රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය – මන්දික විජේරත්න
කවුරුන් කොහොම මොන ක්ෂේත්රයේ හිටියත් ජීවිතයේ එක් කාල පරිච්ඡේදයකදී විශ්‍රාම දිවියට ඇතුළත් වෙනවා. ඒ මොහොතේදී කෙනෙකුට පෞද්ගලික ජීවිතයට වඩා වෘත්තීය ජීවිතය ගැන ආපසු හැරී බලන්නේ නම් එය ඔවුන්ව තෘප්තිමත් කරනවා නම් ඒ ගැන කතාකරන්නට දෙයක් නෑ.එවැනි කෙනෙකු ලෙස සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලෙස පැමිණ එදා වෛද්‍යවරුන් තෝරා නොගත් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වී පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය අංශයේ මහාචාර්යවරයා ලෙස සේවය කළ, රුධිර වාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මන්දික විජේරත්න පෙන්වාදිය හැකිය.මේ ඔහු කතා කරන්නේ විශ්‍රාම දිවියේ සැළසුම්වලට වඩා වසර ගණනාවක් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ඔහුට කරන්නට පුළුවන් වූ දෑ ගැනය.
ප්රෝෆෙසර් ළමා කාලයෙන්ම අපේ කතාබහ පටන් ගනිමු…
මම ඉපදුනේ 1959. මහනුවර තමයි මගේ ගම. මම පවුලේ වැඩිමලා. මට බාල නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මම ඉස්කෝලේ ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. එතකොට අපි කොළඹට ඇවිල්ලයි හිටියේ.
කොහොමද රාජකීය විද්‍යාලයේ ඔබේ ජීවිතය?
මම O/L කළේ හැත්තෑ හතරේ. A/L කළේ හැත්තෑ හතේ. මම මුල ඉදන්ම පොත් එක්ක ජීවිතේ ගත කරපු ළමයෙක්. ජූනියර් කාලේ ක්‍රිකට් සෙල්ලම් කළා. ඒත් වැඩි බර තිබුණේ ඇකඩමික් වැඩවලට. ස්පෝට්ස් කරද්දී උදේ ඉඳන් හවස් වෙනකම් ඉස්කෝලේ ඉන්න වෙනවා. ට්‍රේනින් කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. ඒ නිසාම වැඩිය ස්පෝට්ස්වලට කාලය වෙන් කරන්න මට කැමැත්තක් ඇතිවුණේ නැහැ.
ඇයි උසස් පෙළට සයන්ස් කරන්න හිතුවේ?
O/L කලාට පස්සේ තමයි ඒක හිතුණේ. මට මුලදි නම් බයෝ කරනවා කියල ආසාවක් තිබ්බෙම නෑ. මම කැමැත්තෙන් හිටියේ මැත්ස්වලට. වැඩිපුර ලකුණු තිබ්බෙත් මැත්ස්වලට. ඒත් මගේ කැමැත්ත කොහොම වුණත් අනාගතේ ගැන හිතල බයෝ කරන්න හිතුවා. ගෙදරිනුත් එහෙම කිව්වා.
මොකද මැත්ස් කරනවා නම් ගොඩක්ම ජොබ්ස් තිබුණේ පිටරට. ඒ කාලේ කාටවත් රට යන්න අසාවක්වත් හයියක්වත් තිබුනෙ නෑ. තවත් දෙයක් තමයි ඒ කාලේ සල්ලි තිබ්බත් රට ගියෙත් නැහැ. ඒ නිසාම ඩොක්ටර් කෙනෙක් වෙන්න බලාගෙන මම බයෝ කළා. මුලින් ලොකු කැමැත්තකින් නොකළත් පස්සේ කැමැත්තක් ඇති වුණා සබ්ජෙක්ට් නිසා.
මම A/L කරද්දී තිබ්බේ කොළඹ සහ පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි විතරයි. මම කොළඹ ෆැකල්ටි එකට තේරුණාට පස්සේ තමයි කරාපිටියට මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ෆස්ට් බැජ් එක ගත්තෙත්. මුල් අවුරුදු දෙකේ මම මෙඩිකල් ෆැකල්ටි එකට ගියේ හරිම අකමැත්තෙන්. ස්ටඩිස් කළෙත් අකමැත්තෙන්. මෙකද මම කටපාඩම් කරන සිස්ටම් එකට කැමති වුණේ නැති නිසා.
ඒකට හේතුව මම කැමති හිතලා තීරණ ගන්න පුළුවන් ප්‍රායෝගිකව ඉගෙනගන්න සිස්ටම් එකකට නිසා. ඒත් බයෝ කරද්දී මට ඒ සිස්ටම් එකට හුරු වෙන්න වුණා. අද ටිකක් ඒ තත්ත්වය වෙනස් වෙලා තිබුණත් ඒ කාලේ මට මුලින් ෆැකල්ටි ජීවිතේ නීරස වුණා. අවුරුදු දෙකකින් පස්සෙ හොස්පිටල් එකට ආවා ට්‍රේනින්වලට. ඒ කාලෙදි අපට මොළේ වෙහසන්න තමයි තිබ්බේ. ගිරව් වගේ පාඩම් කරනවට වඩා හිතල තීරණ ගන්න වුණා. ඒ නිසාම මෙඩිසින්වලට කැමැත්තක් ඇති වෙන්න ගත්තා.
එතකොට ඔබ ශල්‍ය වෛද්‍ය පැත්තට වැඩිපුර නැඹුරු වුණේ ඇයි?
සර්ජරිවලදී ඉක්මනින් හරිම තීරණය ගන්න ඕන. හරි විදියටම කිව්වොත් ඒක මාර අභියෝගයක්. මම කැමති වුණා ඒ අභියෝගයට. ඒ නිසයි සර්ජරි මම තෝරගත්තේ. සර්ජරිවල විභාග ඔක්කොම මම එකපාරින් හොඳට පාස් වුණා. 83 දී MBBS ඉවර කළා. 84 දී ඉන්ටන්ර්ශිප් එක ලැබුනෙත් කොළඹ මහරෝහලට. 85 දී සර්ජරි පෝස්ට් ග්‍රැජුවේට් එකත් මම කළා. 87 දී තමයි සර්ජරි ෆයිනල් එක්සෑම් තිබ්බේ. මම ඩිග්රි එක කම්ප්ලීට් කරද්දි තමයි JVP කලබල රටේ ආවේ. ඒක නිසා මගෙන් පස්සේ බැජ් එක ෆැකල්ටි එකේ හිර වුණා. කැම්පස් වහල තිබ්බා. මම නූලෙන් ඒ ප්‍රශ්නෙන් බේරුණා.
සර්ජරි එක්සෑම් ඉවර කළාට පස්සේ එංගලන්තෙට ගියා වැඩිදුර ඉගෙනගන්න. 91 දි තමයි ආපහු ආවේ. ඊට පස්සෙ තමයි ඉන්ටවිව්වලින් තේරිලා කොළඹ විශ්වවිද්‍යාලයට ආවේ. මම රුධිර වාහිනි බද්ධ කිරීම පැත්තෙන් තමයි සර්ජරි වැඩිදුර ඉගෙන ගත්තේ. අද වෙනකොට මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොළඹ මහා රෝහලට ඇවිල්ලා මේ මොහොතේ විශ්‍රාම යෑම දක්වා අවුරුදු හතළිස් හතරක්ම වැඩ කරලා තියෙනවා.
ඔබ වෛද්‍ය පීඨයේදීත් ප්රායෝගිකත්වයට ප්‍රිය කරපු කෙනෙක් කිව්වා. එතකොට ඔබ කොහොමද කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ට තියරි පැත්ත ආසාව එන්න ඉගැන්නුවෙ?
මට ඒක අමාරු වුණා. දේශනවල කටපාඩම් ශෛලියට මම කොහොමත් කැමති වුණ පුද්ගලයෙක් නෙවෙයිනේ. ඒ නිසා වෙන්න ඇති අදටත් කොළඹ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා අතර මම ඒ තරම් ජනප්‍රිය නැත්තේ.
රුධිර වාහිනී බද්ධ කිරීම පිළිබඳව අපේ රටේ ජනප්‍රිය නොවූ යුගයක ඔබ කොහොමද ඒ සඳහා යොමුවුණේ ?
හැත්ත ගණන්වලදී තමයි වැස්කියුලර් සර්ජරි මගේ චීෆ් ආරම්භ කරලා තිබුණේ. එයත් එක්ක මුලින් මමත් වැස්කියුලර් සර්ජරිවලට සම්බන්ධ වුණා. අදට වඩා ලොකු තරඟයක් එදා වැස්කියුලර් සර්ජරි පැත්තේ තිබුණා. මෙඩිකල් යුනිවසිටි දෙක තුනක් තිබ්බත් අපට මේ ගමන පහසුවෙන් එන්න බැරි වුණා.
මම කැමති පැත්ත මුල ඉදන් හිතන් ඉඳල ඒකටම වැඩ කළා. මට කරන්න පුළුවන් පැත්ත ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. මට මෙඩිකල් ෆැකල්ටි එකෙන් අවුට් වෙනකොට First Class එකක් තිබුණේ නෑ.Second Class එකක් තමයි තිබ්බේ. ඒ නිසත් කකුලෙන් ඇදීම් තිබුණා. සර්ජරිවලදි ප්‍රයෝගිකත්වය තමයි ක්ලාස් එකට වඩා මට මේ තත්ත්වෙට එන්න වැදගත් වුණේ. මම අවුරුදු අටක් විතර ට්‍රේනින් කළා. ඒ විදිහට තමයි වැස්කියුලර් සර්ජරි පැත්ත ඉගෙනගත්තේ. 1999 යුද්ද කාලේදී අපි ගොඩක් වැඩ කළා. සෙබළු තුවාල වෙලා එද්දී ඒ සර්ජරි පැය ගණන් කළා. ඒක මට පුහුණු වෙන්න ලොකු අවස්ථාවක් වුණා.
වැස්කියුලර් සර්ජරි අතරේ මොනවද අමතක නොවන සිදුවීම්?
එහෙම අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. පිහි ඇනුමක් වෙලා රෝගියෙක් රෑ ඇඩ්මිඩ් කළා. ඒ සර්ජරි එකට මම එන්න රෑ තුනට ගෙදරින් පිටත් වුණා. එහෙම එද්දී කුරුඳු වත්ත පොලිස්සිය ඉස්සරහ තිබුණු වටරවුමේ හැප්පිලා මම ඇක්සිඩන්ට් වුණා. ඒ ඇක්සිඩන්ට් එකෙන් මගේ කොදු ඇට පෙළට හානිවුණා. මාස දෙකක් මමත් හොස්පිටල් එකේ රෝගියෙක් වුණා. ඒ තුවාලය සුව වුණාම මම ආපහු රට යන්න තීරණය කළා. අපට අවුරුදු හතකට සැරයක් තව දුරටත් ඉගෙනගන්න රට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ චාන්ස් එක නිසා මම රිසර්ච් ඩිග්රියක් කරන්න එංගලන්තෙට ගියා. ආපහු ආවේ 2001. 2002 දී තමයි මහාචාර්ය කෙනෙක් වුණේ. අපේ ඩිපාට්මන්ට් එකේ ජෙනරල් සර්ජරි කරන අය ගොඩක් හිටපු නිසා මම වැස්කියුලර් සර්ජරිවලටම ෆෝකස් කරන්න ගත්තා.
කොළඹ වෛද්‍ය පීඨායේ ජීවිතයද, කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස වැඩකරපු ජීවිතයටද ඔබ වඩාත්ම කැමති?
හොස්පිටල් එකේ වැඩවලට කැමතියි. මෙඩිකල් ස්ටුඩන්ස්ලා එක්ස්පීරියන්ස්වලින් ඉගෙන ගන්නවානේ. එයාලාට අපි වෙනම වාට්ටුවක් දීල තියෙනවා. එකේ අපිත් එක්ක වැඩ කරනකොට වෙනමම අත්දැකීමක් සහ අතේ හුරුව එයාලට ලැබෙනවා.
අවයව බද්ධයට ඔබ යොමුවුණේ කොහොමද?
අපි කාලයක් කිඩ්නි ට්රාන්ස්ප්ලාන්ට්ස් කළා ආමි හොස්පිටල් එකේ සෝල්ජස්ලගේ. මට මතක විදිහට අක්මා බද්ධය ලංකාවේ මුලින්ම කළේ 2010 දී. මොළය මැරුණු අයගෙන් අක්මා කොටස් ගන්න ඕන කියන කන්සෙප්ට් එක අපි ගෙනාවා. එතනදි Jmo ගෙන් මුලින් නීති ප්‍රශ්න ආවත් පස්සේ ඒ තත්ත්වය Jmo මාර්ගයෙන්ම විසඳගෙන මොළය මැරුණු අයගෙන් ඉන්ද්‍රියන් ගලවල අක්මා බද්ධය අපි පටන් ගත්තා. මුලින් ආපු ප්‍රශ්නවලට උසාවියට ගිහින් තමයි මම විසඳගත්තේ.
ඔබේ බිරිඳත් මහචාර්යවරියක්.
ඔව්… ඔබ හරි. චන්ද්‍රිකා කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරීවේදය පිළිබඳව අංශයේ මහචාර්යවරිය ලෙස කටයුතු කළා. ඇය ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ අන්තරාසර්ග වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක්. ඒ වගේම ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ 18 වැනි උපකුළපතිනය ලෙසත් සේවය කළා. ඇය තමයි අපේ පවුල් ජීවිතයේ බර සම්පූර්ණයෙන් ඇද්දේ. මම ගෙදර හැම කටයුත්තකින්ම නිදහස් කරලා තිබ්බා.
ඔබේ දරුවන් ගැනත් කතා කරමු
අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි, පුතයි. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්. මේ වනවිට වැඩිදුර අධ්‍යාපනය ලබනවා. මම දැනටමත් සීයා කෙනෙක්. ඒ නිසා විශ්‍රාම සුවය මඟහැරුණු මගේ පවුලේ අය එක්ක ගත කරන්න මම තීරණය කළා.
හරින්දී ලියනගේ ✍️