කාන්තාවක් සහ පිරිමියකු විවාහ වී මාස හය හත ගෙවෙන විටම තවම තුන්වැනියෙක් නැතිද? මේ ඔවුන්ට සමාජයෙන් ලැබෙන මුල්ම ප්රශ්නයයි. ආසියානු ජන සමාජය තුළ කාන්තාවක් වුවොත් විවාහ විය යුතුයි. දරුවන් ලැබිය යුතුයි. යන මුල් බැස ගත් ගතානුගතික සම්ප්‍රදායන් පවතිනවා.
මෙය නයිජීරියාවටත් වෙනසක් නැහැ. දරුවන් නැති කාන්තාවට නයිජීරියානු සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වෙනවා. ඒ නිසා ඔවුන් කෙසේ හෝ දරුවෙකු ලැබීමේ සිහිනය වෙනුවෙන් යොමු වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විවිධ ජාවාරම්කරුවන්ට හසු වෙන බැව් BBC Africa Eye විසින් වාර්තා කරනවා.
දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් කාන්තාවකගේ පමණක් නොව පිරිමියාගේ පාර්ශවයෙන්ද විසඳාගත යුතු ගැටළු තිබෙනවා. ඒ වෙනුවෙන් ඉතා සාර්ථක නවීන ප්‍රතිකාර තිබුණත් නයිජිරියාව වැනි රටවල තවමත් ඒ වෙනුවෙන් යොමු වීමට වඩා විවිධ හොර ජාවාරම්කරුවන් වෙත යොමු වෙන ප්රවණතාවයන් තිබෙනවා. සමාජයෙන් කාන්තාව මුල් කර ගෙන එල්ල කරන දැඩි පීඩනය එයට හේතුවක් බවත් විවාරකයන් සඳහන් කරනවා.
“ සරු බව සඳහා ප්රාතිහාර්ය ප්‍රතිකාරයක් ”
ඔවුන් එය හඳුන්වන්නේ “ සරු බව සඳහා ප්රාතිහාර්ය ප්‍රතිකාරයක් ” විදිහටයි. අධික ලෙසින් මුදල් අය කරන මෙය ජාවාරමක් බවට නයිජීරියාව තුළ දැන් ඉතා රහසිගත ලෙසින් ප්‍රචලිත වී තිබෙනවා. මෙම ගැබ් ගැන්වීමේදී ඔවුන් යෝනි මාර්ගයෙන් ඖෂධයක් ලබා දෙනවා.
එම ඖෂධයේ අඩංගු දේ ගැන කිසිවෙකුත් දන්නේ නැහැ. නමුත් මෙම එන්නත ලබා දුන් පසු කාන්තාවගේ ශරීරයේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා. එය දරුවෙකු ගැබ් ගත්තාට සමාන ලක්ෂණවීමත් නිසා මෙම කාන්තාවන් ඒ ගැන සැකයක් සිත තබා ගන්නේත් නැහැ. දරු කළළය මෝරන විට උදරය විශාල වන පරිදිම මෙම ප්‍රතිකාර ලබා ගත් කාන්තාවන්ගේ උදරයත් විශාල වෙනවා.
ස්කෑන් අවශ්‍ය නැහැ…
සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව දරු කළලයේ ගැටළු හඳුනා ගැනීමට ස්කෑන් පරීක්ෂණ සිදු කරනවා. මෙම දරු කළලය ගර්භාෂයෙන් පිටත පිහිටා තිබෙන නිසා ස්කෑන් පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් මෙම ජාවාරම් කරුවන් සඳහන් කරනවා.
දරු ප්‍රසුතියට අදාළ දින මෙම ජාවාරම්කරුවන් විසින්ම හදිසියේ තීරණය කරනවා. දරු ප්‍රසුතිය සඳහා කිසිදු රෝහලකට නොයන ලෙසටත් උපදෙස් ලබා දෙනවා. මේ තරම් දුරක ආ ගමනේ සුවිශේෂී ප්‍රතිඵලය ලබා ගැනීමට පෙරුම් පුර කාන්තාවන් ඔවුන්ගේ උපදෙස් අනුගමනය කරනවා. ඒ නිසා ඔවුන් කිසිදු රෝහලකට හෝ සායනයකටත් සහභාගී වෙන්නේ නැහැ.
ඒ වගේම මෙම දරු ප්‍රසුතිය වෙනුවෙන් තවත් මුදල් ඉල්ලා සිටිනවා. දරුවාගේ මුහුණ දැකීමේ බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් ඒ මුදලත් කෙසේ හෝ ලබා දෙනවා.දරු ප්‍රසුතියේදී එන්නතක් ලබා දෙනවා. මෙම එන්නතට කාන්තාව නින්දට පත් වෙනවා. ඇය අවදි වනවිට නව ජන්ම දරුවෙකු යහනේ සිටින අතර සිසේරියන් සැත්කමක් කළ බවටත් කැපුම් තුවාලයක් තිබෙනවා.
2024 වසරේදී මෙම ජාවාරම්කරුවන් ගැන සිදු කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ගේ මෙම මධ්‍යස්ථානය වැටලීමට හැකියාව ලැබුණා. එය තට්ටු දෙකකින් සමන්විත දැවැන්ත ගොඩනැගිළි සංකීර්ණයක්. මෙහි ගැබිණි කාන්තාවන් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටිනවා. සමහරු ළමා ගැබිණිවරු බවත් මෙම විමර්ශන නිළධාරීන් සඳහන් කරනවා. දරුවෙකු වෙනුවෙන් ඔවුන් නයිරා 800, 00 ( ඩොලර් 500 ක් පමණ ) ගෙවනවා. මෙම ජාවාරම් කණ්ඩායම්වල සාමාජිකයන් නයිජීරියාවේ පමණක් නොව, දකුණු අප්‍රිකාව, කරිබියන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවා ව්‍යාප්තව සිටින බව විමර්ශන කණ්ඩායම සඳහන් කරනවා.
සමහර ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 17 ක් පමණ ලාබාල වයසක සිටිනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල බලහත්කාරයෙන් රඳවා ගෙන දරුවා ඔවුන්ට ලබා ගැනීමත් සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල ගැබ්ගත් කාන්තාවන් තමාගේ දරුවා ලබාදීමට මුලින් කැමැති වුණත් දරුගැබ මෝරන විට ඔවුන් එයට අකමැත්තක් දක්වනවා. නමුත් ජාවාරම්කරුවන් වෙතින් ඒ ඉල්ලීම තරයේ ප්රතික්ෂෙප කරමින් දරුවා ඔවුන්ගේ ජාවාරම වෙනුවෙන් යොදා ගන්නවා.
කෙසේ හෝ මෙම සිද්ධියෙන් අපටත් උගත හැකි පාඩම් තිබෙනවා. දරුවකු ලබා ගැනීමේ බලාපොරොත්තුව ඉෂ්ඨ නොවන්නේ නම් ඒ වෙනුවෙන් පවත්වන මද සරු බව පිළිබඳ වෛද්‍යවරුන් හෝ සායනයන්ට සහභාගි වෙන්න. දරුවන් ලැබීම ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් මිස ප්රාතිහාර්යක් නොවේ. ඒ නිසා කිසිදු දිනක සරු බව සඳහා වෛද්‍ය ප්‍රතිකාර මිස “ සරු බව සඳහා ප්රාතිහාර්ය ප්‍රතිකාරයක් ” නොමැති බව තරයේම මතක තබා ගත යුතු වෙනවා.
BBC Africa Eye ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️