පඩිය අතර ගත්ත යාලුවෙක් පිස්සෙක් වගේ පඩිය ගණන් කර කර කල්පනා කරනවා.
“ මොකට පඩි දැම්මද දන්නේ නෑ ?”
කොල්ලට ඉබේම කියැවුණා.
“ ඇයි මොකද අවුල? ” මම නිකමට
ඇහුවා.
“මේක නොදා හිටියනම් පඩි නෑ කියල හිත හදාගන්න තිබුණා ” යාලුව ආයෙත් කීවා… “ මොකක්ද බං ප්‍රශ්ණය ? ”
මිනිස්සුන්ගෙ ජීවිත පිරෙන්නෙ බලාපොරොත්තු වගේම යුතුකම්වලින්. බලාපොරොත්තු වගේම යුතුකම් බොහොමයක් සම්පූර්ණ කරගන්න ඕන කරන්නේ සල්ලි. මිනිස්සු බලාපොරොත්තු හදාගන්නෙ වගේම මිනිස්සුන්ගෙ යුතුකම් පිරෙන්නෙ සම්පූර්ණ කරන්න පුළුවන් සීමාවෙම නෙමෙයි. ඒ නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න වගේම යුතුකම් සම්පූර්ණ කරන්න මිනිස්සු අප්‍රමාණව මහන්සි වෙනවා. ඒ මහන්සිය වෙනුවෙන් ලැබෙන එකම සංතෝසම තමයි සල්ලි.
ලැබෙන සල්ලි ප්‍රමාණයට වඩා බලාපොරොත්තු සහ යුතුකම් වෙනුවෙන් ඕන කරන මිල ලබාදෙන්න බැරිතැනදි මිනිස්සු මානසිකව කලබල වෙනවා. ඇත්තටම කියනව නම් ස්ට්‍රෙස් වෙනවා. ස්ට්රෙස්කියන්නෙ මොකක්ද කියල කෙනෙක් ඇහුවොත් මට දෙන්න තියෙන කෙටිම උත්තරය තමයි බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න බැරිවෙලාවට ඇතිවෙන අවුල කියන එක.
ඒ අවුල අපිව සෑහෙන්න කලබලයට පත්කරනවා. අපේ කාලය, පෙනුම සියල්ල විනාස කරනව සමහරවිට ජීවිතය පවා. අලුත් අවුරුද්දක් කියන්නෙ අලුත් බලාපොරොත්තු ඇති වෙන කාලයක්. සෑහෙන්න යුතුකම් ඉෂ්ටකරන්න වෙන කාලයක්. ඒ සියල්ල වෙනුවෙන් සෑහෙන්න බරපැනක් දරන්න වෙන කාලයක්. සාමාන්‍ය මධ්‍යම පංතියේ මිනිස්සු ස්ටේරස් වෙන කාලයක්. බලාපොරොත්තු අවම කර ගැනීමවත්, යුතුකම් අඩුවෙන් සම්පූර්ණ කිරීමවත් නෙමෙයි ජීවිතය.
පුළුවන් උපරිමයෙන් බලාපොරොත්තු සම්පූර්ණ කරගෙන පුළුවන් තරම් යුතුකම් සම්පූර්ණ කරල සතුටින් ජීවිතය ගෙවා දැමීම.ස්ට්‍රෙස් ඔබ මරණයට ළඟාකරවනව සතුට ඔබේ මරණය ඈත් කරවනවා. ජීවිතය අලුත් කරගමු ස්ට්‍රෙස් අඩුකරගමු අවුරුදු සුබ කර ගමු.
නුවන් ගම්මම්පිල