සමාජය සංකීර්ණ වන තරමටම පොදු සමාජයේ ගැටලු ද සංකීර්ණ වී ඇත. එකී සංකීර්ණත්වය සමඟ ජීවත් වීමේ දි එදිනෙදා කායික මෙන්ම මානසික පීඩනයන්ට ලක් වීමට ද සිදු වේ. තවද, අන් අයට කරදරයක් වන ලෙස ජීවත්වීම පුරුද්දක් කොටගත් අය ද අප අතර වෙති. එබැවින් මෙතැන් සිට මේ ලිපියෙන් පීඩාව යටතේ එන මහජන පීඩාව පිළිබඳ කතිකාවේ යෙදීමට බලාපොරොත්තු වේ.
පීඩාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
යමෙකුට, යමෙකුගේ අයිතිවාසිකමකට සිදු වන හෝ සිදු කරන්නා වූ බාධාවක්/හිරිහැරයක්/හානියක් පීඩාවක් ලෙස හැඳින්විය හැකිය.
නීතියේ දි පීඩාව යනු කුමක්ද?
නීතියේදී පීඩාව කොටස් තුනකට බෙදා නිර්වචනය කළ හැකිය.
i . පුද්ගලික පීඩාව
ii . මහජන පීඩාව
iii . ව්‍යවස්ථාපිත පීඩාව
පුද්ගලික පීඩාව යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
පුද්ගලිකව යම් පුද්ගලයෙක්ට වන හානියක් සම්බන්ධයෙන් වන පීඩාව පුද්ගලික පීඩාව ලෙස හඳුන්වාදිය හැකිය. අසල්වැසි නිවසේ ගස් අතු තමන්ගේ නිවසේ වහලය මතට කඩා වැටීමෙන් නිවසට සහ නිවැසියන්ට වන අනතුරු ආදිය මෙයට නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. මේ සඳහා නීතිමය ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා සිවිල් නඩු කටයුත්තක් පවරා එමගින් පීඩාව නතර කිරීම සම්බන්ධයෙන් නියෝගයක් හා/හෝ ඊට අමතරව වන්දි මුදලක් ඉල්ලා සිටීමට හැකියාව පවති.
ව්‍යවස්ථාපිත පීඩනය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
ව්‍යවස්ථාපිත පීඩාව යනු, යම් ව්‍යවස්ථාවක් මඟින් ලිඛිතව හඳුන්වාදී ඇති වරදකී. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය මඟින් මහජන පීඩාව දණ්ඩනය (දඬුවම්) ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබේ. ඒ අනුව මෙය අපරාධමය වරදක් ලෙස සැලකේ.
ඒ අනුව මහජන පීඩාවක් ලෙස අර්ථ දක්වා ඇති වරදක් ව්‍යවස්ථාපිත පීඩාවක් වෙනවාද?
ඔව්.
මහජන පීඩාව යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
සමූහයක් වශයෙන් එකට සිටීමේදී සැළකිය යුතු පිරිසකට සිය අයිතීන් භුක්ති විඳීමට සිදුකරන බාධාවක් හෝ යම් අප්රසන්නතාවයක් ඇතිවන අයුරින් හැසිරීම මහජන පීඩාව යනුවෙන් හැඳින්විය හැකිය.
මහජන පීඩාවට අදාළ වන නීතිය කුමක්ද?
මේ සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ IX පරිච්චේදයේ 98 සිට 106 වගන්ති තෙක් ප්‍රතිපාදන අදාළ වේ.
එකී අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන අනුව මහජන පීඩාව යන්න සන්ස්ථාපනය වන වැරදි මොනවද?
i .පොදු මහජනයා විසින් නිත්‍යානුකූල ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති පාරක්, වරායක්, විලක්, ගංගාවක්ත, ඇලක්, හෝ යම් පොදු ස්ථානයක් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා යම් බාධකයක් හෝ පීඩාවක් සිදු කිරීම.
ii .යම් කර්මාන්තයක් හෝ ව්‍යාපෘතියක් හෝ වෙළඳ ව්‍යාපෘතියක් මහජනයාගේ සෞඛ්‍යයට හෝ කායික සුවයට හානි කරවීම.
iii.ගොඩනැගිල්ලක් ඉදිකිරීම හෝ යම් ද්‍රව්‍ය බැහැරකිරීම නිසා ගින්නක් හෝ පිපිරීමක් ඇතිවීමට ඉඩ තිබීම.
iv.යම් ගොඩනැගිල්ලක් හෝ ගසක් කඩා වැටී, ඒ අවට ජීවත් වන හෝ ව්‍යාපාර කරන හෝ ඒ ස්ථානය පසුකර යන පුද්ගලයන්ට එමගින් ආපදා සිදුවීමට ඉඩ ඇතිවී.
v. යම් මාර්ගයකට හෝ පොදු ස්ථානයකට යාබද යම් වැවකින්, ළිඳකින් හෝ වලකින් මහජනයාට කිසියම් අනතුරක් ඇතිවීමට ඉඩ ඇතිවීම.
මහජන පීඩාව සඳහා නඩු පැවරිය හැක්කේ කුමන අධිකරණයක ද?
මෙය සාපරාදී වරදක් බැවින් මහජන පීඩාව සිදුවන බල ප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරිය හැකිය.
මහජන පීඩාව සාපරාදී වරදක් වන්නේ කෙසේද?
මහජන පීඩාව යනු සමාජයට බලපාන සමාජයට එරෙහි වන වරදක් බැවින් එය සාපරාදී වරදක් ලෙස හැඳින්විය හැකිය.
මහජන පීඩාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරිය හැකි ආකාරය කුමක්ද?
i .මහජන පීඩාව සම්බන්ධයෙන් පෞද්ගලික පැමිණිල්ලක් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය.
ii. අදාළ කාරණය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් මගින් සිදුකළ හැකිය.
අධිකරණයට මහජන පීඩාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වූ පසු සිදුවන ක්‍රියාපටිපාටිය කුමක්ද?
i .මහේස්ත්‍රාත්වරයා විසින් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ඒ පීඩාව ඇතිකරනු ලැබූවන්ට එරෙහිව පීඩාව ඉවත්කරගත යුතු බවට කොන්දේසි සහිත ආඥාවක් සහ නොතිසි නිකුත් කරනු ලබයි.
i i.නොතීසි ලද විට අදාළ තැනැත්තා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට එකී ආඥාව අවලංගු කරවා ගැනීමට හෝ එහි කොන්දේසි වෙනස් කරවා ගැනීමට ඉල්ලීමක් කළ හැකිය.
ii.අදාළ කාලය තුළ ආඥාව පරිදි ක්‍රියා නොකළහොත් එකී තැනැත්තාට එරෙහිව දඩයක් හෝ ලිහිල් බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකටම යටත් කරනු ලැබිය හැකියි.
මහේස්ත්‍රාත්වරයා මහජන පීඩාව සම්බන්ධයෙන් ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට නියෝගයට යටත් වූ පාර්ශවය අපොසත් වන්නේ නම් සිදු කළ හැක්කේ කුමක් ද?
එම නියෝගයට අදාළ ක්‍රියාව සිදුකිරීමට යන වියදම් නියෝගයට යටත් පාර්ශවයේ දේපළ වෙන්දේසි කර හෝ ලබාගැනීමේ බලයක් මහේස්ත්රාත්වරයාට ඇත.
ආගමික ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මහජන පීඩාවක් වන්නේද?
ප්‍රාදේශීය සභා සීමා තුළ දිවා කාලයේ ඩෙසිබල් 55 ට වැඩි සහ රාත්‍රී කාලයේ ඩෙසිබල් 45 ට වැඩි වූ ද, නාගරික සීමා තුළ දිවා කාලයේ ඩෙසිබල් 63 ට වැඩි සහ රාත්‍රී කාලයේ ඩෙසිබල් 50 ට වැඩි වූ ද, අපනයන කලාප ආශ්‍රිතව දිවා කාලයේ ඩෙසිබල් 70 ට වැඩි සහ රාත්‍රී කාලයේ ඩෙසිබල් 60 ට වැඩි වූ ද, අධිකරණ, රෝහල්, පුස්තකාල ආශ්‍රිතව දිවා කාලයේ ඩෙසිබල් 50 ට වැඩි සහ රාත්‍රී කාලයේ ඩෙසිබල් 45 ට වැඩි වූ ද, නිවසක් තුළ ඩෙසිබල් 60 ට වැඩි වූ ද වශයෙන් ශබ්ධයක් විකාශනය වන්නේ නම් එය මහජන පීඩාවක් වශයෙන් අර්ථකථනය කළ හැකිය. ඒ අනුව මහජන පීඩාව නම් අපරාධමය වරද පිළිබඳ දැනුවත්ව සිටීමෙන් ඔබට ඇති අයිතින් ආරක්ෂා කර ගැනීමට ද, අනෙකාගේ අයිතින්ට හානි නොකර තම අයිතින් භුක්ති විඳීමට ද හැකියාව ලැබෙනු ඇත.
නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com