අධිකරණයට විවිධ නඩු නිමිති හේතුවෙන් පැමිණෙන නඩු වර්ග රාශියක් දක්නට හැකිය. මෙම ලිපිය මඟින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කිසියම් අයෙකුට සිදුවූ යම් අලාභයක්, හානියක් හෝ තමන්ගේ හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවූ විට නඩු පැවරීමේදී ඒ සඳහා සීමාවක් වශයෙන් කාලය යන සාධකය සීමා හා බාධාවන් සිදු කරනු ලබන්නේද යන්න පිළිබඳවයි. “ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ…” නැතහොත් ප්රමාදිතයාට නීතියේ පිළිසරන අහිමි වේ යන ප්‍රකාශය ලතින් නෛතික ආප්තයක් වන “ Lex dilationes abhorret ” ඇසුරින් නිර්මාණය වූවකි. මෙවැනි කාලයේ බාධකය නීතිය විසින් හඳුනා ගනු ලබන්නේ කාලාවරෝධය ලෙසය.
කාලාවරෝධය යනූ කුමක්ද?
යම් තැනැත්තෙකුගේ යම් නීතිමය අයිතිවාසිකමක්/හිමිකමක් යටතේ එම අයිතිය තවකෙුකට එරෙහිව බල ගැන්වීම සඳහා නඩු පැවරීමට ඇති කාල පරිච්ඡේදය අවසන්වූවිට එය කාලාවරෝධය ලෙසින් හඳුන්වනු ලබයි. නොඑසේනම් එය නඩුවක් පැවරීමට හැකියාවක් පවතින කාලය අවසන්වීමකි. ඒ අනුව කාලාවරෝධයවීමට ප්‍රථම අදාල නඩුව පැවරිය යුතු වේ. එම කාලය තුළ ඔබ අදාළ අයිතිවාසිකම බලාත්මක කර නොගන්නේ නම් නීතිය විසින් සලකනු ලබන්නේ ඔබ එම හිමිකම අත්හල අයෙකු ලෙසින්ය.
එමෙන්ම නීතිවේදියෙකු වන Voet ට අනුව කලාවරෝධය යනු කාලයක් ගතවීම නිසා යම්කිසි පුද්ගලයෙකුට නීතිය ඉදිරියේ ලබාගත හැකිව තිබූ සහනයක් අහිමිවයාමකි.ශ්‍රී ලංකාවේ කාලාවරෝධ නීතිය පිළිබඳව ප්‍රතිපාදන සඳහන් ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 1872 අංක 22 දරන කාලාවරෝධී ආඥා පනත හා ඊට පසු නිර්මාණය වූ කාලවරෝධී සංශෝධන පනත් තුළ සඳහන්ව ඇත.
කාලාවරෝධ නීතියට විෂය වස්තූන් වන ක්ෂේත්‍ර හා අදාල කාලාවරෝධී කාල සීමාවන් කවරේද?
කාලාවරෝධය කියු සැනින් පළමුව මතක් වන්නේ ඉඩම් හා නිශ්චල දේපල සඳහා අදාලවන්නා වූ කාලාවරෝධයයි. මෙහිදී කාලාවරෝධි ආඥා පනතේ තුන් වැනි වගන්තිය අදාළ වේ.03 වන වගන්තියට අනුව ඉඩමක/ දේපලක් සම්බන්ධව වනවිටදී එම සන්තකය ලබා ගැනීමට වසර 10 ක් ගත වීමට පෙරාතුව නඩු පැවරිය යුතුය. එසේ නොමැති නම් වසර 10 ක් අඛණ්ඩව එම දේපල භුක්තිවිදීමේ පදනම මත භුක්ති විඳි පාර්ශවයට එම විෂය වස්තුවේ හිමිකාරීත්වය ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ අඛණ්ඩ, නිරවුල්, ස්වාධීන හා ප්‍රතිවිරුද්ධ භුක්තියක් එම පාර්ශවය විසින් සංස්ථාපනය කර තිබීමයි. කාලාවාරෝධය යටතේ භුක්තිය දරන්නාට හිමිකම ලබා ගැනිමට ඛණ්ඩනය නොවී එක දිගට වසර 10 ක් තම භුක්තිය ස්ථාපිත කිරීම අනිවාර්යම අවශ්‍යතාවක් බව මෙයින් අදහස් වේ.
ගෙයක් කුලියට හෝ බද්දට ලබා දී තිබෙද්දීත් භුක්තිය දරන්නාට කාලාවරෝධය මත එම දේපලේ හිමිකාරීත්වය ලබා ගැනීමට හැකියාවක් තිබේද?
දේපලේ හිමිකරුවා වෙත කුලී හෝ බදු මුදල් මාසිකව ගෙවීමක් කරනු ලබන්නේ නම් කාලාවරෝධය මත හිමිකම ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැත.
දේපලක් /ඉඩමක් සම්බන්ධව කාලාවරෝධය අදාළවීම සීමාවන අවස්ථා මොනවාද?
(i) රජයේ ඉඩම් හා දේපල මෙම කාලාවරෝධය සංකල්පය අනුව භුක්තියට සවි කර ගැනීමට නොහැකිය.
● එමෙන්ම වර්ෂ 2016 අංක 05 දරණ කාලාවරෝධී විශේෂ විධි විධාන පනතට අනුව වර්ෂ 1983 සිට වර්ෂ 2009 දක්වා වූ කාලයේදී උතුරු සහ නැගෙනහිර පලාත්වල පැවැති වර්ගවාදී ඊලාම් යුද්ධය නිසා ඉඩම් හා නිශ්චල දේපලවල හිමිකම නැවත අත් කර ගැනීම සඳහා එම ඉඩම් හා දේපලවල හිමිකරුවන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්නම් ඒ සඳහා මෙම පනත අනුව විශේෂ විධි විධාන හිමිවී ඇත. එයින් අදහස් වන්නේ එම කලය තුළදී එම පලාත්වල ඉඩම් හා නිශ්චල දේපල කාලාවරෝධය අනුව හිමිකර ගන්නට සීමාවක් පැනවී ඇති බවයි.
(ii) යම් අයෙක් විදේශගතව සිටී නම් ඔහුගෙ හිමිකාරිත්වයට එරෙහිව ඔහුගෙ දේපල සදහා භුක්තිය දරන්නාට කාලාවරෝධී හිමිකමක් ලබා ගත නොහැක.
(iii) එමෙන්ම දේපල හිමිකරුවන් ළදරුභාවය, සිහිවිකලත්වය, උමතුභාවය වැනි තත්ත්වයක සිටීනම් ඒ කරුණු මත කාලාවරෝධය ගණනය කිරීමක් සිදු නොවන අතර මෙම තත්ත්වයන් අවසන් වීමෙන් පසුව නැවත කාලාවරෝධය සඳහා කාලය ගණය කිරීම සිදුකළ හැකිවේ. නිදසුනක් ලෙස යම් පුද්ගලයෙක් උමතුභාවයට පත්ව ඇත්නම් තමන්ගේ දේපලක් හිමිකම නැවත අත් කර ගැනීම සඳහා අධිකරණයේ නඩු පැවරීමට ඔහුට නොහැකිවීම මත භුක්තිය දරන්නාට කාලාවරෝධය මත එම දේපල හිමිකර ගැනීමට හැකියාවක් නොමැති අතර යම් ලෙසකින් ඔහුගේ උමතු හෝ සිහිවිකල්භාවය අවසන්වී ඇත්නම් එම අවසන් වූ දිනයේ සිට ඔහුට එරෙහිව කාලාවරෝධය ස්ථාපිත කිරීම සඳහා වසර 10 කාලය ගණනය කිරීමට හැකියාව ඇති වේ. මෙවැනි සීමා කාලාවරෝධයට එරෙහිව ඇති බවක් ව්‍යවස්ථාපිත නීතිය අනුව පෙනී යයි.
කාලාවරෝධයට විෂය වන්නේ ඉඩම් හා නිශ්චල දේපල සම්බන්ධ නඩු පමණක්ද?
නැත. සියලුම ආකාරයේ නඩු පැවරීම් සඳහා කාලාවරෝධය අදාළවේ. පහත දක්වා ඇති කාරනා සම්බන්ධව දක්වා ඇති කාලය තුළ ඔබ අදාළ අයිතිවාසිකමක් අධිකරණය ඉදිරියේ බලාත්මක කර නොගත හොත් ඔබ එම හිමිකම අත්හල ලෙසින් නීතිය විසින් සලකනු ලබයි.
● මූලික අයිතිවාසිකම් කඩවීමකදි එම කඩවීමට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇති වී දින 30 ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හි නඩු පැවරිය යුතුය.
● පහළ අධිකරණයක් විසින් දෙන ලද තීන්දුවකට එරෙහිව අභියාචනා කිරීමේදී තීන්දුව දුන් දින සිට දින 14 ක් තුළ ඉහල අධිකරණය වෙත අභියාචනා කළ යුතු වේ.
● චෙක් පත්, පොරොන්දු නෝට්ටු, වෙනත් ලියවිල්ලක් මත යම් මුදලක් ඔබ විසින් අය කර ගත යුතු වන්නේ නම් එම ලේඛනයේ සඳහන් දින සිට වසර 6 ක් තුළ නඩු පැවරිය යුතුය.
● යම් අපරාධයක් සඳහා නඩු පැවරීමේදී 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය අනුව කටයුතු කළ හැකිය. එහි දක්වා ඇත්තේ මිනීමැරීම සහ රාජ්යද්රහී වරද සම්බන්ධව හැර සෙසු අපරාධමය වැරදි සඳහා වසර 20 ක් තුළ නඩු පැවරිය යුතු බවයි. ඒ අනූව ප්‍රධානම අපරාධමය වැරදි වන මිනීමැරීම හා රාජ්‍යද්‍රෝහී ක්‍රියා සඳහා වූ නඩු පැවරීමට එයට ගත වූ කාලය බාධාවක් නොවේ.මේ අනුව පෙනී යන්නෙ ප්‍රමාද වන්නාට නීතියේ පිළිසරණ අහිමිව යනු ඇති බවයි. එබැවින් තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා අප්රමාදිතව නීතිය හමුවේ පෙනී සිටීම උත්සුක විය යුතුය.
නීතීඥ ප්‍රවීණ සේනාධීර
praveenavisual@gmail.com