රටක ආණ්ඩු මාරුවෙනවා. ආණ්ඩු මාරුවත් එක්ක අමාත්‍ය මණ්ඩලයේ ඉඳලා රාජ්‍ය ආයතනවල ලොකු, පොඩි පුටු සියල්ලක්ම වගේ වෙනස් වෙනවා. ඒ ගැන ගොඩක් දේවල් සමාජය තුළත් විවිධ කතාබහක් ඇති වෙනවා. ඒ නිසා රාජ්‍ය තනතුරුවල සිටින පුද්ගලයන්ගේ මාරුවීම්වල නීතිමය තත්ත්වය පිළිබඳව මෙවර අපි කතා කරන්න සිතුවා.
රාජ්‍ය සේවයේ නියුක්තව සිටින බොහෝ නිලධාරින්ගේ පත්වීම්, ස්ථාන මාරුකිරීම්, උසස් කිරීම් හා විනය පාලන කටයුතු සම්බන්ධ බලධාරියා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වන අතර, ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන්ගේ එම සියලුම කාර්යයන් සම්බන්ධව බලධාරියා වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවයි.
රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදෙන ස්ථාන මාරුකිරීම්, උසස්වීම් අත්හිටුවීම්, විනය නියෝග ආදී යම් තීරණයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන එම නිලධාරීන්ට අදාල තීරණයට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
එසේම ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියකු සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ලබාදෙන යම් ආකාරයක ස්ථාන මාරු කිරීමක්, උසස්වීම් අත්හිටුවීම හෝ ප්‍රමාද කිරීමක්, විනය නියෝගයක් වැනි ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන එවැනි පොලිස් නිලධාරියකුටද පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද යම් අභියාචනයක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවකදි වුවද ඒ සම්බන්ධයෙන් පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත අභියාචනා කළ හැකිය. යම් තීරණයක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේදී අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතු බවටද, නියමිත කාලය තුළදී ඉදිරිපත් කළ යුතු බවටද දක්වා ඇති අතර, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පරිපාලනමය වරදක් හේතුවෙන් හෝ ඔවුන් විසින් සිතාමතාම ප්‍රමාද කිරීම හේතුවෙන් අදාළ අභියාචනා නියමිත කාලය තුළදී නොලැබීම මත ඉහත කොමිෂන් සභා මගින් ප්‍රතික්ෂේපවීමට හැකියාව ඇත. එවැනි අවස්ථාවකදී එකී ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත අභියාචනා කිරීමට අවකාශ ඇත.
මෙවැනි අභියාචන බලයක් සහිත පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය පිහිටුවා ඇත්තේ 2002 අංක 04 දරණ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය පනත මගිනි. මෙම පනත මගින් පිහිටුවා ඇති පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරියෙහි මෙහෙවර වශයෙන් “රාජ්‍ය නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගනු ලබන තීරණයක් හෝ නියමයක් පිළිබඳව ගුණාත්මක සහ ස්වාධීන සමාලෝචනයක් සිදුකර පරිපාලනමය සාධාරණත්වය ඉටු කර දීම” වශයෙන් දක්වා ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ලබාදෙන යම් තීරණයක් හෝ නියෝගයක් සම්බන්ධව අභියාචනා විභාග කිරීම සඳහා පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත ඉහත පනතේ 03 වගන්තිය මගින් බලය ලබා දී ඇත.පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත ඉදිරිපත් කරනු ලබන අභීයාචනා විභාග කිරීම සඳහා සාමාජිකයින් තිදෙනෙකු වසර 03 ක ධූර කාලයක් සඳහා පත් කරනු ලබන අතර, ඒ අතරින් එක් අයකු සභාපති වශයෙන් පත් කරනු ලබයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ලබාදුන් තීරණයක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් අභීයාචනා කිරීමට බලාපොරොත්තුවන යම් රාජ්‍ය නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු විසින් අදාළ තීරණය හෝ නියෝගය ලබා දී ඇති සති 04 ක් ඇතුළතදී තම අභියාචනය ලිඛිතව, පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු බව පනතේ 04 වගන්තිය මගින් දක්වා ඇත.
එවැනි අභියාචනයක් ලද පසු, පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය විසින් අදාල අභියාචනය නියමිත කොමිෂන් සභාව වෙත යොමුකර ඔවුන්ගේ නිරික්ෂණ ලබාගැනීම සිදුකරයි. එකී නිරික්ෂණ අනුව බැලූ බැල්මට අභීයාචනාකරුට අගතිදායක තත්ත්වයක් පවතින බවට නිරික්ෂණය වන්නේ නම් එම අභීයාචනය සම්බන්ධව විමසීම සිදුකිරීමට නියෝග කරනු ලබයි.
ඒ අනුව අභියාචකගේ ඉල්ලීම සම්බන්ධව අදාළ වන්නේ යයි විනිශ්චයාධිකාරිය විසින් විශ්වාස කරනු ලබන ඕනෑම තොරතුරක්, වාර්තා හෝ ලේඛණ ආදිය නියමිත කොමිෂන් සභාව වෙතින් ගෙන්වා ගැනීමට විනිශ්චයාධිකාරියට හැකියාව ඇත.අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසුව අභියාචනය ලැබී සති 02 ක් ඇතුළතදී ඒ සම්බන්ධව අවසන් වශයෙන් සුදුසු කටයුත්තක් සිදු කළ යුතු බව පනතේ 07 වගන්තිය මගින් දක්වා ඇත.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් හෝ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් යම් රාජ්‍ය නිලධාරියකු සම්බන්ධයෙන් හෝ පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් ලබා දී ඇති අගතිදායක තීරණයක් හෝ නියෝගයක් යථා තත්ත්වයට පත්කර එම නිලධාරියාට සාධාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය මගින් කටයුතු කළ හැකිය.
නීතිඥ අංජුල බණ්ඩාර
anjulacab@gmail.com