පායන තරු පෙළ පරදා දිලිසෙන
අමුතුම තරුවක් පායන්නේ
අඳුරු වු නෙත් බැමි දහමින් ඔප කළ
සාමයේ කුමරෙක් බිහිවෙන්නේ
බැඳි පෙම් සෙනෙහස මුව රඳවාගෙන
මරිමවු උකුළේ සැතපෙන්නේ
මෙත් කරුණා ගුණ වඩවා දම් සුව
සාමෙ පිණිස ජීවිත පිදුවේ
වසරක එක් කාලයකදී පමණක් අප සවන වැකෙනා මෙවන් අපූරු නත්තල් ගීතිකා නත්තල පසුවුවත් තවමත් අප සවන පිනවයි. ගීතිකා නැතහොත් කැරොල් යන්නෙහි තේරුම ‘ප්‍රීතියේ ගීතය’ යන්නයි. ගීතිකාවල ඉතිහාසය 4 වන සියවසේ රෝමය දක්වා දිව යන්නකි. ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් ලතින් බසින් මුලින්ම ගැයුනු ගීතිකා පසුව ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් ව්‍යාප්ත විය.
ඒ අයුරින් ව්‍යාප්තව වර්තමානයේ සිංහල බසින්ද ගැයෙනා අසිරිමත් නත්තල් ගීතිකා බොහෝමයක් අප සතුය. ඉහතින් සඳහන් කළේ ඉන් එක් ගීතිකාවකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් උන්වහන්සේගේ උපත පිළිබඳ කතාන්දරවලින් රචිත කැරොල් ගායනාවන්ගෙන් අදහස් වන්නේ සංගීතය හරහා ප්‍රීතිය ප්‍රකාශ කිරීමකි.
ලෝකයේ බහුලව අසන්නට ලැබෙනා නත්තල් ගීතිකාව ලෙස සඳහන් වන්නේ We wish you a merry Christmas නම් ගීතයයි. මෙම ගීතිකාවෙන් කියවෙන්නේ නත්තලේ සහ ලබනා අලුත් අවුරුද්දේ සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු උත්සව සමය පිළිබඳවය. එංගලන්තයේ 16-18 සියවස් අතරේ නිර්මාණය වූ බව සැලකෙන මෙම නත්තල් ගීතිකාව පසුකාලීනව වෙනස් වී පළාතෙන් පළාතට වෙනස් වචන යොදාගනිමින් ගායනා කර ඇත. එදවස එංගලන්තයේ විසූ දුප්පත් කුඩා දරුවන් ධනවත් නිවෙස් ඉදිරියට ගොස් මෙම ගීතය ගායනා කොට රසකැවිලි සහ තෑගි දිනාගත් බව සඳහන්ය.
නත්තල් කැරොල් ඉතිහාසය මෙසේ ඈතට දිව යද්දි මෙරට ප්‍රථම වතාවට ආසන දෙව්මැදුරකින් නත්තල් ගීතිකාවක් ගැයුණේ, ඇසුණේ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැඳුරෙනි. වසර 143කට උරුමකම් කියනා ශාන්ත ලුසියා දෙව්මැඳුර නොහොත් කොටහේන පල්ලිය යනු ලංකාවේ පළමු ආසන දෙව් මැදුරයි. ආසන දෙව්මැදුරක් යනු රදගුරුවරයකුගේ කැත්රීඩාව නොහොත් ආසනය පනවා ඇති දේවස්ථානයයි. ශාන්ත ලුසියා දෙව්මැඳුරෙහි ගැයූ ලෙසට සඳහන් නොවුණත් මෙරට ගැයූ පළමු නත්තල් ගීතිකාව ලෙස සඳහන් වන්නේ,
දෙවිඳු උපන්නේය සතුනි
දෙවිඳු උපන්නේය ඔහෝ
දෙවිඳු සර්වනායක වන
දිළිඳු එමනු වෙස් ගනිමින
නිරිඳු දාවිත් තුළ සසොබන
බිළිඳු ලෙසින මිහි වඩමින
දෙරණේ තෘණ යහනේ කිම
සයනේ සුර රජුනේ යන ගීතිකාවයි.
ලන්දේසි සමයේ පටන්ම මෙරට කිතුනු සාහිත්‍යයේ පිබිදීම ඇති වුවත් කිතුනු ගීතවල පිබිදීමක් ඇතිවූයේ ජෝශප් වාස් පියතුමා නිසාය. ශ්‍රී ලාංකිකයකු නොවූවත් ලන්දේසීන්ගෙන් සැඟවෙමින් කිතුණු ආගම හා සාහිත්‍ය ලංකාව තුළ ආරක්ෂා කරගැනීමට කැපවුණු පියනමකි. උන්වහන්සේ මෙන්ම කිතුණු ගී මෙරට ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වූයේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාය. මෙම පියවරුන් දෙදෙනා මෙරටට පැමිණ එකල මෙරට විසූ භික්ෂූන් වහන්සේලාගෙන් සිංහල භාෂාව මැනවින් ඉගෙනගෙන
කිතුනු ගීත සිංහල බසට පරිවර්තනය කිරීමට පටන්ගත්හ. යුගයෙන් යුගයට නත්තල් ගීතාකාවල පරිණාමය මෙසේ සිද්ධ වී අපිට තේරෙන සරල සුගම බස් වහරින් නත්තල් කැරොල් ගී නිර්මාණය කරන්නට වැඩියෙන්ම ඇපකැප වූයේ පන්සලේ පියතුමා නමින් විරුදාවලි ලත් ගරු මර්සලීන් ජයකොඩි පියතුමායි. නත්තල ආරම්භයේම වැඩියෙන්ම අසන්නට ලැබෙනා,
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුණේ
පුංචි ගව මඩුවේ
රෑ තරු බබලනවා – මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා – මල් වැහැලා වාගේ
රැව් පිළිරැව් දෙනවා – ගීත නාද වාගේ
බිළිදෙකු හිනැහෙනවා – මුහුදක රැළි වාගේ
වැනි ගීත මර්සිලීන් ජයකොඩි පියතුමා කිතනු මෙන්ම අන්‍යාගමික ජනයාටත් රසවිඳිය හැකි ලෙස ලියූ සදාහරිත ගීතිකාවන්ය.නත්තල් ගීතිකාවලට පාදක වන්නේ ජේසුස් වහන්සේගේ උපත්තියට හා උන්වහන්සේගේ ජීවිතයේ කතාවන් වුවද ගීතිකාවන්ට සවන් දීමෙන් මනස සැහැල්ලු කරගැනීමටත්, කාංසාව, ආතතිය අඩු කරගැනීමටත් හැකිවන බවත් විශ්ලේෂණාත්මකව සොයාගෙන ඇත.
එරංදි කෞශල්‍යා ✍️