සාමාන්‍යයෙන් පවුලක එකා යකා කියනවානේ. නමුත් හැම දරුවෙකුටම එහෙම කියන්න බැහැ. පවුලට ලැදි මව්පියන්ගේ ලෙඩට, දුකට පිහිටට එන කරුණාවන්ත පින්වත් දරුවොත් ඉන්නවා. රත්ගම පදිංචි අසේකලා මදුවන්ති මේ කුලකයට අයිති තරුණියක්.
ඇයි අපි ඒ විදිහට පූර්විකාවක් දෙන්නේ
මම රත්ගම දේව පතිරාජ විද්‍යාලයෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ අවසානයෙන් පසු වෘත්තීය පුහුණු අධිකාරියේ මෝටර් රථ (Automobile) පාඨමාලාවක් හැදෑරුවා. මේ අතරේ මගේ තාත්තා අසනීප වුණා. අම්මා රැකියාවක් කළත් තාත්තාගේ ප්‍රතිකාරවලටයි පවුලේ වියදමටයි ඒ ආදායම ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසා මට රැකියාවක අවශ්‍යතාවය තදින්ම දැණුනා.
ඔබට අර්ධකාලීන රැකියාවක් අවශ්‍ය වුනේ
ඒ වගේම මෙතැනත් මට ගැටළුවක් තිබුණා. මම පුහුණු පාඨමාලාව හදාරන නිසා පූර්ණකාලීනව රැකියාවක යෙදෙන්නත් බැහැ. නමුත් මොකක් හෝ කරන්නත් ඕන. ඊට පස්සේ මම චලන කියලා මල්ලි කෙනෙකුට කිව්වා මට බස් එකක කොන්දොස්තර රැකියාවක් හොයලා දෙන්න හැබැයි සති අන්තයේ විතරයි මට වැඩ කරන්න වෙලාව තියෙන්නේ කියලා.
කොන්දොස්තර රැකියාව ගැන ඔබට තිබුණ පළපුරුද්ද
මම දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ කොන්දොස්තර පාඨමාලාව හදාරලා හිටියා. මේ පාඨමාලාවෙන් පසුව අපට බස් කොන්දොස්තර බලපත්‍රය ලැබෙනවා. ඒ බලපත්‍රය ලබාගන්න නම් සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕන. ගණිතය විෂය සමග ඉතින් මට ඒ සුදුසුකම තිබුන නිසා බය නැතුව කිව්වා. ඒ වගේම මට හොඳම දැනුම මේ පාඨමාලාවෙන් ලැබුණා.
ඊට පස්සේ චමිල මල්ලි දැන් මම වැඩ කරන බස් එක අයිති ලක්ෂිත අයියාට කිව්වා. ඒ බස් එකේ කොන්දොස්තර විදිහට එයාගේ මල්ලි වැඩ කරනවා. සති අන්තයේ නිවාඩු ගත්තාම මම බස් එකේ වැඩට ගියා.පුහුණුවක් ලැබුනාට මම බොහෝ දේවල් ඉගෙන ගත්තේ ලක්ෂිත අයියාගෙන්. මගීන්ට සලකන හැටි, ටිකට් දෙන විට මාර්ගයේ දුර අනුව කොටස් කැඩෙන හැටි මේ වගේ හැම දෙයක්ම මට කියල දුන්නා.
මගීන්ගේ ප්‍රතිචාරය කොහොමද?
මම කොන්දොස්තර විදිහට සේවය පටන් ගත් කාලයේ නම් පුංචි පුංචි ගැටළු තිබුණා. නමුත් ලක්ෂිත අයියා මට ලොකු ශක්තියක් වුණා. මගීන් කියන්නේ විවිධ ප්‍රශ්නත් එක්ක බස් එකට නගින පිරිසක්.
ඉතින් අප එයාලගේ මානසිකත්වය ගැනත් හිතන්න ඕන. ඉවසීම ඉතාම වැදගත් කියන සංකල්පය මට කියා දුන්නා. දැන් මට වෙනත් බස් වලටත් එන්න කියනවා. ඒ බස් රථයේ කොන්දොස්තර මහතාගේ නිවාඩු ආවරණය කරන්න. නමුත් මට පුහුණුව අවසන් වෙන තෙක් ඒ වෙනුවෙන් අවස්ථාවක් නැහැ.
මාරු කාසි ගැටලුව ගැන
මාරු කාසි අරගෙන බසයට නගිනවා නම් අපි දෙගොල්ලන්ටම පහසුයි. බස් එකක මගීන් 32 ක් යනවා නම් ඒ හැම දෙනෙකුටම මාරු කාසි හොයන්න ඉතින් අපහසුයි. ඒ නිසා තමන්ගේ ගමන් ගාස්තුව මාරු කාසිවලින් අරගෙනම එනවා නම් හරිම පහසුයි.
කොන්දොස්තර බලපත්‍රය අලුත් කරන්න ඕනද?
ඔව්. වසර දෙකකට වතාවක් අළුත් කරන්න ඕන. අපට විරුද්ධව චෝදනා ඔප්පු වෙලා තිබුනොත් බලපත්‍රය අළුත් කිරීමේදී ඒවා බලපානවා.
ඔබගේ ගමන් මාර්ගය
මම ගාල්ල අම්බලන්ගොඩ මාර්ගයේ වැඩ කරන්නේ. දැන් මාව හරිම ප්‍රසිද්ධයි. සති අන්තයේ උදේ 7 ට පටන් ගන්නා ගමන් වාරය හවස 5.50 ට අවසාන වෙනවා. දුර නිසා මම අක්කා කෙනකුගේ නිවසේ නවතිලා ඉන්නවා. එයාගේ නම ප්‍රියංගිකා. ඉතින් මට ලැබෙන ඒ සහයෝගය ඉතාම වටිනවා.
දැන් ඔබට වයස අවුරුදු 22යි. ඉතින් ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මම දැන් හදාරන මෝටර් රථ පාඨමාලාව අවසන් වුනාම විදේශයක වුනත් රැකියාව තිබෙනවා. ඒත් මම මගේ දෙමව්පියන් රැක බලාගන්න ඕන. අපේ අම්මා මට පුංචි කාලයේ දුන්න අවවාදය තවම මතකයි. ඇය නිතරම කිව්වේ දාඩිය නැතුව සල්ලි හොයන්න එපා. මම අම්මාගේ අවවාදය අද ප්‍රායෝගිකව ක්‍රියාවට නංවලා අවසානයි.
සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙකුට මේ වගේ රැකියාවක් තෝරා ගත්තොත් විවේචන එන්න පුළුවන්. රැකියාවන් දිහා අපි බලන්නේ ගැහැනු පිරිමි විදහට. නමුත් ගැහැනු අපටත් කරන්න බැරි දෙයක් නැහැ.
සමහර විට මව්පියෝ වුනත් විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මට කිසිම බලපෑමක් නැහැ. මගේ තීන්දු තීරණ නිවරැදි බව මගේ මව්පියන් දන්නවා. සමහර විට පා පුවරුවේ යන්න වෙනවා. ඒවා මට දැන් හොඳට හුරුයි. හැම දෙනෙක්ම හරිම ආදරෙයි. ඒ ආදරයට මමත් ආදරෙයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️