අවස්ථාවක් පසුකර යනකොට ජීවිතේ එපා වීමක් ඇති වෙනවා. වගේම ජීවිතේ කවදාවත් නොගත්ත තීරණ ගන්න පෙළඹෙනවා. මෙවැනි අවස්ථාවල ඔවුන්ට පැහැදිලිවම ඖෂධ ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙනවා.
විෂාදයට උගත්කම, තරාතිරම, වත්පොහොසත්කම් අදාළ වෙන්නෙ නෑ. ඒ වගේම වැදගත්ම දේ නැති අයට වඩා බොහෝ දේ තිබෙන අය විෂාදයට පත්වෙන තත්ත්වය වැඩියි. මොකද එක දෙයක් අහිමි වීම තවත් දේක අහිමි වීමට හේතුවක් වෙනවා. ඒ නිසා අන් අය ගැනත් ඔබ ගැනත් අවධානයෙන් ඉන්න.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
වෛද්‍ය කමල් ජයසේකර
එරංදි කෞශල්‍යා ✍️