උඳුවප් සීතලත් සමග නත්තල් පණිවිඩය සොබා දහමෙන්ම අපට ලැබෙනවා. ජේසු බිළිඳාගේ උත්පත්ති කතාව සිහිගන්වමින් පල්ලිවල සීනු හඬ ඇහෙනවා. මේ සියල්ල අතරේ රතු, කොළ වර්ණවලින් යුතු ඉටිපන්දම්වලටත් වැඩි ඉල්ලුමක් ලැබෙනවා. ඉටිපන්දම කිව්වාම අපට මතක් වෙන්නේ පල්ලිය. ඒ වගේම නත්තල. මේ ඉටි පන්දම් සොයන අයට විවිධ වර්ණ, විවිධ හැඩ, විවිධ උස මට්ටමින් සහ විවිධ සුවඳ වර්ගවලින් ඉටිපන්දම් සපයන ඇය කවුද?
මගේ නම දිනුෂා මායාදුන්නේ. මම අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචියි. අතුරුගිරිය සෝමානන්ද විද්‍යාලයෙන් අධ්‍යපානය ලැබූ මම රැකියා කීපයක්ම කළා. විවාහයෙන් පසුව නම් රැකියාවක් කළේ නැහැ. ලැබුණ විවේකයෙන් කුමන හෝ ස්වයං රැකියාවක් කරන්න මට හිතුනා. ඒ නිසා මම තනියම ඉටිපන්දම් හදන්න පටන් ගත්තා. මුලින්ම මම සුදු ඉටිපන්දම් හැදුවා.
එතැනින් පසුව විවිධ හැඩතල ගැන හිතුවා
ඔව්. සුදු ඉටිපන්දම් හදන විට මට මේවාට තවත් වර්ණ, උස, හැඩ, සුවඳ එකතු කරන්න හිතුවා. හැඩතල විදිහට මම නෙළුම් මල්, අරලිය මල්, වද මල්, සූරියකාන්ත මල් වගේ විවිධ මල් වර්ග නිෂ්පාදනය කළා. නෙළුම් මලේ ප්‍රභේද හතක් විතර තියෙනවා. ඒ අතරේ මම විවිධ සත්ව රූප ඉටියෙන් හැදුවා.
මේ සත්ව රූප ඉටිපන්දම්වලට ළදරු පාසල්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම උපන්දින උත්සව වෙනුවෙනුත් වර්ණවත් සත්ව රූප ඉටිපන්දම්වලට ඉල්ලුම තිබෙනවා.මම ඉටිපන්දම් කර්මාන්තයට නව අර්ථයක් එකතු කළා’ විවිධ සුවඳ එකතු කළා. කුරුඳු, ලෙමන්, පැගිරි වගේ සුවඳ සහිත ඉටිපන්දම් දැන් මගේ නිෂ්පාදන එකතුවේ තිබෙනවා.
නත්තල් කාලයට ඉටිපන්දම්වලට ඉල්ලුම
නත්තල වෙනුවෙන් කොළඹ අවට ලොකු ඉල්ලුමක් ආවා. විශේෂයෙන් රතු, කොළ ඉටිපන්දම් වෙනුවෙන් ඉල්ලුම වැඩියි. මම අඩියක් උස අඟල් තුනක පළළ ඉටිපන්දමක් නිෂ්පාදනය කරනවා. එය කුරුඳු සහ පැඟිරි සුවඳ සහිතයි. වර්ණවත් ඉටිපන්දම් ලෙමන් සුවඳින් යුක්තයි. කොළඹ අවටින් ලොකු ඉල්ලුමක් තිබෙනවා. කොල්ලුපිටිය, කුරුඳුවත්ත වගේ පැතිවල මගේ ඉල්ලුම්කරුවන් ජාලයක් සිටිනවා. 2023 වසරේ නත්තල් දවසේ රාත්‍රි 8.45 ටත් මට ඉටිපන්දම් ඇනවුමක් ආවා.
නත්තල් කාලය අවසාන වුණාම
මට සීමාවක් නැහැ. ජනවාරි මාසයේදී විවාහ මංගල්‍ය උත්සව වෙනුවෙන් ඇනවුම් ලැබෙනවා. පෙබරවාරි සිට මම වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් වෙනවා.වෙසක් උත්සවයට මගේ විශේෂ පැකේජයක් තිබෙනවා. එහි වෙසක් කුඩු 6 ක්, ඉටිපන්දම් 40 ක් සහ බකට් 12 ක් තියෙනවා. මේ පැකේජ් එකට හොඳ ඉල්ලුමක් තියෙනවා.
මදුරුවන්ට ගැළපෙන උඳුනක් ගැනත් ඔබ සඳහන් කළා…
ඩෙංගු මදුරුවා විතරක් නොවෙයි, අපේ නිවසට එන කාමි සතුන් විකර්ශනය වෙන බර්නර්යක් මගේ නිෂ්පාදන අතර තිබෙනවා.
එහි ක්‍රියාකාරීත්වය ගැනත්
මැටි මුට්ටියකට වතුර පුරවලා එයට පැඟිරි තෙල් සහ කුරුඳු තෙල් බින්දු දෙක බැගින් දානවා. මේ මුට්ටිය යටින් පහනක් (T-light) පත්තු කරනවා. වතුර රත් වෙන විට තෙල්වලින් නිකුත් වෙන ගන්ධයට කෘමි සතුන් විකර්ශනය වෙනවා.
මේ තෛලමය සුවඳට අපිත් ප්‍රිය කරනවා. විශේෂයෙන් නිවසේ මේ බර්නරය පත්තු කළාම ප්‍රසන්න සුවඳක් වහනය වෙනවා.මේ බර්නර්යක සාමාන්‍ය මිළ රු 1250 ක් වෙනවා. මෙහිදීත් මම පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒකට T-light 20 ක්, පැඟිරි තෙල් බෝතල් 2 ක් සහ කුරුඳු තෙල් බෝතල් 2 ක්, අමතරව පහන් දෙකක් ඇතුළත් වෙනවා.
ඉටිපන්දම් නිෂ්පාදනයේදී කාලගුණයෙන් බාධාවක් නැතිද?
පායන කාලයට රස්නය නිසා ඉටිපන්දම් උණු වෙනවා. ශීතල කාලයට ඒ වගේ ගැටලු නැහැ. සමහර ඉටිපන්දම් පැය දෙක තුනකින් ගලවාගන්න පුළුවන්. සමහර ඒවා දවස් දෙක තුනක් තියන්න ඕන. නිෂ්පාදනයේ හැටියට ඉටිපන්දම නිවෙන්න ගතවන කාලය වෙනස් වෙනවා. මම ඉටිපන්දමේ විවිධ හැඩතල වෙනුවෙන් අච්චු හදවා ගන්නවා. ඒවා සිලිකන් සහ ඇළුමිනියම්වලින් හදාගන්නවා. ඇළුමිනියම් එකට වඩා සිලිකන් අච්චුවක වත්කරන ඉටි ඉක්මණින් නිවෙනවා.
මේවා අලෙවියේදී ගැටලු ඇතිවුණේ නැතිද?
මුලින්ම නම් ගැටලු ආවා. මම මේ ව්‍යාපාරය ආරම්භ කරන කාලයේ චීනයේ ඉටිපන්දම් අපේ වෙළෙඳපොළේ තිබුණා. ඒවා මගේ ඉටිපන්දම්වලට වඩා මිලෙන් අඩුයි. ඒ නිසා මගේ නිෂ්පාදනවලට ඉල්ලුමක් තිබුනේ නැහැ.නමුත් කාලයත් සමග මගෙන් ප්‍රචාරණයක් නැතුවම ‘අමා ඉටිපන්දම් හොඳයි’ යන කීර්ති නාමය මගේ නිෂ්පාදන වෙනුවෙන් ඉබේම ගොඩනැගී තිබුණා.
ඒ නිසා මගේ නිෂ්පාදන සොයාගෙන පාරිභෝගිකයන් වගේම වෙළෙඳ නියෝජිතයන් ආවා. මගේ FB පිටුව ඔස්සේ ඔන්ලයින් ඇනවුම් ලැබුණා.අද ලංකාව පුරාවටම මගේ ඉටිපන්දම් අලෙවි වෙනා. දැන් බොහෝ දෙනා මාව මගේ නමට වඩා අමා යන නමින් දන්නවා. කොටින්ම ඔවුන් මගේ නම පසෙක තබා මට අමා කියලා ආමන්ත්‍රණය කරන තරමටම අමා නිෂ්පාදන සමාජය හඳුනාගෙන තිබෙනවා.
අද වනවිට විදේශවලටත් ඔබේ නිෂ්පාදන ලබාදෙනවා
මම ඔමාන්, බහරේන්, ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවලටත් නිෂ්පාදන යවා තිබෙනවා. විදේශගතව සිටින අපේ ශ්රිී ලාංකිකයන්ගෙන් මට ඇනවුම් ලැබෙනවා. දඹදිව කඨින පිංකම් වෙනුවෙන් සහ එක්සත් රාජධානියේ කඨින පිංකම් වෙනුවෙන් නෙළුම්මල් ඉටිපන්දම් වෙනුවෙන් ඇනවුම් ලැබුනා.
බිරිඳක්, මවක්, විදිහට කාලය කළමනාකරණය ගැන…
මම දවසේ එක විනාඩියක්වත් අපතේ යවන්නේ නැහැ. මගේ ව්‍යාපාරික කටයුතු විතරක් නොවෙයි බාහිර සමාජ සම්බන්ධතාවයන් වෙනුවෙනුත් මම වෙලාව වෙන් කර ගන්නවා. කාන්තාවක් විදිහට තවත් මං වගේම කාන්තාවන්ටත් උදව් වනවා.
මගේ නිෂ්පාදනවලට අතරමැද අලෙවිකරුවන් සිටිනවා. ඔවුන් ලාභයක් තබාගෙන අලෙවි කිරීම සිදුකරනවා. මගේ ව්‍යාපාරය දියුණු කර ගන්නා අතරම තවත් කෙනෙකුගේ ජීවිතයට මට හැකි විදිහට අත්වැලක් වෙන්න මම නිතරම සූදානම්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️