සැන් දියාගෝ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්යගෙන් අනාවරණයක්
මානසික ආතතිය පාලනය කර ගැනීම සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාම, භාවනා ක්‍රම වැදගත් බව පිළිගෙන තිබෙනවා. ඒ අතරින් ඔබ නොදන්නවා වුණත් මනස සන්සුන් කරන ආකරයේ තවත් සරල පිළිවෙත් මගින් මානසික ආතතිය පාලනය කරගන්න පුළුවන්.
සැන් දියාගෝ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්ය සැන්ඩ්‍රා සෙගොටාස් ඉමේච් සඳහන් කරන අන්දමට අපි එදිනෙදා ජීවිතයේදී ප්‍රසන්න සිතුවම් දෙස බැලීම නිසා මානසික වෙහෙස බොහෝදුරට අප විසින්ම පාලනය කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මේ අන්දමින් විසිතුරු වූද, ප්‍රසන්න වූද පරිසර තත්ත්වයන් සිතුවමක්, ඡායාරූපයක් හෝ වීඩියෝවක් මගින් වුවද දකින විට මොළයේ රුධිර සංසරණය යහපත් වී මානසික සිතුවිලි ඉතා යහපත් මට්ටමින් පවත්වා ගැනීමට අවස්ථාවක් ලැබෙන බව ඔවුන්ගේ අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.
හරිත පරිසරය….මානසික සැහැල්ලුවට
හරිත වර්ණයෙන් බබලන පරිසරයක් දැන් අපට ඇස පුරා දැක බලා ගැනීමට සැබැවින්ම අවස්ථාවන් නැහැ. පරිසරයට සමීප පුද්ගලයන්ගේ මානසික ආතතිමය තත්ත්වයන් බොහෝ දුරට අඩුයි. අතීතයේ අපේ සමාජය තුළ පැවැති හරිත පරිසරය නිසා ඔවුන් මානසික සැහැල්ලුවෙන් කාලය ගත කළා. නමුත් අද වනවිට පාරිසරික ගැටලු නිසා ගහ කොළ පිරුණ පරිසරයක් බොහෝ විට චිත්‍රයකට. සිතුවමකට හෝ වීඩියෝ පටයකට සීමා වී තිබෙනවා.
නමුත් මේ අන්දමින් සුන්දර පරිසරයක් ඇස පුරා දැක ගැනීමෙන් මානසිකව සැහැල්ලුවක් ඇති වෙන බැව් පර්යේෂකයන්ගේ පිලිගැනීම වී තිබෙනවා. ඔබ සුන්දර පරිසරය පිලිබඳ දර්ශනයක් දකිත්ම මොළය සන්සුන් කරන අතර මානසිකවත් යම් සැහැල්ලුවක් සිතේ ගොඩ නගනවා. ඒ නිසා කලබලකාරී නාගරික ජීවිතය සමග ගැටෙන සහ අවිවේකී ජීවන රටාව නිසා මානසිකව හෙම්බත්ව සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ මානසික ආතතිය දුරු කරගැනීමට හරිත පරිසරයක් සහිත දර්ශන ඉතා හොඳ තෝතැන්නක් බැව් දැන් පිලිගත් සත්‍යක් බැව් අමතක නොකළ යුතුය.
මුහුද දිහා බලා ඉන්න
සාමාන්‍යයෙන් අප කාටත් මුහුද දෙස කොපමණ වේලාවක් බලා ගෙන සිටියත් එහි ඇති වීමක් නැහැ. ඒ බැව් අප අත්දැකීමෙන්ම දන්නවා.පර්යේෂකයන් පවා පෙන්වා දෙන අන්දමට මුහුදක් සහිත දර්ශනයක් දෙස බලා සිටීම පවා මානසික ආතතිය දුරු කිරීමට ඉවහල් වෙනවා.නෙදර්ලන්තයේ Vrije විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද අධ්‍යනයේදී පුද්ගලයන් 46 දෙනෙකුට එදිනෙදා පරිසරයේදී දක්නට ලැබෙන ආකර්ශණීය වස්තූන් දෙස බැලීමට අවස්ථාව සලසා දුන්නා. අදාල කාලයේදී අධ්‍යනයට සහභාගී වුන් කණ්ඩායමේ පුද්ගලයන්ගේ හෘද ගැස්ම, ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම, ස්නායු පිලිබඳ වාර්තාව International Journal of Environmental Research and Public Health මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අමතරව මානසික ආතතියට පත් තවත් කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන් සඳහා හරිත පරිසරයක් නැරඹීමට අවස්ථාව ලබා දුන්නා. අධ්‍යනය අවසානයේදී ලබාගත් දත්ත අනුවත් මේ පිරිස අධ්‍යනයට සම්බන්ධ වන මුල් අදියරේදී ඔවුන් තුළ දක්නට ලැබුන මානසික වෙහෙස පරිසරයට සම්බන්ධ වීමෙන් පසුව බොහෝ දුරට අවම මටට්මක් වෙත පත් වී තිබුණා.ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද තවත් අධ්‍යන වාර්තාවක සඳහන් වන අන්දමට කාර්යාල පරිශ්රයක ගහ කොළ පිරුන හරිත වටපිටාවකින් යුක්ත වූ විට එම ආයතනයේ සේවය කරන පිරිසගේ ආතතිමය තත්වයන් බොහෝ දුරට අඩු වන බවයි.
සිතුවම් කියන්නේ භාවනාවක්…
ඔබ මේ ගැන ඉතා සරලව සිතුවත් මනස සමාධිගත කරන චිත්‍ර, සිතුවම් සහ වර්ණ සතිමත් භාවනාවක් බැව් දැන් විවිධ අධ්‍යනයන් මගින් පවා පිළිගෙන තිබෙනවා.
ශාඛ පත්‍රයක රටා
ඔබ ශාඛයක පත්‍රයක් දෙස බලන්න. එහි නාරටි සහ පත්‍ර මත වැටුන විවිධ රටාවන් තිබෙනවා. සිප්පි කටුවක, මල් පෙත්තක තිබෙන යම් යම් සුන්දර රටාවන් ස්වභාව ධර්මයේ මහිමයෙන් ලද දායාද ලෙසින් අප සලකනවා. මෙවැනි සිතුවම් සහිත චිත්‍ර, ඡායාරූප දෙස බැලීම පවා මානසික ආතතිය දුරු කිරීමට හේතුවක් බැව් 2021 වසරේ ප්‍රකාශයට පත් අධ්‍යන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.
මානසික ආතතිය දුරු කරන වර්ණ
මානසික ආතතිය දුරු කිරීමට නිල් සහ කොළ වර්ණ හේතුකාරක බැව් දැන් පිළිගෙන තිබෙනවා. සැබැවින්ම කොළ යනු අප වටා ඇති පරිසරයයි. නිල් පැහැයෙන් දිසෙන්නේ වලාකුළු සහිත ආකාසයයි. මෙවැනි ශාන්ත වූ වර්ණ මගින් අපේ මනස සමාධිගත කරන අතරම සිතුවිලි නිරවුල් කිරීමටත් සමත් බැව් දැන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම නිල් වර්ණය නිසා ඔබේ රුධිර පීඩනය යහපත් අන්දමින් පවත්වා ගැනීමට හේතුවක් වෙන බවටත් පර්යේෂණ වාර්තා සඳහන් කරනවා. ඒ නිසා ඔබට සෑම දිනකම මේ අන්දමේ සිතුවම් හෝ ඡායාරූප බැලීමට අවස්ථාවක් නොමැති විය හැකියි. ඒ වුණත් අවම වශයෙන් සතියකට දෙතුන් වතාවක් හෝ මෙවැනි දර්ශණීය සිතුවම් දැක බලා ගැනීම මනසට අස්වැසිල්ලක්.
සුන්දර දර්ශන සහිත ඡායාරූප දෙස බැලීමෙන් ඔබේ මනසට විවේකයක් ලැබෙන අතරම ජීවිතයට ධනාත්මක අත්දැකීම් උපයා දෙන බවත් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. වෙහෙසකර අවස්ථාවන්හිදී මොළයෙන් නිදහස් කරන වෙහෙසකර හෙවත් Cortisol හෝර්මෝනගමටට්ම අපි සුන්දර දසුන් සහිත සිතුවම්. ඡායාරූප හෝ වෙනත් දෘශ්‍ය මාධ්‍යකින් දකිනවා නම් අපටත් නොදැනීම අඩු මට්ටමකට පත් වෙනවා.
https://www.health.com/condition/stress සහ තවත් මුලාශ්‍ර ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️