ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය අනුව ස්ත්‍රී දූෂණය යනු බලවත් අපරාධමය වරදකි. මෙම බරපතල අපරාධමය වරද සරලව අර්ථ දක්වන්නේ නම් ස්ත්‍රී දූෂණයක් යනු යම් කාන්තාවකගේ කැමැත්තකින් තොරව, බලහත්කාරයෙන් පුරුෂයකු ඇය හා ලිංගික සංසර්ගයේ යෙදීමයි. ස්ත්‍රී දූෂණය සඳහා නෛතික අර්ථකතන ලබා දෙන්නේ 1883 අංක 02 දරන ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියයි. එමෙන්ම ස්ත්‍රී දූෂණය නැමැති අපරාධ වරදේ ප්රභේදයන් කිහිපයක් නීතිය මඟින් හඳුනා ගෙන ඇත. ඒ ස්ත්‍රී දූෂණය, ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දූෂණය, රංචු ගැසී දූෂණය කිරීම, වෛවාහක ස්ත්‍රී දූෂණය ආදියයි. මේ අතරින් අඩුවෙන් කතා බහට ලක් වෙන වෛවාහක ස්ත්‍රී දූෂණය පිළබඳව මෙම ලිපිය මඟින් යම් අවබෝධයක් ලබා දීම අපේක්ෂාව වේ.
වෛවාහක ස්ත්‍රී දූෂණයක් යනු කුමක්ද?
වෛවාහක ස්ත්‍රී දුෂණයක් යනු විවාහයක් තුළදී, ස්වාමිපුරුෂයා සිය විවාහක බිරිඳගේ කැමැත්ත බැහැර කරමින් ඇය සමඟ බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදීම ලෙසින් හඳුන්වාදිය හැකිය. මෙය කාන්තාවකගේ අයිතිවාසිකම් සහ ශාරීරික ස්වාධීනත්වය සම්බන්ධයෙන් පවතින බරපතල සමාජීය ගැටලුවකි.
වෛවාහක ස්ත්‍රී දූෂණය සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ වාර්තා දැකිය හැකිද?
කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවීම් ශ්‍රී ලංකාව තුළ නිරතුරු අසන්නනට දකින්නට ලැබුණත් වෛවාහක ස්ත්‍රී දුෂණය පිළිබඳව වාර්තාවීම් සුලභ නොවේ. ශ්‍රී ලංකාව තුළ පවතින සදාචාරය හා පෙරදිග සමාජ සන්දර්භය නිසාවෙන් නිදන කාමරය තුළ සිදුවන කිසිදු ලිංගික හිරිහැරයක් සහ අපයෝජනයක් නිදන කාමරයෙන් එළියට රැගෙන යාමට කාන්තාවන් තවමත් සූදානම් නැති බවක් පෙනී යයි.
මෙයට හේතුව පවතින සමාජය තුළ විවාහය යනු පූජනීය බන්ධනයක් ලෙස සලකනු ලැබීමත් විවාහය තුළ සිදුවන සෑම දෙයක්ම පෞද්ගලික කාරණයක් ලෙස සලකනු ලබන නිසාවෙනි. කාන්තාවන් තමන්ගේ සහ දරුවන්ගේ ආත්ම ගරුත්වය රැකගැනීමට සහ සමාජයෙන් ලැබෙන නරක ප්‍රතිචාර වැළැක්වීම සඳහා මෙවැනි කාරණා පොලිසියට වාර්තා කිරීමට මැලි වෙති. කෙසේ නමුත් මෙවැනි තත්ත්වයන් නිසා කාන්තාවන් විවිධ කායික සහ මානසික පීඩාවන්වලට ගොදුරු වන අතර විශාදය වැනි මානසික රෝග වැළඳීම නිසා සියදිවි හානි කර ගැනීම් ද බහුලය.
ශ්‍රී ලංකාව තුළ වෛවාහක ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් තිබෙනවාද?
ශ්‍රී ලංකාවේ නීතියට අනුව වෛවාහක ස්ත්‍රී දුෂණය වරදක් ලෙස සැලකෙන්නේ පුරුෂයකු තම බිරිඳ විවාහයෙන් නීතිමය වශයෙන් වෙන්වී සිටින අවස්ථාවකදී ඇයගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් ලිංගික එක්වීමකදීය. නමුත් සක්‍රීය විවාහයක් තුළදී සිදුවන ස්ත්‍රී දුෂණය නැතහොත් බිරිඳගේ කැමැත්ත නොසලකා හරිමින් කරන බලහත්කාර ලිංගික එක්වීම ශ්‍රී ලංකාවේ නීතිය තුළදී තවමත් වරදක් ලෙස පිළිගනු නොලබයි.
එම නිසා විවාහයක් ආශ්රිත ස්ත්‍රී දූෂණය වරදක් ලෙස පිළිගනු ලබන්නේ අධිකරණමය වෙන්වීමේ නියෝගයක් පවතින විට සහ අධිකරණය විසින් ස්වාමිපුරුෂයාට එරෙහිව ආරක්ෂක නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවකදී පමණි.
ගෝලීය වශයෙන් මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා වුවද විවාහය තුළ සිදුවන ස්ත්‍රී දුෂණයට එරෙහි වූ සවිමත් නීතීන් ශ්‍රී ලංකාවද ඇතුලුව සමහර රාජ්‍යන් තුළ ක්‍රියාත්මක නොවන බවක් මේ අනුව පෙනී යයි.
වෛයිවාහක ස්ත්‍රී දුෂණයකදී කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු මොනවාද?
වෛයිවාහක ස්ත්‍රී දුෂණයකට ලක්වන කාන්තාවන් බොහෝ විට ආතතිය, භීතිකාව, විශාදය, චිත්තවේගීව අස්ථාවරතාවය සහ විවිධ මානසික ගැටලුවලට ගොදුරු වෙති. එමෙන්ම ස්වාමි පුරුෂයා මත බිරිඳගේ නඩත්තුව හා පෝෂණය රඳා පවතී නම් එවැනි විටකදී වෛවස්ථාපිත ස්ත්‍රී දූෂණට එරෙහිවීමට ස්ත්‍රීයට ඇති හැකියාව අවම වන ආකාරයක් දැකිය හැකිය.
මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ශාරීරික තුවාල, ලිංගික රෝග සහ ගැබ් ගැනීම් සම්බන්ධව ගැටලු වලට මුහුණ පෑමට ස්ත්රීන්ට සිදුවන අයුරු දක්නට හැකිය. එමෙන්ම පවුල්වල ඇතිවන ආරවුල් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමට මූලික වශයෙන් බලපෑමක් ඇති කරයි. කාන්තාවන්ගේ ආත්ම විශ්වාසයට හානි වීම් නිසා සියදිවි හානි කර ගැනීම් ද බහුල වේ.
විවාහක් තුළ සිදුවන ස්ත්‍රී දුෂණයකට මුහුණ දෙන ස්ත්රීන්ට ශ්‍රී ලංකාවේ නීතියෙන් පිළිසරණක් නොමැත්තේද?
තම සහකරුවා වෙතින් ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙන විවාහක කාන්තාවන්ට නීතිමය පිළිසරණක් ලබා ගැනීමට නෛතික ප්‍රතිපාදන වර්ෂ 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත මඟින් දක්වා ඇත. නමුත් එය 1883 අංක 02 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ 363 වගන්තිය මඟින් ස්ත්‍රී දූෂණයක වරදකරුවන්ට ලබා දෙන්නාවූ දණ්ඩනයන් මෙන් මෙන් ප්‍රභල නොවන අතර එම වින්දිතයන්ට මෙන් විශාල අනුග්‍රහයක් මෙම නෛතික ප්‍රතිපාදන මඟින් නොලැබේ.
නමුත් මෙවැනි ලිංගික හිංසාවන් වලට ගොදුරුවන ස්ත්රීන්ට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව සිය කලත්‍රයාගෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක නියෝගයක් ලබා ගැනීමට හැකියාවක් ඇත. ඒ මඟින් අධිකරණය වෙතින් නෛතික වෙන්වීමක් ලබා ගැනීම සඳහා වූ පදනමක් සකසා ගැනීමටද වින්දිත ස්ත්රීන්ට හැකියාවක් ඇත.
මෙවැනි තත්ත්වයන්වලට මුහුණ දෙන කාන්තාවන් පළමුව කුමක් කළ යුතුද?
එවැනි අවස්ථාවකදී පොලිස් හදිසි ඇමතුම් අංකය 119 ඇමතීමට පුළුවනි. එමෙන්ම ගෘහස්ථි හිංසනයන් සම්බන්ධව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමට හැකිය. එමෙන්ම නීති ආධාර කොමිෂන් සභාවෙන් නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමේ හැකියාවක්ද පවතී. කාන්තා ළමා කටයුතු අමාත්‍යංශයෙන් සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයෙන්ද, විවිධ කාන්තා බලගැන්වීම් භඨධ සංවිධාන සහ විවිධ උපදේශන සේවයන්ගෙන් මෙවැනි හිංසාවන් සඳහා උපදේශනයන් ලබා ගත හැකිය.
වෛවාහක ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් සමාජයේ දැනුවත්භාවය වැඩි කිරීමට කුමක් කළ හැකිද?
නෛතික ප්‍රතිපාදන ඉක්මවා යමින් සමාජීය කතිකාවතක් මේ පිළිබඳව ඇති කර ගැනීමට පෙළඹීම මෙම නූතන සමාජයේ ප්රමුඛ අවශ්‍යතාවක් වී ඇති බව පෙනීයයි.වෛවාහක ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් සමාජයේ දැනුවත්භාවය වැඩි කිරීමට විශ්වවිද්‍යාල හා සමාජ ආයතන තුළ අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම, මාධ්‍ය හරහා දැනුවත් කිරීම සහ සමාජ සංවාද ඇති කිරීම වැදගත් වන අතර නීතිමය ප්‍රතිසංස්කරණ සහ කාන්තාවන් ශක්තිමත් කිරීම ද අත්‍යවශ්‍ය වේ.
මෙවැනි සමාජීය ගැටලු සම්බන්ධයෙන් කාන්තාවන් විශ්වාසවන්ත අයෙකු සමග කතා කිරීම, අදාළ ආයතනවලින් සහාය ලබා ගැනීම සහ නීතිමය හෝ මානසික සහාය ලබා ගැනීම තම ආරක්ෂාව සහ සුබසාධනය සඳහා පළමු පියවර වේ.කාන්තාවන්ගේ හඬට කන් දීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් හා අත් නොහැරිය යුතු කාර්යභාරයකි.
නීතිඥ මිහිෂා පෙරේරා
mihishaniperera7@gmail.com