නොනවත්වාම ජංගම දුරකථනය නාද වෙන්නට පටන්ගත්තා.දුරකථනයේ සටහන්ව තිබුණේ ඩොක්ටර් නිරෝෂන් සෙනෙවිරත්නගේ නම්බර් එක. අවයව බද්ධකිරීම සම්බන්ධයෙන් ඉතාමත් කාර්යබහුල වෛද්‍යවරයෙක් වන නිසා ඔහු මෙලෙස කතා කරන්නේ විශේෂ වැඩකට වෙන්නට ඇතැයි සිතමින් මම එම ඇමතුම ලබාගත්තා.
“හරින්දී… ලියන්න හොඳ කතාවක් තියෙනවා. මට ඊයේ හවසම මේක ඔයාට කියන්න ඕනි කියලා මතක් වුණා. අපි තරුණ දරුවකුට වකුගඩුවක් බද්ධකළා. හැබැයි ඒක විශේෂ බද්ධ කිරීමක්. සර්පයෙක් ගහපු නිසා වකුගඩු නරක් වෙලා හිටපු ළමයෙක්ට තමයි අපි ඒ බද්ධ කිරීම කළේ. දැන් එයා ඉන්නෙ ICU එකේ. තව ටික දවසකින් ටිකට් කපනවා. දැන් එයාගෙ තත්ත්වය හොඳටම හොඳයි.”
ඒ කතාවෙන්ම මේ කතාව ලිවීමේ කතුහලය මටත් ඇතිවුණා. ඒ නිසා මේ කතාව ඔයාලා වෙනුවෙන් මෙහෙම මම ලිව්වා…
ඔව් අපේ රටේ මේ වගේ කතා ගොඩක් තියෙනවා. උග්‍ර විෂ සහිත සර්පයන් දෂ්ට කිරීමෙන් පුද්ගලයකුගේ ජීවිතයට අනතුරු වෙන්න පුළුවන්. සර්ප විෂ පුද්ගලයකුගේ විවිධ අවයවවලට බලපාන බව ඔයාලා විශ්වාස කරන එකකුත් නෑ.
● සර්ප විෂ නිසා ලේ විෂ වෙනවා. ඒ තත්ත්වය නිසා තීව්ර වකුගඩු රෝග අතිවෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්.
● ස්නායු පද්ධතියට බලපෑම් වෙන්න පුළුවන්.
● සමහර පුද්ගලයන් සර්ප දෂ්ට කිරීමකින් පසුව ජීවත් වුණත් පසුකාලීනව වකුගඩුවල රෝග ඇතිවෙන්න පුළුවන්.
ඒ නිසා සර්පයෙක් දෂ්ට කිරීම ගණන් නොගෙන ඉන්න හොඳ නෑ. සර්පයෙක් දෂ්ට කළාම නිසි ප්‍රතිකාර ලබා නොගත්තොත් එයින් දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවන්න පුළුවන්. ඒ නිසා සර්පයෙක් දෂ්ට කළොත් හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබාගැනීමයි වැදගත්.
සර්ප දෂ්ට කිරීමක් නොසලකා හැරියොත්…
ඇඹිළිපිටියේ දරුවකු මීට අවුරුදු 9කට කලින් උග්‍ර විෂ සහිත සර්පයකුගෙදෂ්ට කිරීමකට ලක්වී තිබුණා. ඇයට වයස අවුරුදු 22 වුණත් තිබුණේ කුඩා දරුවෙකුගේ පෙනුමක්. මේ සර්ප දෂ්ඨනය නිසා කාලයත් එක්ක දරුවාගේ විවිධ රෝග ලක්ෂණ මතුවෙන්න ගත්තා. හැම තැනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඔවුන් යොමුවුණත් සුවයක් ලැබී තිබුණේ නැහැ. අවසානයේදී දරුවා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අපේ ඒකකයට ඇතුළත් කළා. දරුවා පරීක්ෂා කිරීමෙන් පසු අපි ඇගේ වකුගඩු අක්‍රිය වී ඇති බව දැනගත්තා. ඒ නිසා දරුවාට වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව අපි ඇගේ දෙමාපියන්ට කිව්වා.
වකුගඩු බද්ධයට කලින් තවත් ගැටලුවක්
දරුවාට වකුගඩුවක් බද්ධ කිරීම වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරන විට අපට මෙම දරුවාගේ මුත්‍රවාහිනී පද්ධතියේ යම් අසාමාන්‍ය බවක් හඳුනාගන්න පුළුවන් වුණා. ඇයට තිබුනේ වෙරළු ගෙඩියක තරම් කුඩා මුත්‍රාශයක්. වකුගඩුවක් බද්ධ කළත් මුත්‍රාශය කුඩා නිසා සාමාන්‍ය ක්රියාකාරීත්වයක් ඇයට ලබාගත නොහැකි බව අපි හඳුනාගත්තා.
වෙරළු ගෙඩියක තරම් කුඩා මුත්‍රාශය වෙනුවට අලුත් මුත්‍රාශයක්…
අපේ කණ්ඩායම එකතු වෙලා කෘතිම මුත්‍රාශයක් ඇයට මුලින්ම සකස් කළා. ඒ සඳහා ඇගේ කුඩා බඩවැලේ කොටසක් කෘතිම මුත්‍රාශයක් ලෙස අපි නිර්මාණය කළා. සාමාන්‍යයෙන් බඩවැල් සකස් වී තිබෙන්නේ මලපහ පිටවන ආකරයට සීදම් ගතියකින් යුක්තවයි.ඒ නිසා අපි මුලින්ම සීදම් නැති වෙන්න ඇගේ මුත්‍රාශය සේදුවා.මුත්‍රා පිටවන විට ආසාදන ඇතිවීම වළක්වා ගන්න බටයකින් මුත්රාශයට පිරෙන මුත්‍රා ඉවත් කිරීමේ ක්‍රමයක් අපි ඇයට හැදුවා.
ඊළඟට වකුගඩු බද්ධයක්…
දරුවාට වකුගඩුවක් ලබාදෙන දායකයෙක් සිටියා. ඔහුගේ වකුගඩුවත් කිසිම කැපුමකින් තොරව යතුරු සිදුරු ශල්‍යකර්මයකින් අපි ලබාගත්තා. මෙම සිදුරු ක්‍රමයට දැන් ශල්‍යකර්ම 200 ක් පමණ ජයවර්ධනපුර රෝහලේ කර තිබෙනවා. දැන් දරුවා සුවෙන් ඉන්නවා.ඉදිරියේදී මේ තරුණියට කිසිම අපහසුවකින් තොරව සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න පුළුවන්.
මම කතාකරන මොහොත වන විටත් ඇය සිටියේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්. දින පහක් ගතවෙමින් ඇගේ තත්ත්වය හොඳඅතට හැරෙන බවයි දියණියගේ මව සඳහන් කළේ.
මගේ දුව කලින් නීරෝගී දරුවෙක්. ඉස්කොලෙත් ගියා. වයස අවුරුදු 13 දී එයාට කුණකටුවෙක් දෂ්ට කළා. අපි දුවව බලංගොඩ හොස්පිට්ල් එකට ගෙනිච්චා. දින තුනක් නැවතිලා ප්‍රතිකාර ගත්තා. රුධිර පරීක්ෂණ වාර්තාවලින් කිව්වෙ කුණකටු විෂ ශරිර ගතවෙලා නැහැ කියලා. ඊටපස්සෙත් එයා ඉස්කෝලේ ගියා. එයා කැඩෙටින් පවා කළා. කිසිම ලෙඩක් තිබුණේ නැහැ.
අවුරුදු දෙකකට වගේ පස්සේ එයාගෙ කකුල් ඉදිමෙන්න ගත්තා. අපි ආයෙ ඩොක්ටර්ස්ලට දුවව පෙන්නුවා. අන්තිමේදී එයාගේ වකුගඩු නරක් වෙලා කියලා පරීක්ෂණවලින් කිව්වා. අපි ජීවත්වෙන පළාතේ වතුරත් හොඳයි. ඒ ගැනත් අපි ඩොක්ටර්ස්ලට කිව්වා. අන්තිමේදී දුවගේ රෝග ඉතිහාසය ගැන පරීක්ෂා කරලා මීට අවුරුදු නවයකට වගේ ඉස්සර කුණකටුවාගේ දෂ්ට කිරීම නිසා
වකුගඩු නරක් වෙන්න ඇති කියලා ඩොක්ටර්ස්ලා තීරණයකට ආවා. කුණකටුවා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක් නිසා මේ තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙන බවයි ඩොක්ටර්ස්ලා අපට කිව්වේ. පස්සෙ අපිව රත්නපුර හොස්පිට්ල් එකට යැව්වා. ඊට පස්සෙ නවලෝකෙටත් අපි ගියා. අන්තිමට අපි මාලිගාවත්ත වකුගඩු රෝහලටත් ගියා. එතනදී දුවට වකුගඩුවක් බද්ධ කරන්න අවශ්‍ය බව ඩොක්ටර්ස්ලා කිව්වා.
අපි වකුගඩු දායකයෙක් සොයාගත්තත් ඒ කාගෙවත් වකුගඩු මුලින් දුවට ගැළපුනේ නැහැ. ඒ නිසා අපි කාලයක් රුධිර කාන්දුකරණය කළා. මේ අතරෙදි තමයි අපට රත්නපුරෙන් දායකයෙක් හමුවුණේ. ඒ වකුගඩුව දුවට ගැළපුණා. වකුගඩු බද්ධය 2023 වසරේ ඔක්තෝබර් 4 ට කරන්න දින ලැබුණා. ශල්‍යකර්මයට පෙරාතුව සිදුකළ පරීක්ෂණවලින් දුවගේ මුත්‍රාශය කුඩා බව ඩොක්ටර්ස්ලා දැනගත්තා. ඒ නිසා වකුගඩුවක් බද්ධ කළත් මුත්‍රා පිටවීමට බාධා ඇතිවන නිසා වකුගඩු බද්ධ කිරීමට පෙරාතුව කෘතිම මුත්‍රාශයක් සකස් කරන්න ඕන කියලා ඩොක්ටර් නිරෝෂන් සෙනවිරත්න කිව්වා.
ඒ සර්ජරි එකෙන් පස්සේ මාසයක් අපි හොස්පිට්ල් හිටියා. ඊට පස්සේ නොවැම්බර් 24 වැනිදා තමයි වකුගඩුව බද්ධ කළේ.මෙයා තමයි අපේ එකම දරුවා. මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්.පසුගිය කාලයේම දුවගේ අසනීපය නිසා හිතේ සැනසිල්ලක් අපිට තිබුනේම නැහැ. නමුත් දැන් දුව වගේම අපි හැම දෙනාම ඉන්නේ හිතේ සැනසිල්ලෙන්. විශේෂයෙන්ම මම අපේ මිනිස්සුන්ට කියන්නේ සර්පයන් දෂ්ඨ කරාම ගොඩ වෙදකම් කරන්න එපා. ගණන් නොගෙන ඉන්නත් එපා. ළඟම තියෙන හොස්පිට්ල් එකට යන්න. පුළුවන් නම් දෂ්ඨ කළ සර්පයත් අරගෙන යන්න. එතකොට ප්‍රතිකාර කරන්න ලේසියි. නැත්නම් මගේ දරුවට වෙච්ච දේ අනෙක් දරුවන්ටත් වෙයි.
මෞත්‍රලිංගික සහ වකුගඩු බද්ධ කිරීම පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
නිරෝෂන් සෙනෙවිරත්න
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අර්ජුන මාරසිංහ
හරින්දී ලියනගේ ✍️