කුණු ගැන කතාකරන විට දැන් කාබනික කුණුවලට වඩා අපගේ කතාබහට ලක්වෙන්නේ ජීරණය නොවන ප්ලාස්ටික්, පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය ගැනයි. පොලිතින්, ප්ලාස්ටික්වලින් තොර ලෝකයක් කිව්වත් එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට විකල්ප විසඳුම් තවවමත් සාර්ථක නැහැ. නමුත් ඒ වෙනුවෙන් සාර්ථක විකල්ප විසඳුම් සොයන සහ ප්‍රායෝගිකව ඒ විසඳුම් ක්‍රියාත්මක කළ පුද්ගලයකු ගැන අපට දැනගන්න ලැබුණා.
ඔහු නමින් සුලලිත පෙරේරා. බණ්ඩාරගම පදිංචි ඔහු බණ්ඩාරගම මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව විදේශගතව වසර ගණනාවක් ගතකිරීමෙන් පසුව ලංකාවට පැමිණියා. එතැනින් පසුව වසර 21 ක් ම විවිධ ආයතනවල සේවය කළා. ඔහු සඳහන් කරන අන්දමට වසර 21 ක් තුළ සේවයේ යෙදුණ ආයතන හයෙන් හතරක්ම ප්ලාස්ටික් පොළිතින් සම්බන්ධ ආයතන වීමත් අද ඔහුගේ ‘Sutotrims’ නිෂ්පාදන සන්නාමය ගොඩනගා ගැනීමට ප්‍රයෝජනවත් වූ බව සඳහන් කරනවා. එහෙම නම් ඒ පසුබිම් කතාවට ඔහුට ඉඩදෙමු.
ඔබ මුලින් සඳහන් කළ ආයතනයන්හි සාමාන්‍යාධිකාරී (විකුණුම් සහ ප්‍රවර්ධන) තනතුරක මම සේවය කළා. කොවිඩ් වසංගතයත් සමග මගේම කියන යමක් කළ යුතුය යන අදහසක් හිතට ආවා. ඒ නිසා මම පොලිතින්, කාඩ්බෝඩ් එකතු කරල ඒවා ප්‍රතිචක්‍රිකරණයෙන් පසුව අමුද්‍රව්‍යක් විදිහට අලෙවි කළා.
ඒ වෙන විට ඇගළුම් කම්හල්වල ඇඳුම් ඇසුරුම් කිරීමට පිටරටවලින් ගෙන්වා ගත් අමුද්‍රව්‍ය භාවියෙන් යොදාගත් බෑග් යොදාගෙන තිබුණා. ඒ පොලි බෑග් එක වෙනුවට මම අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. මම මේ පොලි බෑග් අපනයන කටයුතු සඳහා ඇගළුම් කම්හල්වලට අලෙවි කළා. මේ බෑග් වෙනුවෙන් යුරෝපා රටවල්වලින් ලොකු ඉල්ලුමක් ලැබුණා. ඒ නිසා අපේ රටට ඩොලර් ආදායමක්ද ලැබුණා.
මම යන්ත්‍රයක් යොදාගත්තා…
ප්‍රතිචක්‍රිකරණය කරපු අමුද්‍රව්‍ය වෙනුවෙන් ඉල්ලුමක් තිබෙන බව තේරුන නිසා මේ වෙනුවෙන්ම යන්ත්‍රයක් යොදාගෙන අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර අපේ සැපයුම වැඩි කරන්න පටන් ගත්තා. ප්‍රතිචක්‍රිකරණය වෙනුවෙන් අවශ්‍ය, ඉවත දමන දේවල් මට වැඩියෙන් අවශ්‍ය වුණා. ඒ නිසා මම ඇගළුම් කර්මාන්තශාලාවලින්, ආහාර නිෂ්පාදන සහ වෙනත් විවිධ කර්මාන්තශාලාවලින් ඉවත දමන ගණ අපද්‍රව්‍ය මම මිලට ගත්තා.
රජයේ කුණුත් අපි ගන්නවා…
අපි එතැනින් නැවතුනේ නැහැ. මීට වසර කීපයකට පෙර මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය බව ඔබට මතක ඇති. පළාත් පාලන ආයතනවලින් එකතු කරන ගණ අපද්‍රව්‍ය කඳු විදිහට ගොඩවෙනවා. අපි පළාත් පාලන ආයතනවලින් ඒවා මිලට ගන්නවා. දැන් අපි පළාත් පාලන ආයතනවලින් එකතු කරන කුණු එකතුවේ තිබෙන පොළිතින්, ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් මිලට ගන්නවා. දැනට බණ්ඩාරගම, හොරණ, පානදුර, කළුතර, ඉංගිරිය, පොකුණුවිට ඇතුළු ප්‍රාදේශීය සභා 14 කින් සහ නගර සභා තුනකින් සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ පාලනය වන කුණු එක් රැස් කිරීමේ මධ්‍යස්ථානවලින් අපි කුණු මිලට ගන්නවා. මේ විදිහට රාජ්‍ය ආයතනවලින් මුදලට කුණු මිලට ගැනීම සුවිශේෂී දෙයක්. රාජ්‍ය ආයතනවලට නොවටිනා දෙයටත් අපි යම් වටිනාකමක් ලබාදෙනවා.
ගෘහාශ්‍රිතව ආදායමක් ලැබීමට…
මේ ඉවත දමන ඝන අපද්‍රව්‍ය ප්රතිචක්රී්රියකරණයට පෙරාතුව ඒවායේ තිබෙන පියවි ඇසට නොපෙනෙන තරමේ සෙලෝටේප්, කටු වැනි දේවල් ඉවත් කිරීමට අවශ්‍ය වෙනවා.මේ වෙනුවෙන් අපි කාන්තාවන් යොදවාගන්නවා. මේ ඉවත දමන පොලිතින් ගලවා වෙන්කර දීම වෙනුවෙන් කිලෝ එකක් වෙනුවෙන් රුපියල් 30 ක මුදලක් ගෙවනවා. අපි මේ ව්‍යාපෘතිය Home uinit යනුවෙන් හඳුන්වා දී තිබෙනවා.
රැකියා විරහිතව නිවසේ සිටින කාන්තාවකට මාසිකව රුපියල් 30,000 කට නොඅඩු ආදායමක් උපයනවා. නිවාස 17 ක කාන්තාවන් මේ සඳහා සහභාගිවෙනවා. එය අතිරේක ආදායමක් විතරක් නොවෙයි, මේ ආදායම ලැබීමේදී ඇයට තමන්ගේ නිවසේ සහ දරුවන්ගේ කටයුතු පවා කරගෙන ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් උපයා ගැනීමටත් අවස්ථාවක් ලැබෙනවා.
මේ ක්‍රමය තව දුරත් ව්‍යාප්ත කරන්න අදහස් කරනවාද?
ඔව්. අපි දැන් දෙවන මධ්‍යස්ථානය කරන්දෙණිය කර්මාන්ත පුරයේ ආරම්භ කරන්න සූදානම්. එය ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වෙනවා. 2025 මාර්තු මාසය වෙන විට මේ මධ්‍යස්ථානය විවෘත කරනවා.
එතැනින් නැවතුමක් නැහැ…
ඔව්. ඉදිරියේදී යාපනයේ තවත් මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පරිසර හිතකාමී ව්‍යාපෘති දිරි ගන්වන සංවිධානයක් මුදල් යොදවනවා. ඒ අතරම ‘Home Unit’ 50 ක් ආරම්භ කිරීම අරමුණ වී තිබෙනවා. මේ ඉතා සුවිශේෂී තත්ත්වයක්. ඇත්තටම මේ වෙනුවෙන් ආයෝජකයන් මුදල් යොදවනවා නම් මෙවැනි ව්‍යාපෘති රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන විදිහට ව්‍යාප්ත කරන්න පුළුවන්. එයින් යම් ආයෝජකයෙකුට තමන්ගේ මුදල බැංකුවේ තැන්පත් කිරීමට වඩා පස් ගුණයකින් ලාභයක් ලබාගත හැකියි. එය තවත් පැත්තකින් සමාජ සත්කාරයක්.
කුණු වුණත් පිරිසිදුව ඕන නේද?
ඔව් නිවසක කුණු බැහැර කිරීමේදී ඒවා පිළිවෙළට පිරිසිදුව බැහැර කිරීම ඉතාම වැදගත්. අද බොහෝ අය මේ ගැන හිත්නනේ නැහැ. පළාත් පාලන ආයතන වෙතින් කුණු වර්ග කිරීමට කොතරම් උපදෙස් ලබා දුන්නත් සේරම කුණු එකම විදිහට, එකම අසුරණයක තැබීම නිසා පළාත් පාලන ආයතනවලට පවා මේවා නිසි විදිහට බැහැර කිරීම අපහසුයි.
සාමාන්‍ය ගමක නම් ඉඳුල් වැනි අපද්‍රව්‍ය බැහැර කිරීමට වටපිටාවක් තිබෙනවා. ඔවුන්ට අපහසුවක් ඇත්නම් ඒ ප්ලාස්ටික්, පොළිතින් වැනි ගණ අපද්‍රව්‍ය පමණයි. නමුත් නාගරික සහ තදාසන්න ප්‍රදේශවල නිවැසියන්ට බැහැර කිරීමට ඉඩක් නැති නිසා යම් යම් ගැටලු තිබෙනවා. ඒ නිසා අපි මේ නිසි ක්‍රමවේදය නිවසෙන් පටන් ගන්න ඕන.
අද Clean Sri Lanka ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මෙහිදි විය යුත්තේ පවතින කුණු පරිසරයෙන් ඉවත් කිරීම නොවෙයි. මේ තැනට එකතු වෙන කුණු සීමා කිරීම විය යුතුයි. සැබැවින්ම කියනවා නම් අපි නිසි විදිහට කුණු බැහැර කරනවා නම් පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය 99.9% කින්ම අවම කරගන්න පුළුවන්.
අද බොහෝ දෙනාගේම සිහිනය විදේශ රටක ගිහින් ජීවත් වීම. නමුත් මම විදේශ රටක ස්ථිර පදිංචියට හිමිකම් ලබාගෙන සිටියත් අපේ රටට ආවේ රටට තිබෙන ආදරයට. මේ වගේ පරිසර හිතකාමී දෙයකින් අපේ රට වගේම අපිත් රැකෙනවා. ඒ නිසා හැකිතාක් ඔබේ නිවසේ කුණු බහැර කිරීම අවම කරන්න. ගණ අපද්‍රව්‍ය පිළිවෙළකට, පිරිසිදුවට බැහැර කරන්න. ගණ අපද්‍රව්‍ය කළමනාකරණය නිසි විදිහට සිදුවුණොත් ගෘහාශ්රිතවත් කාන්තාවන්ට ආදායම් මාර්ග පහසුවෙන්ම ලබාගැනීමට පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️