දවසින් දවස ගෙවී ගොස් අපේ ජීවිතයේ ජීවත්වීමට හිමි කාලයේ තවත් දින කීපයකින් හෝ අඩු වීමක් වුණත් මරණ මොහොත දක්වා අපි හිතේ සැනසිල්ලෙන් ජීවත් විය යුතු වෙනවා. ඒ නිසා නිදුක් නිරෝගීව ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් තමන්ගේ මානසිකත්වය අලුත් කර ගෙන හිතේ සැනසිල්ලට හේතු වෙන අන්දමින් පිං දහම් කර ගෙන ජීවත් වීම වරදක් නැහැ. අපේ සිවුවනක් පිරිස අතරට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් අයත් වෙනවා. ඒ නිසාම අපේ සෑම ආගමික කටයුත්තකදීම මෙම සිව්වනක් පිරිසේ සහභාගීත්වය අවශ්‍ය වෙනවා. නමුත් ආගමික පිංකම් සහ ආශිර්වාදාත්මක කටයුතුවලදී මේ සිව්වනක් පිරිසේ සහභාගීත්වය අතරත් දැන් විවිධ විසංවාදී බවක් ගොඩ නැගී තිබෙනවා.
අපට පින් කරන්න මුදල් නැහැ
අද පවතින ආර්ථික තත්ත්වය අනුව බොහෝ දෙනෙකු විසින් කියන පොදු කතාවක් තියෙනවා. අනේ දැන් ඉස්සර වගේ අපට පිංකම් කරන්න හයිය හත්තිය නැහැ. මුදල් අතින් එය සාධාරණ බව ඇත්ත. නමුත් අපේ සිත, කය, වචනය යන තුන්දොර සංවර කර ගෙන පින් කිරීමට බුදුදහම තුළ කිසිම බාධාවක් නැහැ. ඒ වෙනුවෙන් අසදෘශ දාන දීම අවශ්‍ය නැහැ. තමන්ට ඇති හැකි අයුරින් පිනක් කිරීමට බුදුදහමේ බාධාවක් නැහැ. බුදුරජාණන්වහන්සේ සමානාත්මතාවයෙන් හැමදෙනාගේම දානය පිළිගත්තා. මැදුරු පැල්පත් වෙනසක් නොමැතිව ධර්මය දේශනා කළා. ඒ නිසා පින් කරන්න මුදල් අවශ්‍ය නැහැ. නමුත් පින් කරන්නත් කුසල් සිතක් තිබිය යුතුයි. පවට බර සිත පවට නැඹුරු වෙනවා මිස කුසලයට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්න මුදල් නැතැයි මැසවිලි නගමින් නව වසර වෙනුවෙන්වත් මලක්, පහනක් පූජා කරන්න, මලු පෙත් අමදින්නවත් පන්සලකට නොයන පිරිස් අද සමාජයේ සිටිනවා.
පින් කරන අය විවේචනය කිරීම…
පින් කිරීම වගේම තවත් අයෙකු විසින් කරන ලද පිනක් අනුමෝදන් කර ගැනීමටත් අපේ සිත උපේක්ෂා සහගත විය යුතුයි. සමහර පුද්ගලයන් විසින් නිතරම අනුන් කරන කුසල කර්ම විවේචනය කරනවා. එයින් ඔවුන් කුසලකර්ම නොකරනවාටත් වඩා අනුන්ගේ කුසල කර්ම විවේචනය කිරීමෙන් තවත් අකුසලයක් සිදු කර ගන්නවා. මෙතැනදී ඔවුන්ගේ සිත වගේම වචනත් අපිරිසිදුයි. තවත් පැත්තකින් මෝහයෙන් මුලා වෙලා. බුදුරජාණන්වහන්සේ ධරමාන කාලයේ සේරුනි නමින් ගණිකාවක් සිටියා. ඇය නිතරම අනුන් කරන කුසල කර්ම විවේචනය කරනවා. බුදුරජාණන්වහ්නසේ දවස සංඝ සම්මේලනයක් තිබුණා.
බොහෝදෙනා උන්වහන්සේලාට දානමානදිය පිරිනැමුවා. මේ සේරුනිටත් දානය පිරිනමන ලෙස කිව්වත් ඇය එයට කැමැති වුනේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඇය මේ පිංකම් කරන අයත් විවේචනය කළා. ඒ අකුසලයෙන්ම ඇය මරණයෙන් පසුව කුරු රට එක් අගලක ප්‍රේතියක්ව උපත ලැබුවා. මේ ප්‍රේත ආත්මයත් ඉතාම විරූපි ප්‍රේතියක්.
දැක සතුටු වෙන පිංකම්
ඔබට තවත් කෙනෙකු විසින් කරන ලද කුසල කර්මයක් වෙනුවෙන් පිරිසිදු සිතින් “ සාධු ” කිමට කිසිම අපහසුවක් නැහැ. අද සමාජ මාධ්‍ය ජාලාවලින් නිදහස් වෙන බොහෝ පුණ්‍ය කටයුතු දැක අපට පිරිසිදු සිතින් ඒවාට අනුමෝදන් විය හැකියි. නමුත් ඒ හැකියාව ලැබෙන්නේ අපේ හිත පිරිසිදු නම් පමණයි. සමහර පුද්ගලයන් සිටිනවා තමන් එක බඩ වැල කඩා ගෙන උපන් සහෝදර සහෝදරියන්ට පවා ඊර්ශ්‍යා කරනවා. එවැනි චරිතයකට තවත් කෙනෙකුගේ හොඳ කටයුත්තකට කටකින් හොඳයි කියන්න බැහැ. ඔවුන් ඒවා විවේචනය කරමින් අකුසල් රැස් කර ගන්නවා.
පුණ්‍ය කටයුතු ව්‍යාපාර වීම…
නමුත් අද ඉතාම කනගාටුවෙන් වුණත් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. අපේ පන්සල්වල පවා පිංකම් මුවාවෙන් සිදු වෙන ව්‍යාපාරික කටයුතු තිබෙනවා. විශේෂ අවස්ථා නිමිති කර ගෙන සෙත් පිරිත් සජ්ජායනාවෙන් පසුව අට පිරිකර සියයක් පිරි නැමීම වැනි පිංකම්වලදී සිදුවන දේ දැන ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. එක්තරා පිංකමක් අවසානයේ මම නැවත මගේ පන්සලට වඩින විට එතැන ලොරියකින් වටට්ක්කා බානවා වගේ අටපිරිකර ගොඩක් ලොරියක සිට බිමට ගනන්වා. ඒ පසු දින පිංකම වෙනුවෙන් පූජා කරන්න
අටපිරිකර 2500 ක් මමත් එක අට
පිරිකරක් මුදළට ගත්තා. එය විවෘත කරාම එතැන තිබුණේ කාඩ්බෝඩ් ගොඩක්, අඳන දෙකක් සහ මුට්ටියක් වැනි පාත්‍රයක් පමණයි. ඉතින් මේ වගේ ප්‍රමිතියක් නැති අටපිරිකර පූජාවෙන් ආනිශංසයටක වඩා අකුසල් රැස් කිරීමක් සිදු වෙනවා. ව්‍යාපාරිකව ප්‍රමිතියක් නැති අටපිරිකර පූජාව එක පැත්තකින් සිදු වෙනවා. මේ කාලයේදී අපේ භික්ෂුන්වහන්සේලා විසින් සිදු කරන පිංකම්වලදී ගිහි පින්වතුන්ගේ පාර්ශවය ගැනත් දැන් සිතන්න වෙනවා.
ඒ නිසා මහා පිංකම් කරමින් ව්‍යාපාරිකයන්ගේ ලාභය උපරිම කිරීමට ඉඩදීම නම් මේ වගෙ අසීරු කාලයක සුදුසු නැහැ. මේ වගේ පිංකම් මුවාවෙන් ගිහි දායකයන් අපහසුතාවයට පත් කිරීම හැම පන්සලකම සිදු කරන්නේ නැහැ. මේවා අනුමත නොකරන සුපේශල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අප සමාජයේ අනේකව සිටිනවා.
නමුත් ඒ අතර පුණ්‍ය කටයුතු වෙනුවෙන් නව අර්ථ සපයමින් මුදල්ම උපයන තැනටටත් කටයුතු සිදු නොවෙනවාමත් නොවෙයි. ඒ නිසා බෞද්ධයන් විදිහට අපි තුන්සිත පහදවා ගෙන පිනෙහි යෙදෙමු. අපේ ජීවිත හැඩ ගසා ගමු. නව වසර කියන්නේ තවත් එක් ඉලක්කමක් පමණයි. එහෙත්… අපේ ජීවිතයේ හැඩ ගසා ගත යුතු බොහෝ අඩුපාඩු ඇත. ඒ නිසා පුද්ගලය ජීවිතය නිවරැදි මගට යොමු කරමින් මෙලොව පරලොව වැඩ සිදු වෙන පිංකම්වල යෙදීම අපේ අධිෂ්ඨානය කර ගනිමු.
ධර්මදේශක පූජ්‍ය
අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමින්වහන්ස
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල, බදුල්ල
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️