අපේ නිවසක බුදුපිළිම වහන්සේ නමක් එහෙම නැත්නම් බුදුරජාණන්වහන්සේගේ ඡායාරූපයක් තිබූ පමණින් අප බෞද්ධයන් යැයි පිළිගැනීමට බැහැ. සැබෑම බෞද්ධයෙක්වීමට නම් බුදුරජාණන්වහ්නසේගේ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව, සම්බුද්ධ ධර්මය අනුගමනය කිරීම වැනි ගුණාංගයන්ගෙන් යුක්ත විය යුතුයි. අපේ බුදුරජාණන්වහන්සේ මිනිසුන් අතර උතුම් වූ මනුෂ්‍ය රත්නයක්. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ අපි ඉතිපිසෝ ගාථාවෙන් සජ්ඣායනා කළ පමණින් අප බෞද්ධයන් වන්නේ නැහැ. මේ පාලි සිංහල අර්ථය ගැනත් සිහිපත් කරමින් වන්දනා කරන්නේ නම් අපට එය බුදුගුණ භාවනාවක්. ඒ වගේම බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ නිසා බෞද්ධයන් විදිහට අපි බුදුගුණ සජ්ඣායනා කිරීමේදී සිංහල අර්ථය දැන ගෙන වන්දනා කිරීම සිදු විය යුතුමයි.
බෞද්ධ නිවසක බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම…
බෞද්ධයන් වන අප අවම වශයෙන් දිනකට වතාවක් හෝ සම්බුද්ධ වන්දනාව සිදු කරන්න ඕන. මේ වෙනුවෙන් අපි නිවසේ බුදුපිළිමවහන්සේ නමක් හෝ බුදුරජාණන්වහන්සේගේ ඡායාරූපයක් තබා ගන්නවා නම් එය උන්වහන්සේට ගෞරවයක් ඇති සිතින් තැන්පත් කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ නිවසේ බුදු පිළිමවහන්සේ තැන්පත් කිරීමේදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා.
නිවසේ උසම තැනක බුදුපිළිම වහන්සේ තැන්පත් කරන්න.
ඉහළ මහලක් ඇති නිවසක නම් බුදු පිළිමවහන්සේ තබා ඇති ස්ථානය ගැන දෙවරක් සිතීම අවශ්‍යයි. සමහර විට පහළ මාළයේ බුදු පිළිම වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානය ඉහළ මාලයේ ඔබ ඇවිදින විට හසු වෙන තැනක් නම් එය බුදුරජාණන්වහ්නසේට සිදු කරන අගෞරවයක්. ඒ නිසා බිම් මහලේ බුදුපිළිමවහන්සේ නමක් තැන්පත් කරනවා නම් ඊට සමාන්තරව උඩු මහලේ අදාල කොටස නිවැසියන්ගේ පෑගීමට පත් නොවන සේ තැබීම වැදගත්. එම ස්ථානය ආවරණය වන පරිදි සකස් කර ගැනීමෙන් පහළ මාලයේ බුදුපිළිමවහන්සේ ගෞරවයෙන් තැන්පත් කරන්න.
මහල් කීපයකින් යුක්ත නිවසක නම් උඩු මහලේ බුදු පිළිමවහන්සේ තැන්පත් කරන්න. නමුත් වයස්ගත අය සිටිනවා නම් ඔවුන්ගේ පහසුව තකා මුලින් සඳහන් කළ අන්දමට පයට නොපෑගෙන සේ තැන්පත් කරන්න.බුදුපිළිමවහන්සේ තැන්පත් කර ඇති ස්ථානයට ඉහළින් පියගැටපෙලක් තිබෙනවා නම් එවැනි ස්ථාන සුදුසු නැහැ. ඔබ පියගැට පෙල දිගේ ඉහළ පහළ යන විට බුදුසිරස ඔබේ පයට පෑගීමක් සිදු වෙනවා.
බුදුපිළිම වහන්සේ තැන්පත් කිරීමට දිශාවක් අවශ්‍ය වෙනවාද…?
බුදුපිළිමවහන්සේ නමක් නිවසේ තැන්පත් කිරීමේදී උන්වහන්සේ තැන්පත් කරන දිශාවට වඩා ඔබේ ශ්‍රද්ධාව වැදගත්. ඒ වගේම නැගෙණහිර දිශාවට බුදුපිළිමවහන්සේ තැන්පත් කිරීම වඩාත් සුදුසුයි. බුදුරජාණණ්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ නැගෙණහිර දිශාවට මුහුණ ලා. බටහිර දිශාවට සුදුසු නැහැ. සමහර විට ඔබේ නිවසේ පිහිටීම අනුව නැගෙණහිර දිශාවට තැන්පත් කිරීම අපහසු නම් උතුර හෝ දකුණු දිශාවට තැන්පත් කිරීම වරදක් නැහැ.
ඒ වගේම නිවසට ඇතුලු වනවිට බුදුරජාණන්වහන්සේ දකින්නට හැකි සේ තැබීමත් ඉතාම සුදුසුයි. ඇතැම් නිවෙස්වල දොර ඇතුලතින් වසා ඇති විට පමණක් දකින සේ බුදුපිළිමවහන්සේ තබා තිබෙනවා.ඒ වගේම ඔබ සැලසුම් සහිතව නිවසක් ඉදිකරනවා නම් නිවසෙන් පිටත බුදුකුටියක් ඉදි කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එය වඩාත් සුදුසුයි.
බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර ඇති ස්ථානයක දේව රූප හෝ ප්‍රතිමා තබා ගැනීම සුදුසුද…?
බෞද්ධයන් විදිහට අපට බුදුරජාණන්වහන්සේට වඩා උතුම් සරණක් නැහැ. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං- බුද්ධ රත්නයේ සරණ හැර මට වෙනත් සරණක් නැත. බුදුරජාණන්වහන්සේ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, දේවාති දේව වූ, මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට සහ බ්‍රහ්මයින්ටද, සසර කතරින් එතෙර වීම සඳහා අනුහාසනා කළ හෙයින්, “සත්ථා දේවමනුස්සානං ”වන සේක. ඒ නිසා බෞද්ධ නිවසක බුදු පිළිමවහන්සේ නමක් තබන ස්ථානයේ දේව ප්‍රතිමා සහ වෙනත් ප්රතිමාවන් තැබීම සුදුසු නැහැ. සැරියුත් මුගලන් වහන්සේලාගේ ප්‍රතිමා වුවත් තැන්පත් කරනවා නම් එය බුදුපිළිමවහන්සේට මදක් පහළින් තැන්පත් කරන්න.
බුදුපිළිමවහන්සේට දන්, පැන් පූජා කිරීම…
බුදුපිළිමවහන්සේ නමක් නිවසේ තැන්පත් කිරීමෙන් පමණක් ඔබ සැබෑ බෞද්ධයෙක් වන්නේ නැත. සම්බුද්ධ පූජාවන් පැවැත්වීමත් සිදු කළ යුතුයි. මල්, පහන්, ගිලන්පස, බුද්ධ පූජාවන් පැවැත්වීම සිදු කළ යුතුයි.බොහෝ දෙනාට දවල් බුද්ධ පූජාව පූජා කිරීමට ඇති අපහසුතාවය නිසා සම්බුද්ධ පූජාවන් පැවැත්වීමට යම් පසුගාමී බවක් දක්වනවා. නමුත් ඔබට හැකි විටක හීල්, දානය, දවල් බුද්ධ පුජාව, ගිලන් පස පූජාව පැවැත්වීමට පුළුවන්.
ඒ වගේම බුද්ධ පූජාවන් පවත්වන විට බොහෝ දෙනා තෝරා ගන්නා භාජන ගැනත් සැලකිලිමත් වීම වැදගත්. ඔබ විසින් නිවසේ ආහාරයට ගෙනා අයිස්ක්‍රිම් හෝ මාගරින් භාජන මේ සඳහා තෝරා ගැනීම සුදුසු නැහැ. නොඉඳුල් පිරිසිදු භාජන මේ වෙනුවෙන් තෝරා ගන්න. බුද්ධ පූජාව තැබීමෙන් පසු එය දවල් 12 ට පෙර ඉවත් කරන්න. ඒ වගේම දානය බෙදීමේදී ඉතාම කුඩා භාජනයක් වෙනුවට යම් පරිමාවක් ඇති භාජනයක් තෝරා ගන්න.
අපි මේ සම්බුද්ධ පුජාව පවත්වන්නේ සම්මා සම්බුදුරජාණන්වහන්සේටය… යන බුද්ධාලම්බන ප්ර්රීිතිය අපේ චිත්ත සන්තානයේ තිබිය යුතුයි. එසේ නොමැතිව අනුන් කරන නිසා හෝ තවත් කෙනෙකු විසින් මෙය කරන්නට යැයි ලබා දෙන උපදෙස් නිසා නොව බෞද්ධ සැදැහැතියෙකුගේ මනසින් සහ පිරිසිදු ක්‍රියාවෙන් මෙම බුද්ධ පූජාවන් පැවැත්වීම ඉතාම වැදගත්.
බුදුපිළිමවහන්සේ නමක් තැන්පත් කර ඇති ස්ථානය පිරිසිදුව තබා ගන්න. පිළිමවහන්සේගේ දූවිලි පිස දැමීම පිරිමියෙකු විසින් කිරීම වඩාත් සුදුසුයි. නිවසේ බුදුපිළිමවහන්සේගේ සිරුර හෝ ශරීරයේ කැඩී බිඳීම් සිදු වී ඇත්නම් එය පන්සලකට ගෙන ගොස් ස්වාමින්වහන්සේගේ අවසරය පරිදි සුදුසු තැනක තැබීම සුදුසුයි. කැඩුණු බිඳුණු බුදුපිළිම වහන්සේලා තබා ගෙන එම ස්ථානයත් වැලි දූවිලි වැටී අපිරිසිදු වීමට ඉඩ තිබෙනවා.
පඬුරු ගැට ගැසීම…
ඔබ නිවසේ බුදුපිළිමවහන්සේ තැන්පත් කර ඇති ස්ථානයේ පඬුරු ගැට ගැසීම සුදුසු නැහැ. පඬුරු ගැට ගසමින් ඉල්ලීම් කරනවාට වඩා ඔබ බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීමෙන් ලබා ගන්නා පිං දෙවියන්ට අනුමෝදන් කරන්න. එවිට දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙනු ඇති.
ශාස්ත්‍රපති පූජ්‍ය පොල්පිටිමුකලානේ
පඤ්ඤාසිරි ස්වාමින්වහන්සේ
අනුශාසක – මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරය, කඩවත.
හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️