2025 අවුරුද්ද ඔබේ ජීවිතේ අද්විතීය වසරක් බවට පත්කරගන්න උවමනාවක් තියෙනවා නම් මේ ලිපිය වැදගත් වෙන්නෙ ඔබට. නව වසරක් උදාවෙද්දි කවුරු තුළත් සුබවාදී බලාපොරොත්තු තියෙනවා. නමුත් සුබවාදී බලාපොරොත්තු තියාගෙන නව වසරකට එලඹෙන කාටත් එම වසර අද්විතීයව නිම කරන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. නමුත් 2025 කියන්නෙ ඔබේ ජීවිතයට මීට කලින් මුණගැසුණු අවුරුද්දක් නෙවේ. 2020, 21, 22, 23, 24 අවුරුදුවල ඔයාගෙ ජීවිතේ තිබුණට වඩා දේවල් මේ අවුරුද්දේ ඔයාට තියෙන්න ඕන.
අපි ගමනක් යන්න ඕන සුබවාදී බලාපොරොත්තු එක්ක. හිතන්න ඔබ ගමන් කරන්නේ කෙදිනකවත් නොගිය ගමනාන්තයකට කියලා. අපි ඒ ගමනාන්තයට යන පාරට පිවිසෙන්න ඕනෙම සුබවාදී බලාපොරොත්තු ඇතිව. මේ ගමන අතරමගදි පාර දෙපැත්තේ ලස්සන ලස්සන මල් පිපිලා තියෙනවා දකින්න ලැබුණත් යම් අර්බුදකාරී දේවල්වලට මුහුණ දෙන්නත් ඔබට සිද්ධ වේවි. ඒ නිසා ඉලක්කයක් ඇතුව ඕනම ගමනක් පටන්ගන්න. ඉලක්ක ජයගන්න අවශ්‍ය වන ගුණාංග 5ක් තියෙනවා. නමුත් මේ ගුණාංග 5 එන්නෙ එක පැකේජ් එකක් ඇතුළේ. ඒ ඔබ ඔබටම ලබාදෙන නායකත්වය ඇතුළේ.
දැක්මක් සහිත පුද්ගලයක් වෙන්න
ආයතනයක, සංස්ථාවක, දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් විදිහට වැඩ කරන කාල සීමාවෙදි විතරක් නෙවේ තමන්ගෙ පෞද්ගලික ජීවිතේදිත් තමන් තමන්ට නායකත්වය ලබාදිය යුතුයි. නායකයෙක් වීමෙන් ඔබට ලැබෙන පළවෙනි දේ තමයි දැක්මක් සහිත පුද්ගලයකු බවට පත්වීම. ගරාජයක් ඇතුළෙ තිබුණ ව්‍යාපාරයක් ලෝකෙ ලොකුම මාර්ගගත (online) ව්‍යාපාරයක් බවට පත් කරන්න ඒ දැක්මක් සහිත නායකත්වයට පුළුවන්. ඉහත සඳහන් කළ ගරාජයේ තිබුණු ව්‍යාපාරය ලෝකප්‍රකට ඔන්ලයින් ව්‍යාපාරයක් කළේ ජෙෆ් බෝසොස්. ඒ වගේම කුඩා බිම් තීරුවක් අති දියුණු රටක් බවට පරිවර්තනය කරන්නට දැක්මක් සහිත නායකත්වයට පුළුවන්. ලී ක්වාන් යූ සිංගප්පූරුව සුරපුරයක් කළේ ඒ දැක්ම නිසයි. කුඩා ඒකකයක් වුණත් රටක් වුණත් පරිවර්තනය කරන්න දැක්ම කියන දේ අත්‍යවශ්‍යයි.
2025 කියන්නේ හුදෙක් දින 365ක් නෙවේ. ඒක දැක්මක් සහිත පුද්ගලයකුට පෙනෙන්නේ තමන්ට තමන්ගෙ ජීවිතේ ඇතුළෙ ජයග්‍රහණ සඳහා භාවිත කළ හැකි අද්විතීය කාල සීමාවක් විදිහට. දැක්මක් සහිත පුද්ගලයා මේ වසර ආරම්භයේදීම තීරණය කරනවා තමන් දැන් ඉන්න තැන සහ අනාගතයේදී ඉන්න ඕන තැන. එවැනි දැක්මක් නැතුව ජයග්‍රහණ නිර්මාණය කිරීම ඔබට පහසු වෙන්නෙ නෑ. මේ අවුරුද්ද ආරම්භයේදී ඉදිරි කාලය ගැන අදහසක් නොතිබුණා නම් තමන් ලබාගන්නේ කුමනාකාරයේ ජයග්‍රහණද කියලා වසර අවසානයේදී ආපස්සට හැරිලා බලද්දි ඔබට ලැබුණු දේවල් හැරෙන්නට ඔබ ලබාගත් කිසිවක් නොමැති වේවි.
ස්වයං මෙහෙයවීමකින් වැඩ කරන්න
නායකයෙක් වුණාම ඔබට ලැබෙන අනෙක් ගුණාංගය තමයි ස්වයං මෙහෙයවීමකින් වැඩ ආරම්භ කිරීමට හැකි වීම. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔවුන්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ යම් යම් බලපෑම් මත වීම. නමුත් තමන්ම තමන්ගේ නායකයා වුණොත් කාගෙන්වත් බලපෑමකින් තොරව ඔබට වැඩකටයුතු ටික හොඳින් කරගෙන යන්න පුළුවන්. නායකයා කියන්නෙ ස්වයංව මෙහෙයවීමට ලක්වෙන කෙනෙක්. ඒ නිසා නායකත්ව ගුණාංගය තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා මතක තියාගන්න ඔබට ඒ ගුණාංගය වර්ධනය කරගන්න ස්වයංව හැකියාව ලැබෙනවා.
දැඩි ආශාවෙන් යුතු කෙනෙක් වෙන්න
නායකයා කියන්නේ දැඩි ආශාවෙන් යුතු කෙනෙක්. ඔබ යම් වැඩක් කරගෙන යද්දි මහන්සියක්, අපහසුවක් දැනෙනවා නම් ඒකට හේතුව ඒ වැඩෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා ඒ කාර්ය තුළ තියෙන වෙහෙස ගැන ඔබ කල්පනා කරන නිසා. දැඩි ආශාව සහිත නායකයින්ට කොච්චර මහන්සි වෙලා වැඩ කළත් වෙහෙසක් දැනෙන්නේ නෑ. ඔවුන්ට සතුට සහ උද්යෝගය පවත්වගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ තමන්ගේ ඉලක්කයට ළංවීමේ උනන්දුව තියෙන නිසා. 2025ට එළඹෙන ඔබට කොච්චර වැඩ කළත් වෙහෙස නොදැනෙන තත්ත්වයට යනවා නම් යන්නේ ඔබට ඔබව මෙහෙයවන්න හැකි වෙනකොට.
කඩාවැටීම්වලදී නැවත ප්‍රතිෂ්ඨාපනය වන්න
නායකයා කියන කෙනා නිතර හැලහැප්පීම්වලට මූහුණ දෙන කෙනෙක්. එයා හදන්නේ එයාගෙ ජීවිතේ මෙතෙක් නොතිබුණු තත්ත්වයක් නිර්මාණය කරගන්න. මේ ගමනෙදි එයාට සිද්ධ වෙනවා වෙනදා මුහුණ නොදුන් අභියෝගවලට මුහුණ දෙන්න. නායකයෙක් ජයග්‍රහණ ලබනකොට ඒවා නිර්මාණය වෙන්නේ සෘජු රේඛාවක් ඔස්සේ නෙවේ.
උඩ පහළ යමින් එක්තරා රටාවක් තුළයි එම ජයග්‍රහණ ලබන්නේ. සමහර තැන්වලදි වටෙනවා, සමහර තැන්වලදි නැගිටිනවා. නායකයා තමන්ගේ කඩැවැටීම් සලකන්නේ ආශිර්වාද විදිහට. 2025 අවුරුද්දෙ ඔබටත් මෙහෙම කඩාවැටීමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔබට නායකයෙක් විදිහට හිතන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඒ කඩාවැටීම ඇතුළේ හැංගිලා තියෙන ආශිර්වාදය මොකද්ද කියලා.
ඉලක්කයට ළඟා වෙන්න
සුදුසු කණ්ඩායම තෝරගන්න
මේ ලෝකෙ අද්විතීය ව්‍යාපාර, රටවල් ගොඩනගපු අය ඒ සඳහා පළමුවෙන්ම කළේ ඒ සඳහා සුදුසු කණ්ඩායමක් තමන්ගේ වටේ ඒකරාශි කරගැනීම. මොකද නායකයා කියන්නේ හැමදේම දන්න කෙනා නෙවේ. නායකයා කියන්නේ දන්නෙ කවුද කියලා දන්න කෙනා. 2025 අවුරුද්ද සාර්ථක කරගන්න ඔබට උදව් කළ හැකි පුද්ගලයින් ඔබ වටා ඒකරාශි කරගන්න පුළුවන් නම් ඔබට 2025 අවසානයේදී ඉලක්ක වෙත ළඟාවීමට හැකියාවක් ලැබේවි.
අභිප්‍රේරක,පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
භාතිය අර්ථනායක
එරංදි කෞශල්‍යා ✍️